ලෝකයේ තියෙන අමුතුම විදිහේ අවන්හල් ගැන අපි කලිනුත් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඔයාලට මේ ලින්ක් එක ක්ලික් කරලා ඒ ලිපිය කියවන්න පුළුවන්. මේක ඒකේ දිගුවක් විදිහට තමයි එන්නේ. එහෙනම් අපි බලමු ලෝකයේ තියෙන තවත් අමුතු විදිහේ අවන්හල්, හෝටල් සහ නවාතැන්පළවල් කීපයක් ගැන…
1. මෙක්සිකෝ නගරයේ සිහින දේශය හෝටලේ රැයක් ගතකරන්න කැමතිද? – (Nido De Quetzalcoatl, Mexico City)
මෙක්සිකෝ නගරයේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන හවියර් සෙනෝසියාන් විසින් සැලසුම නිර්මාණය කරන ලද නිවාස 10 ක එකතුවක් තමයි මේක. ගහකොළින් වටව, සොබාදහමත් එක්ක මුසුවෙමින් යන සර්පයෙකුගේ හැඩයට නිර්මාණය කර තිබෙන මේ නවාතැන් එකතුව මීටර් පන්දහසකට වඩා දුර විහිදෙනවා. එක රෑකට මෙහි ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 250ක් පමණ වෙනවා.
2. ජිරාෆ්ලත් එක්ක කෑමක්? (Giraffe Manor – Nairobi, Kenya)
ජිරාෆ්ලත් එක්ක කෑමක් කිව්වට මේක ජිරාෆ්ලගේ කෑම තියන හෝටලයක් නම් නෙමෙයි. කෙන්යාවේ නයිරෝබි නුවර පිහිටලා තියන මේ හොටලේ අපි කෑම කද්දි ගොඩක් වෙලාවට ජිරාෆ්ලා ජනේලවලින් එබිලා බලනවා දකින්න පුළුවන්ලු. මොකද මේ හෝටලය වටේම ඉන්නේ ජිරාෆ්ලා. තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් වන මේකෙ ගාස්තුවත් සෑහෙන ඉහළයි. දවසකට ඩොලර් 680 වගේ ගාණක් මෙතන නවාතැන් ගන්න වැය වෙනවලු.
3. පොත් එක්ක රාත්‍රියකට කැමතිද? (Book and Bed – Tokyo, Japan)
ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටලා තියන මේක නම් පොත් කියවන කෙනෙක්ට කියාපුම තැනක්. මේක විවේකයෙන් ඉන්න ගමන් පොත් කියවන්න පුළුවන් පුස්තකාලයක් වගේ තැනක්. ජපන්, ඉංග්‍රීසි යන දෙඅංශයෙන්ම විවිධ ජාතියේ පොත් 3,200ක් විතර මෙහේ තියනවා. කාමර 30කින් සමන්විත මේ නවාතැන්පළේ සෑම කාමරයකටම කියවීමේ ලාම්පුවක් සහ වයි-ෆයි පහසුකම් ලැබෙනවා. ලොකු සුවපහසුවක් ලබා දෙනවාට වඩා පොත් කියවීමේ පිපාසයෙන් පෙළෙන අයට අපූරු අත්දැකීමක් එකතු කිරීම තමයි මේ නවාතැනේ අරමුණ වෙලා තියෙන්නෙ. මේ දවස්වල නම් කොවිඩ් කරදර නිසා මේ තැන තාවකාලිකව වසා දමලා තමයි තියෙන්නේ.
4. ප්‍රදීපාගාරයක දවසක් ගෙවමුද? (The Lighthouse – Tranoy, Norway)
මේකත් ලොකු වෙනසක් තියන හෝටලයක්. හෝටලයකටත් වඩා නිස්කලංක ප්‍රදීපාගාරයක නැත්නම් ලයිට් හවුස් එකක තමයි මේක තියෙන්නේ. නගරේ ඒකාකාරී ශබ්දවලට කන්දීගෙන ගෙවන කාර්යබහුල ජීවිතයකට පොඩි වෙනසක් ගන්න හොඳම තැනක් මේක. නෝර්වේ රටේ මුහුදට සමීපව ඉදිවුණු මේ ප්‍රදීපාගාරය විවේක ගන්න කියාපු තැනක්. එකවර දෙන්නෙක්ට විතරයි මෙතන නවාතැන් ගන්න පුළුවන් වෙන්නේ. තමනුගේ නිදන ඇඳේ විවේකෙන් ඉන්න ගමන් ප්‍රදීපාගාරයේ විවෘත කවුළුවලින් එපිට පෙනෙන අහසේ මැවෙන සුන්දර රටාවන් නරඹන්න කියාපු තැනක් මේක. දවසකට ගාස්තුව ඩොලර් 300ක් විතර වෙනවා. හැබැයි මේ හෝටලේදී ලැබෙන අපූර්ව අත්දැකීමත් එක්ක ඒ මුදල නාස්තියක් නෙමෙයි.
5. සීතල ඉග්ලූ එකක නිදාගන්න ආසද? (Kakslauttanen Resort, Finland)
ෆින්ලන්තයේ පිහිටි මේ හෝටලය සෑම වසරකම වෙනස් වෙනවා. ඒකට හේතුව අප්‍රේල් මාසයේ වසන්තය ආරම්භ වීමත් එක්ක අයිස් දියවීමයි. ඊළඟ ශීත සෘතුවේ මුල මේක ආයේ හදනවා. මේකේ වීදුරු වලින් හදපු ඉග්ලූ සහ සාම්ප්‍රදායික ක්‍රමයට හදපු ඉග්ලූ කියන ඉග්ලූ වර්ග දෙකම තියෙනවා. ඒ වගේම බොහොම සුඛෝපභෝගී ඉග්ලූත් මෙතන තියනවා. ඒ අතරින් කැමති එකක් තෝරාගන්න පුළුවන්. ඊට අමතරව කැමතිනම් පිණිමුවන් සහිත කරත්තවල සවාරි යන්නත් මෙතන නවතින්න එන අයට පුළුවන්. සාමාන්‍යයෙන් එක දවසකට ඩොලර් 600ක වගේ මුදලක් තමයි මෙතන නවතින්න වැයවෙන්නේ.
6. අයර්ලන්තේ බුබුළු හෝටලේ? (Finn Lough Resort, Northern Ireland)
මේකත් ලෝකේ තියන වෙනස්ම හෝටලයක්. මේක තියෙන්නේ උතුරු අයර්ලන්තයේ. මේකෙ විශේෂත්වය තමා මේ හෝටලේ කාමර හැටියට නවාතැන් ගන්න තියෙන්නේ බුබුලක් ඇතුළේ වීම. විනිවිද පෙනෙන බිත්ති වලින් ආවරණය වුණ මේ හෝටල් කාමරවල නවාතැන් ගන්න ආපු අයනම් කියන්නේ පැහැදිළි රාත්‍රියකදී මේ ජනෙල් වලින් පිටත බැලුවාම ලස්සන රෑ අහස සහ අවට සුන්දර සොබාදහම විසින් මවන බොහොම ලස්සන දර්ශන රැසක් නරඹන්න පුළුවන් බවයි. මේකේ එක රෑකට ගාණ ඩොලර් 225ක් වගේ ගාණක් වෙනවලු.
7. දිය යට හෝටලේට යමුද? (The Manta Resort, Tanzania)
හොඳ සල්ලි කාරයෙක්ට වගේ නම් කියාපු තැනක්. මේකේ විශේෂත්වය තමයි මේ රිසෝර්ට් එකේ පිහිටලා තියන දිය යට හෝටල් කාමරය. මුහුද යට වීදුරු වලින් හදපු ඒ කාමරය මේ හෝටලයට එන සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රිය අංගයක්. ඒක ඇතුළේ නිදාගන්න කෙනෙක්ට දැනෙන්නේ නම් මින් මැදුරක නිදා ගන්නවා වගේ ෆීලින් එකක් කියලා හිටපු අය කියලා තියනවා. ඒ කාමරයේ නිදන් ඉද්දි එක එක මාළු පවා මේ වීදුරු කාමරවලින් එබිලා බලනවලු. ගැඹුරු මුහුදේ මාළු ඇල්ලීම, ස්නෝර්ක්ලින්, කයැකින් වගේ මුහුද ආශ්‍රිත විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් කරන්නත් මේ හෝටලයේ නවතින සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.
මේ වගේ වෙනස්ම හෝටල් තව ගොඩක් ඇති. මීට අමතරව ඔයාලා දන්න ඒව ගැනත් අපිට කමෙන්ටුවකින් කියන්න. මේ තැන්වලට ගිහින් තියෙනවනම් ඒ අත්දැකීම් කැමතිනම් අපිත් එක්ක බෙදාගන්න.
Leave a Reply