ගොඩක් පෙම්වතුන් යාළුවෙලා වැඩි කාලයක් යන්නත් කලින්ම බඳින එක ගැන තමයි හිතන්නේ. හැබැයි ඉතින් බැන්දට පස්සේ බැඳගත්ත බෙරේ ගහන එකනම් ලේසි නෑ පුතෝ. ඒ හින්දාම තමයි “පාටියකට ගිහින් වේලාසනින් ගෙදර එනවා වගේ” කියලා අලුත් ආප්තෝපදේසෙකුත් අපේ පොරවල් හදාගෙන තියෙන්නේ. වැඩිය කල්පනා නොකර ‘අනේ බඳිමුකෝ’ කියලා කෙල්ල කිව්ව ගමන් ගත් කටටම එක පයින් හිටගෙන ‘හා සුදෝ’ කියන්න කලින් මේ දේවල්නුත් කල්පනා කරලා බලන්න.
1. ටික කාලයක් ආශ්‍රය කරන්න
ටිකක් පරක්කු වෙලා දෙන්නා සෙට්වෙලා වයස යනවාට බයේ සහ ගෙදරින් බර බරේ නවත්ත ගන්න ඉක්මණටම කසාද බඳින්න හිතනවා නම් පෘථිවියට වඩා අවුරුද්දකට තියෙන දවස් ගාණ වැඩි ග්‍රහලෝකෙකට ගිහින් හරි කමක් නෑ හොඳට එකිනෙකාට අඳුරගන්න කල් ගන්න. මොකද, ගෙවල් වලින් කතා කරලා පොරොන්දම් බලලා “ෂා ගැලපෙනවා! එහෙනම් බන්දමු” කියලා අම්මලා අත පිහදාගන්න ආසාවෙන් හිටියට බැන්දට පස්සෙ උඹලා දෙන්නා තමයි එක වහලක් යට ඉන්න වෙන්නේ. ඉතින් එකිනෙකාව තේරුම් ගෙන නොබිඳෙන ආදරයක්, සමාව දෙන වටපිටාවක් ඇතිකර නොගත්තොත් එක වහළ තියෙයි බිම!
2. යාළුවො එක්ක ගත්තු ආතල් ඔක්කොම හබක්
බඳිනවා කියන්නෙ ඉතින් හවස හය වෙද්දි ගෙදර රතු ඉර වදින් කලින් එන්න වෙනවා. නැත්නම් ඉතින් වයිෆිට තනියෙන් ගෙදර ඉන්න බෑ, අරකයි මේකයි දාහක් දේවල් එක්ක කෝල්ස් එනවා. පරක්කු වුණොත් ඔන්න වෙන කාව හරි බලන්න ගිහින් කියලා එයාට හිතෙනවා. එතකොට ඉතින් වෙනදා වගේ යාළුවො එක්ක චුට්ටක් සෙට් වෙන්න එහෙම තියෙන චාන්ස් එක නැතිවෙනවා. කෙල්ලෙක්ට වුණත් යාළුවොත් එක්ක වෙනදා ගෙදරින් ගාණ කපාගෙන ගිහින් ෂොපිං පාරක් දාලා, ෆිල්ම් එකක් එහෙම බලලා එන්න තිබ්බ චාන්ස් එක ගෙදර වැඩවලට හිරවුණාම කරන්න හම්බෙන්නේ නැහැ. අඩුගාණේ යාළුවෙක්ගෙ පාටියකට යන්නත් දෙන්නාටම ගොඩක් හේතු නිසා මඟ හැරෙන්නට පුළුවන්.
හැබැයි මේ හේතුවට නම් කවදා හෝ හිත හදාගන්න වෙනවා. ඔක්කොම යාළුවො ටික බැන්දාම නම් මේ අවුල ලොකුවටම එන එකක් නැහැ.
3. වගකීම් වැඩි වෙනවා
වෙනදා අම්මා ඔක්කෝම කරලා දෙනකම් උදේ 9-10 වෙනකම් බුදිය ගත්තු කොල්ලන්ට කෙල්ලන්ට බැන්දයින් පස්සේ ඒවා කරන්න හම්බෙන්නේ නෑ. උදේම නැගිටලා දෙන්නාටම කෑම ටික උයාගන්න වෙනවා, රෙදි කන්ද හෝදගන්න තියෙනවා, ගේ අතු ගාලා අස්පස් කරන්න තියෙනවා. හරියටම කිව්වොත්, වෙනදා ගෙදරින් කරලා දීපු වැඩ ටික එහෙම් පිටින්ම කරට එනවා. ඒ වගේම ගෙදර අඩුපාඩු හොයලා බලලා එළවළු, සීනි තේ කොළ විතරක් නෙවෙයි ගෙදර කැඩෙන ටැප්, වැඩ නොකර යන බල්බ්, හිර වෙන සින්ක් ආදී එකී මෙකී නොකී හැම එකම ඔය දෙන්නාට තමයි කරගන්න වෙන්නේ. කැරපොත්තෙක් පාර වැරදිලා කුස්සියට ආවත් වෙලාව කීයද නෑ කූද්දලා ඌව එලවලා මේසෙ උඩ නැගලා ඉන්න නෝනාව බිමට ගන්නත් සිද්ධ වෙනවා.
4. වියදම් වැඩි වෙනවා
ඉස්සර බෝඩිමේ ඉඳිද්දි එකම කලිසම සතියක් ඇඳලා තේ නොබී, කොහෙන් හරි පොඩි දෙයක් කඩෙන් කාලා, බස් එකේ තනි ටිකට් එකෙන් ගිහින් ශේප් එකේ සොච්චම් පඩිය ඉතුරු කරගත්තාට මොකද, බැන්දාට පස්සේ පඩිදාට යන්තම් මතක පඩිය හම්බුණා කියලා විතරයි. එක්කෝ වයිෆ් ඔක්කොම ටික ඩැහැගන්නවා. එහෙමත් නැත්නම් ගෙදර අර ඉහත කියපු වගකීම්වලටම හෝස් ගාලා වියදම් වෙලා යනවා. කොහොමටත් ඉතින් වෙනදා වගේ ගෙදරින් ෂේප්මන්ට් එක දාගන්න බැහැනේ. පඩියෙන් දෙන්නෙක්ගේම ජීවිත ගෙවන්න යොදාගන්න වෙනවා. කෙල්ලන්ටත් ගෙදරදී ඉල්ලන ඉල්ලන එක, හිතුණු හිතුණු දේ අරගෙන පුරුද්ද නිසා බැඳලා ටික කාලයක් යනකම් ගෙදර බජට් එක බැලන්ස් කරගන්න දායක වෙන්න ටික කාලයක් යනවා. ඒ නිසා ඔක්කෝටම කලින් එක්කෝ තමන්ගේ පඩිය කසාදෙටත් දහ අතේ ණය වෙලා වියදම් කරලා පවුල නඩත්තු කරගෙන යන්නත් ඇතිද කියලා කල්පනා කරන්න ඕන. නැත්නම් දෙන්නාම සකසුරුවමට ජීවත් වෙන්න හුරු වෙන්න ඕන.
5. දෙදෙනෙක්ගේ අදහස් ගැටෙනවා
ගොඩක් කල් තනියෙන් ජීවත් වුණු දෙන්නෙක් නොවුණත් තමන්ගේ ඕනෑ එපාකම් එක්ක අනිත් කෙනාගේ ඒවා නොගැලපීමත් එක්ක අවුල් ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඒක යාළුවෙලා ඉන්න කාලේ හමුවුණාම පැය ගාණකදී සිදුවෙන අවුල් ප්‍රමාණය පැය විසි හතරෙන් ගුණ කරලා, 360න් වැඩි කරලා, ඒක අවුරුදු 80ක විතර ජීවිතයෙන් ගුණ කළාම කොයි තරම් විනාස ටිකක් ඉදිරියට වෙන්න පුළුවන් ද කියලා හිතාගන්න පුළුවන් වෙනවා. මොකද ඔය ටීවී, පොත්පත්, අම්මලා අපිට මවලා දෙන ලස්සන ලෝක මොනවත් බැන්දාට පස්සේ වලංගු වෙන්නේ නැහැ. කොච්චර පිටට ලස්සනට ආදරෙන් ඉන්නවා වගේ පේන කපල්වල පවා අනන්තවත් හිත් නොහොඳකම් ඇති වෙනවා. මෙයා රෑට කන්න කැමති එකට අරයා කැමති නෑ. එක්කෙනෙක් මහන්සි වෙලා නිදාගන්න ආවාම අනිත් කෙනාට නිදිමත නැහැ. වැඩිය ඕන නෑ ටීවී එක බලන්න ගියත් බලන්නේ මොන චැනල් එකද කියලා පටන් ගන්න රණ්ඩුව අන්තිමට පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා, බෝයි ෆ්‍රෙන්ඩ්ලා තරම්ම දුරදිග යන්නත් පුළුවන්.
6. විවාහ වුණාටම වැඩිහිටියෙක් වෙන්නේ නැහැ
ගොඩක් අය හිතාගෙන ඉන්නේ පාසල් ගිහින්, කැම්පස් ගිහින්, රැකියාවක් කරලා, බැන්දාම ඔන්න දැන් වැඩිහිටියා කියලා. වැඩිහිටියෙක් වෙන්න නම් ඉතින් ඔය හැමෝම කරන ටික කළාට වැඩක් නැහැ. දෙන්නෙක් එක්ක එකතු වෙලා හරි තීරණ ගන්නට, නිවසේ සාමය පාලනය කරගන්නට සහ දරුවන් ලැබුණු කාලයක ඒ අයටත් ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න ඉගෙන ගන්නට ඕන. අනෙක, බැඳලා ජීවත් වෙන්න හිතාගෙන ඉන්නේ මහ ගෙදරම නම් කොහොමටත් දෙන්නාටම වැඩිහිටියෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. නැන්දම්මා බලාගෙන ඉන්නේ ලේලිට ගේම දෙන්න වගේම ඇතිවෙන ප්‍රශ්වලදී කොල්ලාටත් අම්මාගේ පැත්ත ගන්නවාද කෙල්ලගේ පැත්ත ගන්නවාද කියලා අතරමං වෙන්න වෙනවා. එතකොට ඉතින් අර “ඒ චීස් ද? මේ චීස් ද?” කියලා හිතපු මීයා වගේ දෙපැත්ත බල බල තමා පුතෝ ඉන්න වෙන්නේ.
7. ඥාතීන්ගේ ඊළඟ ප්‍රශ්නය: ළමයි නෑ?
ඥාති සහ අසල්වැසි ඇන්ටිලා සහ චීත්ත අංකල්ලාට අපේ ජීවිත ගැන හොයනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තේම නෑ. එයාලා මුලින් අහනවා “හානේ දුව ලොකු ඉස්කෝලෙට නෙවෙයිද යන්නේ?” “අයියෝ කැම්පස් යන්න බැරි වුණාද? කෝස් එක්ක කරන්නේ නැද්ද?” “කෝ දැන් කවුරුවත්හෙම නැද්ද ආ? කලවයසත් හරිනේ” ඔන්න ඔය ප්‍රශ්න ටික පහුකරලා නේ අපි කසාදෙ බඳින්නේ. ඒත් වැඩේ ඉවර නැහැ. ඊළඟට එයාලා අහගෙන එනවා “කෝ ළමයෙක්වත් නැද්ද?” ඉතින් අපේ පොරවල් ළමයෙකුත් හදාගෙන ඌවත් කරේ එල්ලගෙන තව වියදම්, වගකීම් එක්ක උගේ කරදරත් පටවගෙන යාන්තම් ඔළුව උස්සද්දී අපි පොඩි කාලේ අපෙන් අහපු එක අපේ ළමයින්ගෙන් එයාලා අහනවා: “දැන් හොඳ ඉස්කෝලෙකට යන්න කාලෙ හරි නේද?”
Cover Image Source – sarcasm.co
Leave a Reply