KFC, Pizza Hut කිව්වම ඉතින් අපේ කට්ටියගෙ රස නහර පිනා යනවනෙ. වීක් එන්ඩ් එකේ වෙනසකටත් එක්ක කෑමක් කන්න යන හිතෙන්නෙ ඔය වගේ තැනකටනෙ. කන ගමන් නිකමට හිතුවද මේ කෑම වර්ග අපිට ගෙදරදිම හදාගන්න තිබ්බ නම් කියල? හිතෙන්න ඇති නේද? රසට, වෙනසකට කෑවට ඕක පොකට් එකට දැනෙන ගාණක්නෙ. අද අපි මේ අරන් ආවෙ ගෙදරදීම KFC, Pizza Hut වල තියෙන රස කෑම වර්ග කීපයක් හදාගන්න හැටි ගැනයි. හැබැයි මේ තැන් වල මේ ඩිශස් හදන්නෙ මේ විදියටම නම් නෙවෙයි. මේ උත්සහය ඒ ඩිශස් වල රසයට සමානව ගෙදරදීම පහසුවෙන් සහ වියදම අඩුවෙන් හදාගන්න රෙසිපි කියල දෙන්නයි.
1. KFC චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
සීසනින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත් කරගත් චිකන් බ්‍රෙස්ට් එකක්
- සෝයා සෝස් මේස හැන්දක්
- ලුණු තේ හැඳි 3/4
- සීනි තේ හැන්දක්
- වතුර
බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කප් 2
- කහ තේ හැඳි 1/4
- මිරිස් කුඩු තේ හැඳි 2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2
- ලුණු තේ හැඳි 1
- චිකන් ස්ටොක් පව්ඩර් තේ හැඳි 1
- ගාලික් පව්ඩර් තේ හැඳි 1
- අනියන් පව්ඩර් තේ හැඳි 1
- තරමක් කෑලි හිටින්න කුඩු කරගත් ඕට්ස් ටිකක්
- බිත්තරයක්
(ගාලික් පවුඩර් වෙනුවට හොඳින් කෑලි නොහිටින්න තලාගත් සුදුළූණුත්, චිකන් ස්ටොක් සහ අනියන් පවුඩර් වෙනුවට චිකන් සුප් කැටයකුත් ගන්න පුළුවන්.)
- චිකන් එක වැහෙන තරම් වතුර ප්‍රමාණෙකට සෝයා සෝස්, ලුණු, සීනි කලවම් කරගෙන චිකන් බ්‍රෙස්ට් එක සෝදල ඒ වතුර එකට දාන්න. ලන්ච් ශීට් එකකින් කවර් කරල අවම පැය දෙකක් හෝ උපරිම රැයක් ශීතකරණයේ තියාගන්න.
- බිත්තරය හැර බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික සේරම එකට මිශ්‍ර කරගන්න. මේකට වතුර එක් නොකර වියලි පිටි මිශ්‍රණයක් විදියට හදාගන්න.
සීසන් කරගත්ත චිකන් එක අරගෙන පිරිසිදු රෙද්දකින් හරි කිචන් ටවල් එකකින් හරි තෙත ගතිය පිහිදන්න. කැමති විදියකට කපාගෙන චිකන් කෑලි ටික පිටි මිශ්‍රණයේ එක පාරක් දවට ගන්න. - බිත්තරය පොඩ්ඩක් බීට් කරල පිටි තවර ගත්තු චිකන් බිත්තර වල දවට ගෙන ආපහු පිටි මිශ්‍රණයට දාගන්න. වැඩි පුර පිටි ගසල රන්වන් පාට වෙනකම් බැදගන්න.
2. චොකලට් ලාවා කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුකින් චොකලට් 100g
- බටර් 100g
- කුඩු කරගත් සීනි 50g
- කොකෝවා පව්ඩර් තේ හැඳි 1 1/2
- බිත්තර 2
- ලුණු පින්ච් එකක්
- පිටි කප් 40g
- කුකින් චොකලට් සහ බටර් භාජනේකට දාගෙන ඩබල් බොයිල් කරන ගමන් හෑන්ඩ් විස්ක් එකකින් මික්ස් කරගන්න. චොකලට් හොඳින් දිය වුනාම ඒකට කොකෝවා පව්ඩර්, සීනි එකතු කරල සීනි දිය වෙනකම් හොඳින් විස්ක් කරගන්න.
- ඊට පස්සෙ බිත්තර දෙක එකතු කරන් නැවත පොඩ්ඩක් වේගෙන් මික්ස් කරන්න. ලුණු සහ පිටි ටිකත් එකතු කරන් හොඳටම මික්ස් කරගෙන හොඳින් බටර් තවර ගත්තු මෝල්ඩ් වලට දාගන්න. මේ සේරම මික්ස් කරන්නෙ ඩබල් බොයිල් කරන ගමන් මිසක ලිපේ තියල නම් නෙවෙයි.
- අවන් එක සෙල්සියස් 180ට ප්‍රීහීට් කරල ලාවා කේක් ටික දාලා විනාඩි 6-9ත් අතර වෙලාවක් බේක් කරගන්න. අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා විනාඩි 5ක් පැන්නම බලන් ඉඳලම අරගන්න. යන්තම් උඩ තෙත පෙනුනට නිවුනම හරි යනව ඒක. උණුවෙන්ම පිළිගන්වන්න.
3. මැකරෝනි චීස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාස්ටා හෝ මැකරෝනි පැකට් එකක්
- මොසරැල්ලා චීස් පොඩි පැකට් එකක්
- චීස් වෙජස් 8ක්
- ෆ්‍රෙශ් මිල්ක් 180ml පැකට් 2ක්
- ගොඩක්ම පොඩියට කපාගත්තු චිකන් බ්‍රෙස්ට් එකක්
- කෑලි නොහිටින්න තලාගත්තු සුදුළූණු බික් 5ක්
- බටර් මේස හැඳි 5ක්
- තෙල් තේ හැන්දක්
- අළුතෙන් කුඩු කරගත්තු ගම්මිරිස් චුට්ටක් රස අනුව
- ලුණු
- චොප් කරගත් පාස්ලි
- උතුරන වතුරට ලුණු ටිකක්, තෙල් ටිකක් දාල ඒකට පාස්ටා ටික දාල විනාඩි 7ක් 8ක් තම්බ ගන්න. තැම්බුනාම වතුර පෙරල ඇල් වතුරෙන් සෝදල වතුර බේරෙන්න තියාගන්න.
බටර් ටික තෙල් එක්ක රත් වෙන්න තියල ඒකට ලුණු ටිකක් අත ගා ගත්තු චිකන් ටික දාගන්න. ඒකට සුදුළූණු එකතු කරන් අඩු ගින්දරේ චිකන් තැම්බෙනකම් කලවම් කර කර තෙම්පරාදු කරගන්න. - වෙනම භාජනේකට කිරි ටික දාගන්න. ඒකට චීස් වෙජස් ටික දාල චීස් ටික දිය වෙනකම් සාමාන්‍ය ගින්දරේ දිගටම හැඳි ගාන ගමන් තියාගන්න. චීස් ටික දිය උනාම කිරි ටික අර චිකන් එකට දාල කලවම් කරගන්න. රස බලල ලුණු දාගන්න.
- තම්බගත්තු පාස්ටා ටික බටර් ගාපු බේකින් ට්‍රේ එකකට දාගෙන ඒකට උඩින් හදාගත්තු චිකන් වයිට් සෝස් එක දාගන්න. උඩින් ගම්මිරිස් කුඩු, පාස්ලි ඉහගන්න. මොසරැල්ලා පොඩියට කපල උඩින් දාගෙන සෙල්සියස් 180ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 15ක් බේක් කරගන්න.
4. ලසඥ්ඥා
අවශ්‍ය ද්‍රව්‍ය
- ලසඥ්ඥා ශීට් පැකට් එකක්
- අඹරාගත් මස් කප් 3
- චොප් කරගත් ළූණු ගෙඩියක්
- සුදුළූණු බික් 2ක්
- ටොමැටො පේස්ට් කප් 3
- ටොමැටො සෝස් කප් 1/4
- සීනි මේස හැඳි 1 1/2
- ගම්මිරිස් රස අනුව
- මහදුරු කුඩු තේ හැඳි 1/4
- වතුර කප් 1/2
- ඔරිගානො කුඩු තේ හැඳි 1/4
- මොසරැල්ල චීස්
- ලුණු රස අනුව
- ලසඥ්ඥා ශීට්ස් ටික පැකට්ටුවේ සඳහන් පරිදි තම්බා ගන්න.
- තෙල් ටිකක් රත් වෙන්න හැර ඒකට අඹරාගත් මස්, ලුණු ටිකක් එක් කර මදක් තෙම්පරාදු කරගන්න. එයටම ළූණු සහ සුදුළූණු එක් කර මිශ්‍ර කරගන්න.
- මොසරැල්ලා චීස් සහ ලසඥ්ඥා ශීට්ස් හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ලම තෙම්පරාදු කරගත් මස් එකට මිශ්‍ර කරගෙන හොඳින් කලවම් කර මද ගින්නේ උකු වනතුරු පිසෙන්න හරින්න.
- බේක් කරගත හැකි තැටියක අඩියට බටර් තවරා එයට උඩින් සාදාගත් මස් මිශ්‍රණයෙන් තට්ටුවක් දමාගන්න. එයට උඩින් ලසඥ්ඥා ශීට්ස් අතුරා නැවත මස් මිශ්‍රණය එක් කර එයට උඩින් ගාගත් මොසරැල්ලා චීස් අතුරා ගන්න. මේ විදියට තට්ටු කීපයක් දමාගෙන අවසානයට ලසඥ්ඥා ශීට් එක උඩට මොසරැල්ලා අතුරා සෙල්සියස් 180ට විනාඩි 15-20ක් බේක් කරගන්න.
5. පීසා
මෝලියට අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 500g
- ඊස්ට් තේ හැඳි 1
- සීනි තේ හැඳි 1
- ලුණු තේ හැඳි 3/4
- මද රස්නෙ වතුර 275ml හෝ 300ml (අත දාන්න පුළුවන් තරම් ලා රස්නෙන් ගන්න)
- ඔලිව් ඔයිල් මේස හැඳි 3 හෝ බටර්
හවායන් පීසා ටොපින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- මොසරැල්ලා චීස්
- පොඩියට කපාගත් අන්නසි
- පොඩියට කපාගත් මාළු මිරිස්
- පොඩියට කපාගත් චිකන් හැම්
- ටොමැටො පේස්ට්
- ඔරිගානො
- ලුණු
- ඔලිව් ඔයිල්
- ඊස්ට් ටික මද රස්නෙ වතුර වලින් ටිකක් දිය කරගෙන විනාඩි 10ක් පැත්තකින් තියාගන්න.
පිටි වලට අනිත් ද්‍රව්‍ය මික්ස් කරන් කන්දක් විදියට හදන් මැද වලක් හාරල එකට අර ඊස්ට් දාපු වතුර සහ ඉතිරි වතුර ටික දගන්න. මුලින් 275ml දාගන්න. මදි උනොත් විතරක් තව 25ml දාගෙන සොෆ්ට් ඩෝ එකක් එනතුරු විනාඩි 10-15ක් පමණ විතර පිටි ඉස ගත්ත ලෑල්ලක අනාගන්න. - මේ ඩෝ එක ලන්ච් ශීට් එකකින් වහල පැය 2ක් තියන්න. මේ ප්‍රමාණෙන් මීඩියම් පීසා 2ක් හදන්න පුළුවන්.
- පිටි තවරගත්ත රවුම් තැටියකට ඩෝ එකෙන් බාගයක් දාල වටේට පොඩි ගැට්ටක් හිටින විදියට තුනී කරගන්න. මේකට උඩින් ඔරිගානෝ මිශ්‍ර කරගත් ටොමැටො පේස්ට් එක තවරගෙන ඊට උඩින් මොසරැල්ලා චීස් අතුරා විනාඩි 10ක් සෙල්සියස් 170ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.
- අවන් එකෙන් එලියට අරගෙන ටොපින් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික ලේයර් එකක් අතුරාගෙන ඊට උඩින් ඔලිව් ඔයිල් ටිකක් ඉසගෙන නැවත විනාඩි 10ක් බේක් කරගන්න. අවන් එකෙන් එලියට අරගෙන මොසරැල්ලා චීස් උඩින් අතුරා නැවත විනාඩි 6ක් පමණ බේක් කරගන්න.
Leave a Reply