සිතියම් ගැන මේ රසවත් කරුණු ඔබ දන්නවාද?

සිතියම්,එහෙමත් නැත්නම් මැප්ස් කියන්නේ අද වෙද්දි අත්‍යාවශ්‍ය දෙයක්. මැප් එකක් හරහා අපි ඉස්සර වගේම රටතොට, දේශ දේශාන්තර ගැන තොරතුරු සොයා බලනවා. ඒ වගේම අද වෙද්දි ස්මාට්ෆෝන්, ලැප්ටොප් වල තියෙන මැප් මගින් අපි විවිධ ප්‍රයෝජන ගන්නවා. සරලව හිතුවොත් අපි අද ඌබර් එකෙන් ආප්ප දෙකක් ඇනවුම් කළ අවස්ථාවක ඒ ආප්ප දෙක අපි කරා එන්න මැප් එක උපකාරී වෙනවා. ලොකේෂන් එක දැක්වීමේ තාක්ෂණය දියුණු වුණා. ඒත් ඉස්සර කාලේ ඉඳන් තිබ්බ මැප් එකේ මූලික අදහස තමයි තවමත් පාවිච්චි වෙන්නේ. ඉතින් මැප් ගැන අපි ටිකක් කරුණු දැනගමු.

 

1. ඇයි මේ මැප්ස්? 

අපි හැමෝම දන්නවා අද ගුවනින් ගිහින් ගුවන් ඡායාරූපයක් ගන්න එක හරි ලේසි වැඩක්. ඒත් ගුවන් ඡායාරූපයක් කියන්නෙ මැප් එකක් නෙමෙයි. මැප් කියද්දි අපිට අවශ්‍ය කරන කුමන හෝ දත්ත ටිකක් ඒ මැප් එක තුළ ඇතුළත් වෙලා තියෙනවා. හරියට චාට් එකක්, ඩ්‍රෝවින් එකක් වගේ අපිට මැප් කියවලා අවශ්‍ය දත්ත පැහැදිලිව අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඉංග්‍රීසි බසින් මැප් කිව්වම ඔයාල යන එන වෙබ් සයිට් වල එහෙමත් සයිට් මැප් කියලා සඳහන් වෙලා තියෙනවා පේන්න ඇති. එතනදි වුණත් කියන්නෙ සයිට් එකේ අන්තර්ගතය සරලව දක්වන සටහනක් කියන එක.

 

2. මැප් සකස් කිරීම

මැප් එකක් අපිට හරියටම දැකබලාගන්න ලැබෙන තැනක් තමයි ලෝක බෝලය. ඉස්සර අපිට මතකයි අපේ ඉස්කෝලේ ලැබ් එකේ, ප්‍රින්සිපල් ඔෆිස් එකේ හෙම මේ ලෝක බෝලය තිබුණා. ඒත් ලෝක බෝලය අපිට තැන තැන ගෙනියන්න ලේසි නැහැ. ඒ නිසා විවිධ ප්‍රක්ෂේපණ ක්‍රමවේද හරහා අපිට මැප් එක කොළයකට ගන්න උවමනා වුනා. එතනදි දිශාව දක්වන්න සහ ඒ ඒ තැන්වල හැඩය දක්වන්න තියෙන සාධාරණම ක්‍රමය වුණේ මර්කේටර්  ප්‍රක්ෂේපණය. ඒත් මේ මර්කේටර් ක්‍රමයත් නිවැරදිම නැහැ. ලෝක සිතියම බැලුවම අපිට තඩි අප්‍රිකාව සයිස්ම දේශයක් විදිහට ග්‍රීන්ලන්තය පේනවා. ඒත් ඇත්තටම ධ්‍රැවාසන්නයේ තියෙන ග්‍රීන්ලන්ත දූපත අප්‍රිකාවට වඩා සැළකිය යුතු ප්‍රමාණයකින් පොඩියි. එහෙත් එදා වගේම මෙදාත් දිශාව සහ භූමියේ හැඩයන් නිවැරදිව දැක්වීම වඩාත් වැදගත් නිසා තවමත් මර්කේටර් ප්‍රක්ෂේපණය ඔස්සේ ඇඳපු සිතියම් භාවිතා වෙනවා.

 

3. විවිධ මැප්

ගූග්ල් එකේ වුණත් මැප් වීව් කිහිපයක් තියෙනවා. එයින් ටෙරේන් මැප් එකෙන් අපිට කඳු, සානු ආදී භූ විශමතා බලාගන්න පුළුවන්. ස්ට්‍රීට් වීව් එකෙන් ගිහින් භූමිය විතරක් නෙමෙයි, ස්ට්‍රීට් එකේ ස්වභාවයත් බලාගන්න පුළුවන්. ගූග්ල් අර්ත් ඔස්සේ ගුවනින් අපේ ගෙවල්දොරවල් තියෙන හැටි පවා බලාගන් පුළුවන්. ඒ වගේ එකම භූමිය වුණත් විවිධ අවශ්‍යතාවයන්ට, විවිධ ආකාරයේ මැප් වලින් පෙන්නුම් කරනවා. දේශගුණික මැප්, භූගෝලීය මැප්, ඛනිජ ද්‍රව්‍ය විසිරීම ගැන මැප් වගේම මෑතකදි පැතිරුණ කොරෝනා ව්‍යාප්තිය බලන්න කොරෝනා මැපුත් අපි පාවිච්චියට ගන්නවා.

 

4. ඉතිහාස රස කතා

මැප් වල දැන් තියෙන්නේ උතුරු දිශාව මුලික වෙලා. ඒ නිසා තමයි ලංකාව බොහෝ සිතියම් වල කඳුළු බිංදුවක් හැඩේට, ලබු ගෙඩියක් හැඩයට නිරූපණය වෙන්නේ. ඒත් මුල් කාලීන මැප් වල නැගෙනහිර දිශාව මූලික කරගෙන මැප් ඇඳිලා තියෙනවා. ඒ කාලේ වගේම දැනුත් මැප් වල වැරදි තොරතුරු සඟවලා තියෙනවා. ඒ හරහා වැරදි නගර, ගම්මාන ආදියත් ඇතැම් මැප් වල පෙන්නුම් කරලා තියෙනවා. ඒවා මගින් මැප් එක තවත් තැනක අමු අමුවේම කොපි කරලා තිබුණොත් කොපි වුණා කියාල එයාලට හොයාගන්න පුළුවන්. 1798 කොන්ග් කඳුවැටිය කියලා අප්‍රිකාවේ සුවිසාල කඳුවැටියක් ජේම්ස් රෙනල් විසින් පෙන්නුම් කළා මැප් එකක. ඒත් ඇත්තටම එහෙම කඳුවැටියක් නැහැ. ඒත් ඒ වැරදි මැප් එක ලෝක වාසීන් අවුරුදු සීයක් විතර පාවිච්චි කරලා තිබුණා.

 

5. මූදු සතුන්ට ගොඩබිම නම් ලැබුණ සිතියම

රෝමානු දාර්ශනිකයෙක් වුණු ප්ලීනි අපූරු මැප් එක්ක නිර්මාණය කළා. ඒකට අනුව මහමුහුද කියන්නේ පොළවේම තවත් කෑල්ලක්. ඒ නිසාම ඒ කාලේ මැප් ගහපු උදවිය මූදේ උන්නු සුලභ සතුන් ගොඩබිම සතුන් විදිහට නම් කළා. ඒ නිසා තමයි මූදු ඌරා, මූදු සිංහයා, මූදු බල්ලා වගේ නම් ඒ සතුන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙදි ගොඩබිම සතුන්ට සමාන හැඩහුරුකම් තියෙන සතුන් ඒ ඒ සතුන්ගේ මූදු වර්ෂන් එක විදිහට නම් කරලා තියෙනවා.

 

6. ට්‍රැවලින් මැප්ස්

ගමනක් යද්දි ගූග්ල් මැප් එක දාගෙන ගිහින් අල වෙච්චි සිද්ධි ඕනි තරම් තියෙනවා. ඒත් මැප් එක බලාගෙන ඩ්‍රයිව් කරන්න දැන් අපි හුරුවෙලා. බස් එකේ ගියත් බහින තැන කොන්දොස්තර මහත්තයාට කියලා වාත වෙනවාට වඩා මැප් එක බලලා නිසි තැන බහින්න දැන් අපිට හැකියි. ඔය විදිහට තැන තැන ගෙනියන මැප් 1930 දී ඇමරිකාවේ ගෑස් ස්ටේශන් වලින් නිකුත් කෙරුණා. ඇමරිකාව විශාල රටක්. සාපේක්ෂව ඇමරිකාවේ ජන ඝනත්වයත් අඩුයි. ඉතින් මේ දුර බැහැර තියෙන ඉන්ධන පිරවුම්හල් වලට එන රියදුරන් නිතරම පාරවල් අහන එක ඒ තැන්වල ඉන්න ඉන්ධන පොම්පකරුවන්ට ලොකු ඇණයක් වුණා. ඒ පාර එයාල ඉල්ලන අයට ඒ පළාතේ කඩදාසි මැප් එකක් දීල ඒ වදෙන් බේරෙන්න ක්‍රියා කළා කියලා ඉතිහාසේ සඳහන් වෙනවා. ඒකම තමයි පස්සේ කාලෙක මැප් එකක් විදිහට ජනප්‍රිය වෙන්නේ.

 

7. මැප් නැති ලෝකේ

ලංකාව වගේම ලෝකේ බොහෝ තැන් වල හරිහැටි සිතියම් නිර්මාණය කළේ සුද්දා. යුරෝපීය ජාතිකයින් නාවික කටයුතු වලට වගේම අභ්‍යන්තර ගමනාගමන වැඩ වලටත් මැප් නිර්මාණය කළා. දැන් වගේ ඉලෙක්ට්‍රොනික් මැප්ස් නැති කාලේ මාර්ග නිර්මාණය කිරීම, වැව් අමුණු, ඇල වේලි ආදී විශාල නිර්මාණ කිරීම සැබෑ අභියෝගයක් වුණා. 1900 මුල් ගණන් වල ලංකාවේ කඳුකර දුම්රිය මාර්ග සැලසුම් කරද්දි ඇතැම් තැන්වලදි එකම මාර්ගය වෙනුවෙන් රූට් කිහිපයක්ම හෙළි කරන්නට වුණා. ඊට කලින් කාලෙක ලන්දේසීන් ඇලවල් කපද්දිත් කැළණි ගඟ සහ පානදුර පැත්ත සම්බන්ධ කරන්න ඇලක් කපාගෙන යද්දි මාලඹේ පැත්තේ තිබුණ කඳුකර පරිසරය ඔවුන්ට දැඩි බාධාවක් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒත් අපේ ඉතිහාසයේම රජවරුන්ගේ කාලවලදී ඉතාම මැනවින් වාරිමාර්ග පද්ධති සකස් කරලා තියෙන ආකාරය පුදුමයි.

 

ගූග්ල් මැප් එක සහ අන්තර්ජාල මැප් නිසා සිදුවන සේවය අති විශාලයි. අපිට පාර හොයාගන්න වගේම තමයි ඩෙංගු ව්‍යාප්තිය, කොරෝනා ව්‍යාප්තිය වගේ ලෙඩ බෝවෙන ප්‍රදේශ බලන්නත් මැප් වැදගත් වෙනවා. අපිට ලැබෙන ටෙලිකොම් සේවාවන් ටවර් හරහා ලැබෙන්නත් එයාල මැප් පාවිච්චි කරනවා. මාර්ග ඉදිකිරීම, සන්නිවේදනය, නාවුක ගමනාගමනය, ඛනිජ සහ සම්පත් ගවේෂණය, ආදී විෂයයන් ගණනාවකට මැප් කියන්නේ වැදගත්ම දෙයක් වෙලා අවසානයි. 

ඉතින් නිතර දකින මැප් ගැන තව විස්තර හොයාලා බලන්න ඔයාලට මේ හරහා යම් පෙළඹවීමක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *