PUBG මොබයිල් ගහද්දි කෙළවෙන්න පුළුවන් විදි 7ක්

Player Unknown’s Battle Ground කියන්නේ ගේම් ලෝලී ඈයො කාලයක් තිස්සෙ ගහන ගේම් එකක්. මේක අතිශය ජනප්‍රිය වෙන්නෙ මේ ගේම් එකේ මොබයිල් වර්ශන් එකකුත් ආවට පස්සෙයි. දැන් මේ PUBG මොබයිල් වර්ෂන් එකට කට්ටිය කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනං පාර තොටේ PUBG ටීෂර්ට් ඇඳපු අය පවා ඉන්නව දකින්න පුළුවන්. මේ කියන්න යන්නෙ අන්න ඒ PUBG මොබයිල් වර්ෂන් එක ගහද්දි කෙළවෙන්න පුළුවන් අවස්ථා කිහිපයක් ගැනයි. ඇත්තටම ගේම් එක කාලයක් තිස්සෙ ගහන ඈයොන්ට මෙවුව උගන්නන්න දෙයක් නැති හින්දා මේ ආටිකල් එක ලියන්නෙම කෙළවීමේ ආතල් එක විඳගන්නටයි.

 

1. වැඩි ලෝබකම

Image Source – reddit.com

මෙන්න මේක අපේ ගොඩක් ඈයොන්ට කෙළ වෙන හේතුවක්. කොච්චර හොඳ තුවක්කු දෙකක් තිබ්බත්, ඒවට ඇති තරං උණ්ඩ තිබ්බත්, ලෙවල් 3 හෙල්මට්, බොඩි ආමර් සහ බෑග් තිබ්බත්, ඇති පදං බෙහෙත් තිබ්බත් හිතට මදියි. තවත් මොනාහරි ටිකක් පුරවගන්නයි ආසාව. ඉතිං යනව මැරිච්ච උන්ගෙ පෙට්ටි අස්සෙ. එහෙමත් නැත්තං යනව අහසින් බාලා පල් වෙච්චි පෙට්ටි ​හොයාගෙන. අනේ ඉතිං ඈත ඉන්න ස්නයිපර් බුවෙකුට සෙට් වෙනව මෙහෙම ගොන් කං කරද්දි නිකංම.

 

2. ආයුධ විතරක්

Image Source – dailymail.co.uk

මේකත් ලොකු අවුලක්. දැක්කම ආසාවෙ බෑ. මුළු බෑග් එක පුරාම උණ්ඩයි, බෝම්බයි. තුවක්කු හැත්තෑවකට විතර උණ්ඩ. තුවක්කු දෙකට ඕන නැති ආම්පන්නත් වෙනිං එකෙක් අහුලගනියි කියල ලෝබ කමට කරගහගෙන එනව. ඉතිං නිකමට හරි උණ්ඩයක් වැදුනම දාගන්න බැන්ඩේජ් කෑල්ලක්වත් නෑ. බෙහෙත් පෙට්ටියක්, ඉන්ජෙක්ෂන් එකක් අහලක නෑ. ඉතිං මැරෙන්නැතුව තියෙයිද ආයුබොවං. තුවාලෙකට තියන්න පුලුං කෑල්ලක් නැතුව 7.62 උණ්ඩ 240ක් තිබිලා උණ්ඩ කාලා සනීප වෙන්නද? ඉන්න වෙන්නෙ හාකබොන්ඩ් කාපු රිලවා වගේ. උඩ බලාගෙන.

 

3. පළිගැනීම

Image Source – giphy.com

මේකත් අපේ අයියලගෙ සීන් එකක්. නිකමට හරි එකෙක්ට වෙඩිල්ලක් වැදුනොත් පොරට වෙඩි වරුසාවක් තියනව. ඒ තියල නොකවුට් වුනාම හෙඩ් ෂොට් එකක් තියල වැඩේ ඉවර නොකර උඩ පැන පැන වෙඩි තියනව. අන්තිමට පෙට්ටියටත් බෝම්බයක් ගහලයි වැඩේ ඉවර කරන්නෙ. ඉතිං අහල පහළ ඉන්න කොටි නැගිටිනවා. දැන් ඔය PUBG කම්පියුටරේ ගහද්දි වගේ ෆෝන් එකෙන් ගහද්දි එච්චර ලොකුවට මූව්මන්ට්ස් පේන්නෙ නැහැනෙ. ඒ නිසා හැංගිලා සෙල්ලං කරන්න හොඳටම හැකියාව තියෙනව. එහෙම තියෙද්දි අපිව මාට්ටු වෙන ප්‍රධානම දෙයක් තමයි අපේ තුවක්කුවල ඉස්සරහින් නිකුත් වෙන එළිය සහ ශබ්දය. ඕක අඩු කරගන්නෙ නැතුව පැන පැන පලිගන්න ගිහින් තමයි අපේ අයියල නිකං වෙඩි කන්නෙ.

 

4. කොට ඉක්මන

Image Source – flipboard.com

ඉක්මන කොටයි කියල අපේ පැරැන්නො අනන්තවත් කියල තිබ්බත් අපේ අයියලට එවුව මතක නෑ. අන්තිම වෙද්දි ප්ලේයින් ඒරියා එක අඩු වෙලා තියෙද්දිත් වටපිටාවෙ කිසිම සද්දයක් බද්දයක් නෑ කියන්නෙ හැමෝම තමුන්ගෙ ස්නයිපර්ස් ලෑස්ති කරගෙන අනිත් කෙනා හෙල්ලෙනකං හොඳ සූදානමකින් ඉන්නව කියන එකනෙ. අපේ අයියලට එහෙම බෑ. කොහොමහරි ගේම් එකේ අවසානයක් දකින්නයි ඕන. ඉතිං පනිනව මැද්දට. පැනලා අරෙහෙට මෙහෙට දුවලා පැනලා අනිත් මිනිස්සුන්ට නිශ්චිත ඉලක්කයක් ගන්න අමාරු කරනවානං තව කමක් නෑ. මෙයාලා කෙලින් මහමගට ඇවිල්ලා වටේපිටාවෙ කවුරුත් හෙල්ලෙනවද කියල බල බල ඉන්නව. ඉතිං නිකං මැරෙනව.

 

5. කම්මැලි හොරා

Image Source – dontfeedthegamers.com

මෙහෙම අයනං පවු. ගේම් එක අවසානයට ළං වෙද්දි නිල් පැහැ කලාපය හිතනවට වඩා වේගෙන් ළං වෙනවා. අපේ අයියල ගේම් එක ගහන විදියක් තියෙනවනෙ. ඔන්න එයාලා මුලින්ම දෙතුන් දෙනෙක් මරලා, වාහන කෑල්ලක් අරගෙන සිතියම මැදට යනවා. ඊටපස්සෙ ලොකු බිල්ඩිමක් උඩට නැගලා උන්නද මළාද කියල හොයාගන්න බැරිවෙන්න ඉන්නව. අනේ දන්නෙම නැතුව නිල් පාට ලෝකෙකට ඇතුළු වුනාට පස්සෙ පිස්සුවෙන් වගේ බිල්ඩිං වලින් බැහැලා වාහනේ හොයාගන්න නැතුව නිකං මැරිලා යන්න තමයි වෙන්නෙ.

 

6. සුයිසයිඩ්

Image Source – theverge.com

තමුන්ම කරන වැඩවලින් තමුන්ම ඉවක්බවක් නැතුව මැරෙන ෆුට්බෝල්වල ඕන්ගෝල් වගේ වැඩ කිහිපයකුත් තියෙනව. කන්ද උඩදි තමුන්ගෙ වාහනෙන් යන ගමන්ම පනිනවා. පැනලා පිස්සෙක් වගේ ඉස්සරහට යනව වාහනේ ගැන බලන්නෙ නැතුව. කන්දෙන් පහළට වාහනේ ඇවිල්ල අපිවත් යට කරගෙන යනව. හැංගිලා ඉඳගෙන අනිත් මිනිස්සුන්ට අත්බෝම්බ ගහනව. ගහන අත්බෝම්බ හරි ඉලක්කෙට ගැහුවෙ නැති වුනාම ගස්වල වැදිලා අපි ගාවටම වැටෙනවා. ඉතිං මැරෙන්නැතුව තියෙයිද? අත්බෝම්බවලට හිතක් පපුවක් නැහැනෙ. ඊට හපං හදිස්සියෙ දුවගෙන යද්දි තියෙන කඳුවලින් පනින්න ගිහින් බිමට වැටිලා මැරෙන එක. මෙවුව තමයි මහත්තයො සුයිසයිඩ් කියන්නෙ.

 

7. නොසිතූ ඇබැද්දි

Image Source – windowscentral.com

ගෙදර ඉඳන්, ඔෆිස් එකේ ඉඳන්, බස් එකේ ඉඳන් ගේම් ගහද්දි වෙනසක් නැතුව මේ කරදර සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න තීරණාත්මක වෙලාවක විදිනව මදුරුවෙක්. තුහ් ගාලා වෙඩිල්ලක් පත්තුවෙනවා. ඉතිං රටම දන්නව දැන් පොර ඉන්න තැන. ඊට හපං සෙල්ලං කර කර ඉද්දි පොඩි එකා කරට නැග්ගම. එහෙමත් නැත්තං බිරින්දෑ එයාගෙ ඕප ටෝකකට සෙට් කරගන්න ආවම ඔන්න ඇඟෙන් ගේම යනව. බස් එක හෙල්ලෙනව. ඔය වගේ ප්‍රශ්න සිද්ධ වෙලා මැරුණම වටපිටාවට දොස් කියන්න බෑ මහත්තයො. ඔය ඉන්ටර්නැෂනල් බුවාස්ලා වගේ සවුන්ඩ් පෘෆ් කරලා ඒසී කරපු කාමරවල ගේමින් චෙයාස්වල වාඩි වෙලා නෙමෙයිනෙ අපි සෙල්ලං කරන්නෙ. අම්ම කතා කරාම පොල් ලෙලි ගහල දෙන්නෝන. එද්දි මැරිලා ඉන්න එක සැපයි පැයක් විතර බණ අහනවට වඩා.

Cover Image Source – digitaltrends.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *