අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දකුත් ඇවිල්ලා ඉතින්. එහෙ බලල මෙහෙ බලනකොට 2019 අවුරුද්ද ඉවර වෙලා. ඔය කොයි අවුරුද්දත් ඉවරවෙනකොට පොදුවේ හිතෙන කාරණාවක් තමයි පහුගිය අවුරුදු වලින් වේගෙන්ම ගතවුණ අවුරුද්ද තමා මේ ගෙවුණ අවුරුද්ද කියන එක. ඉතින් 2019 ගැනත් කට්ටියට එහෙම හිතෙනව ඇති අනිවාර්‍යෙන්ම. කොහොම උණත් ඔය කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ්ස් තියෙනව නේද? මේ දෙසැම්බර් සීසන් එකට එහෙමත් නැත්තම් ජනවාරි අලුත් අවුරුද්දටත් මතුවෙන ට්‍රෙන්ඩ්ස් එහෙම නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් කට්ටියගෙ ඔළුවට ගහන එක එක පිස්සු තියෙනවනේ. අන්න ඒවා ගැනයි මේ.
1. රෙදිපිළි පිස්සුව
අවුරුද්දටත් කලින් දෙසැම්බර් මාසෙ පටන් ගත්ත ගමන් ඔන්න කට්ටිය දුවනව ශොපින්. ඇඳුම් ගන්න තමා වැඩිම හරිය. සේල් කියයි, ඩිස්කවුන්ට් කියයි. කොහොම හරි රටේ මිනිස්සුන්ගෙන් බාගයක් මේ කාලෙට ඇඳුම් කඩවල් අස්සෙ. මේ ලෝකෙ අවසාන ඇඳුම් ගැනිල්ල වගේ ඇඳුම් තෝරන එක තමා ලොකුම වැඩේ මේ කාලෙට. ලඟ ලඟ ඇඳුම් කඩවල් තියෙන ටවුන් වල පාරෙ පයින් යන්නත් ට්‍රැෆික් ඉතින්. ඒ තරමටම ඇඳුම් පිස්සුව තද වෙන කාලයක්. හැබැයි මෙහෙම අවුරුද්දේ අන්තිම මහා හදිස්සියකින් ඇඳුම් ගනිද්දී හුඟක්ම බාල ඇඳුම් වලට එහෙම අහුවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. කඩකාරයෝ උණත් බලන්නෙ සේල් ප්‍රයිස් එකක් දාල විකුණගන්න අමාරු ඒව අපේ ඇඟේ ගහන්නනේ. ඒ ගැන අවධානය නොදී ෂොපින් කළොත්නම් සොරිම තමයි ඉතින්.
2. බෝනස්
ඔන්න අවුරුද්දක් වැඩ කරපුවට සන්තෝසම් ගන්න සේවකයො කට ඇරන් බලන් ඉන්න කාලෙ. හාම්පුත්තුන්‍ට තරු පේන කාලෙ. කට්ටියම තමන්ට හිමි බෝනස් එක ගන්න කම්පැණියෙ ලාභ පාඩු නූලට ගණන් හදාගෙන දත මැදගෙන බලන් ඉන්නෙ මේ කාලෙට. කොහොම උණත් අවුරුද්දක් තිස්සෙ යන්තම් පඩිය පිරිමහගෙන ජීවිතේ ගැටගහගත්ත සේවකයො හිතේ හැටියට ඇඳුමක් ගන්න, බඩුවක් මූට්ටුවක් ගන්න බලන් ඉන්නෙ මේ බෝනස් එක හම්බ වෙනකං තමයි. හැබැයි අන්තිම වෙනකන් ඉඳලා මෙදා පාර බෝනස් නෑ කිව්වොත් තමයි බොසාගේ දෙමවුපියෝ මතක් කරන්නේ.
3. ඩයරි/කැලැන්ඩර්
ඔන්න තවත් පිස්සුවක්. යන යන කඩෙන් ඩයරි කැලැන්ඩර් ඉල්ලන් පස්සෙන් යන එක එක කට්ටියකගෙ ප්‍රියතම වැඩේ තමයි මේ කාලෙට. කොච්චර හම්බුණත් මදි ඉතින්. දකින දකින එක්කෙනාගෙන අහන්නෙ ඩයරියක්, කැලැන්ඩරයක් නැද්ද කියල. ඔෆිස් වල කැලැන්ඩර් ඩයරි දෙනව වගේම හැමෝම අතරේ කැලැන්ඩර්, ඩයරි, නෝට්බුක් හුවමාරු වෙනවා. ඉස්කෝලෙ යන පුංචි ළමයින්ට අලුත් අච්චු පොත් හම්බුනාම වගේ සතුටක් වැඩිහිටියො මේ ඩයරි, කැලැන්ඩර් ලැබුණම විඳිනවදෝ කියලත් හිතෙනව.
4. ලිතයි පොතයි
බස් එකට ගොඩවෙලා ලිත් විකුණන වෙළෙන්දො දැකල තියෙනව නේද? “ලිතයි පොතයි එකම 20යි…” ඔන්න තවත් පිස්සුවක්. අවුරුද්දේ නැකැත් විස්තර බලාගන්න ලිත වගේම අනාගත ඵලාඵල බලාගන්න පොතත් ගන්න හුඟක් අය බලන් ඉන්නෙ. අඩුගානෙ ඔය ඔෆිස් වලින්, කඩවල් වලින් අලුත් අවුරුද්දෙ ලිතක් නිකම් හරි ලැබෙනකං බලන් ඉන්නෙ. හැබැයි ඉතින් ගන්න තිබ්බ උවමනාව නෑ ඕක උඩින් පල්ලෙන් එක පාරක් කියෙව්වට පස්සෙ.
5. සේල් පිස්සුව
ඇඳුම් පැළදුම් විතරක්ම නෙමෙයි ඉතින් මේ කාලෙට කට්ටිය ගන්න බලන් ඉන්නෙ. ඉලෙක්ට්‍රික් බඩු, ලී බඩු වගේ ඔය හුඟක් ජාති වලට ඩිස්කවුන්ට් ලැබෙන කාලයක් මේක. හුඟක් තැන්වල එක එක ශොපින් ෆෙස්ටිවල්, Year-end sale ඕන තරම්. ගැනුම්කාරයටයි විකුණුම්කාරයටයි දෙන්නටම පාඩු නොවෙන්න බඩු මූට්ටු ගන්න පුළුවන් කාලයක් තමා ජනවාරි අලුත් අවුරුද්ද. හැබැයි ඉතින් මේකත් අර ඇඳුම් වගේම බොහොම පරිස්සමට තෝරලා බේරලා බඩු ගන්න ඕන තැනක්. එහෙම නැති උනොත් පොඩි පොඩි Damages තියෙන එක්කෝ Showroom දාල තිබිල පරණ වුණ වගේ බඩු වලට අහුවෙන්න පුළුවන්.
6. සුභ පැතුම් SMS
ඔන්න තවත් ලොකූම ලොකූ පිස්සුවක් ඉතින්. 31 රෑ ළං වෙනකොට කට්ටිය හොඳ New Year wishes SMS ටිකක් හොයාගෙන ෆෝන් එක රීචාර්ජ් කරගෙන එහෙම ඉන්නව. ඔන්න රෑ 12 උන ගමන් පටන් ගන්නව ෆෝන් බුක් එකේ සේව් කරල තියෙන නම්බර්ස් ඔක්කොටම යවන්න SMS. හැබැයි සමහර වෙලාවට SMS ආවට කාගෙන්ද කියලවත් හොයාගන්න බෑ. අනිත් එක තමයි ඔක්කෝමලා තරඟෙට SMS යවන්න පටන් ගත්තම රෑ 12 ඉඳන් පාන්දර වෙනකන්ම ෆෝන් නෙට්වර්ක් ඔක්කොම හිරවෙනවා. උවමනාවකට කෝල් එකක් SMS එකක් යවාගන්නවත් බැහැ කාටවත්.
දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මුළු ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකම ටැග් කරලා ෆේස්බුක් එකේ අවුරුදු සුභ පැතුමක් දාන එක. අම්මේ ඉතින් අර පෝස්ට් එකේ කවුරු හරි කමෙන්ට් එකක් දාන දාන ගානෙ ටැග් වෙලා ඉන්න ඔක්කෝටම නොටිෆිකේශන් යනවා. සුභ පැතුමකට වඩා ඒක කරදරයක් වෙලා අන්තිමේදි.
7. 31st නයිට්
ඔය ඔක්කෝමත් හරි 31 රෑ සෙට් වෙන්න බැරි උණොත් මොනව කළත් වැඩක් තියේද. ඉතින් ඔය පුරුෂ පාර්ශවයේ වැඩි දෙනෙක් සෑහෙන්න සූදානම් වෙනව මේ 31 රෑ ෆුල් ෆන් එකක් ගන්න. ඔව් ඔව්… ඒ කියන්නෙ ස්ටෙලා වෙන්න තමයි. පවුලේ අය එහෙම නැත්තම් යාළුවො එක්ක හරි සෙට් වෙලා හොඳ තැනක නයිට ගහන එක තමයි ඒ අයගෙ කැමැත්ත. හැබැයි ඔය අතරේ ඊට වඩා අර්ථයක් ඇතුව 31 රෑ ගත කරන්න හිතෙන පහන් පූජාවල් වගේ ආගමික කටයුතු සංවිධානය කරන තරුණ පිරිසත් නැතුවම නොවෙයි. හැබැයි ඔය කාගෙ කාගෙත් අරමුණ 31 රෑ උපරිම ඉහළින් ගත කරන එක තමයි.
Leave a Reply