පසුගියදා ලොවින් සමුගත් පිලිප් කුමාරයාගේ ජීවිත කතාව

බ්‍රිතාන්‍යය කියල කිව්වම ලංකාවේ අපිට බොහොම හුරුපුරුදුයි. ඒ ඉතින් අපි අවුරුදු ගාණක් බ්‍රිතාන්‍යයට යටත් වෙලා, බ්‍රිතාන්‍යයේ රැජිණව අපේ රැජිණ විදිහට පිළි අරන් හිටපු නිසා වෙන්න ඇති. ඒ වගේම බ්‍රිතාන්‍ය රාජකීය පවුල කියන්නෙත් අපිට ගොඩක් හුරු පුරුදු පවුලක්. ඒ පවුලේ ගොඩක් විස්තර අපි දන්නවා. ඩයනා කුමරිය, එළිසබෙත් මහා රැජිණ, චාර්ල්ස් කුමාරයා, විලියම් සහ හැරී කුමාරයා වගේම රජ පවුලේ අලුත්ම සාමාජිකයින් වන කේට් සහ මේගන් ගැනත් අපි ගොඩක් දේවල් දන්නවා. ඒ උනාට එළිසබෙත් රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමාරයා ගැන දන්නේ බොහොම ටිකයි. අද ඒ ගැන අපි මේ ආර්ටිකල් එකෙන් කතා කරමු. අනිත් අය ගැන දන්නා එකේ රජ පවුලේ හැමෝම ගැන විස්තර දැනගත්තා වගේ තමයි පිලිප් කුමාරයා ගැනත් දැනගත්ත නම්. 

 

1. උපත

පිලිප් කුමරු උපදින්නේ 1921 ජූනි 10 වෙනිදා ග්‍රීසියේ දුපතක් වුණු කොර්ෆු වලදියි. ඒ ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩ්රූ කුමරුටත්, ලුවිස් මවුන්ට්බැටන් සාමිවරයාගේ දියණියක් වුණු ඇලිස් කුමරියටත් දාවයි. හැබැයි ඔහුගේ උප්පැන්න සහතිකයේ උපන්දිනය විදිහට සඳහන් වෙන්නේ 1921 මැයි 28 දිනයයි. එකට හේතු වෙන්නේ ග්‍රීසිය 1923 වෙනකන් භාවිතා කළේ ජුලියන් කැලැන්ඩරය වීමත් ඉන් පස්සේ අද අපි භාවිතා කරන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වීම කියන කාරණාවයි. 

 

2. ළමා කාලය

1922 වෙද්දී පිලිප් කුමාරයට අවුරුද්දක් වත් පිරෙන්න කලින් ග්‍රීසියේ පිහිටවනු ලැබූ උසාවියකින් ඔහුගේ පියා වූ ඇන්ඩ්රූ කුමාරයව ග්‍රීසියෙන් පිටුවහල් කෙරෙනවා. ඒ වෙද්දී බ්‍රිතාන්‍යයේ රජු විදිහට හිටියේ ඇන්ඩ්රූ කුමාරයාගේ ඥාති සහෝදරයෙක් වුණු පස් වෙනි ජෝර්ජ් රජතුමා. ඔහුගේ මැදිහත්වීමෙන් යුද නැවක් ග්‍රීසියට යවල ඇන්ඩ්රූ කුමාරයා සහ පවුල ආරක්ෂිතව ප්‍රංශයට ගේනවා. ඒ එන ගමනේදී අවුරුද්දක් වත් නැති පිලිප් කුමාරයාට ඉන්න උනේ පළතුරු අසුරන පෙට්ටියකින් හදපු කොට් එකක. ඒ විදිහට ප්‍රංශයට ආපු පිලිප් කුමාරයා ඒ රටේදී තමයි අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ. ඒත් අවුරුදු හතේදී මව් පාර්ශ්වයේ නෑදෑයින් එක්ක ජීවත් වෙන්න පිලිප්ට ආයේ එංගලන්තයට යන්න වෙනවා. ඒ කාලේ වෙද්දී පිලිප් කුමරුගේ මවට මානසික රෝගයක් හේතුවෙන් මානසික රෝහලකට ඇතුළත් වෙන්න සිද්ද වෙනවා. ඉන් පස්සේ පුංචි පිලිප් අයෙත් ජර්මනියට යනවා අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ආයෙත් ඒ පාසලේ ගැටළුවක් නිසා පිලිප්ට ස්කොට්ලන්තයට එන්න සිද්ද වෙනවා. 

 

3. තරුණ කාලය

පිලිප් කුමාරය තරුණ කාලයට එද්දිම වගේ ලෝකය පුරා දෙවෙනි ලෝක යුද්ධයේ උණුසුම ඇති වෙන්න පටන් ගන්නවා. ඒ හේතුවෙන් තරුණ පිලිප් කුමරුත් හමුදා සේවයට එකතු වෙනවා. ඔහුගේ බලාපොරොත්තුව බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව උනත් තමන්ගේ මව් පාර්ශවය නාවික හමුදාවට සමීප සම්බන්ධතාවයක් තිබුණු නිසා තරුණ පිලිප් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට එකතු වෙන්න තීන්දු කරනවා. ඒ වෙනුවෙන් ඔහු ඩාර්ට්මවුත් නාවික හමුදා පාසලේ කැඩෙට් නිලධාරියෙකු බවට පත් වෙනවා. ඔන්න ඔය අතරේදී එවකට බ්‍රිතාන්‍ය අධිරාජයා විදිහට හිටපු හයවැනි ජෝර්ජ් රජතුමා තමන්ගේ බිරිඳ සහ දියණියන් වූ එළිසබෙත් සහ මාග්‍රට් එක්ක  ඩාර්ට්මවුත් නාවික හමුදා පාසලේ සංචාරයකට එනවා. ඒ සංචාරයේදී ජෝර්ජ් රජුගේ දියණියන් දෙදෙනාගේ පරිවාර නිලධාරියා විදිහට කටයුතු කරන්න පැවරුණේ තරුණ පිලිප් කුමාරයාට. 

 

 

4. විවාහය

හමුදා පාසලේ හමුවෙන් පස්සේ එළිසබෙත් කුමරිය හා පිලිප් කුමාරයා අතර ආදර සම්බන්ධතාවයක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම නාවික හමුදා පාසලෙන් පළවෙනියා විදිහට සමත් වෙලා ඔහුට සක්‍රීය හමුදා සේවයට එකතු වෙන්න සිද්ද වෙනවා. ඒ අතරේදී පිලිප්ට අවස්ථා කිහිපයක්ම ලැබෙනවා බ්‍රිතාන්‍ය රජ පවුල සමඟ ගත කරන්න. ඒ විදිහට ආදර සම්බන්ධතාවය ඉස්සරහට ගියත් රජ පවුලේ සමහර උදවිය නම් කැමති උනේ නෑ මේ සම්බන්ධයට. එහෙම උනත් මේ ආදර සම්බන්ධය සාමකාමීව ඉදිරියට ගියා. ඉන් පස්සේ 1946 දී පිලිප් කුමරු ජෝර්ජ් රජු හමුවේ තමන්ගේ විවාහ යෝජනාව ඉදිරිපත් කරනවා. යම් යම් කොන්දේසි වලින් පස්සේ 1947 නොවැම්බර් මාසේ 20 වෙනිදා වෙස්මිනිස්ටර් දේවස්ථානයේදී පිලිප් සහ එළිසබෙත් යුවළ ගේ විවාහය සිදු කෙරෙනවා. 

 

5. හමුදා සේවයෙන් ඉවත් වීම

විවාහය සිදු කළාට පස්සේ පිලිප් කුමරු නැවත නාවික හමුදා සේවයට වාර්තා කළා. ඒ අතරතුරේ, 1948 පිලිප් එළිසබෙත් යුවළට දාව චාල්ර්ස් කුමරු සහ 1950 දී ඈන් කුමරිය උපත ලැබුවා. 1950 දීම පිලිප් කුමරුට HMS Magpie නාවික සේනාංකයේ අණ දෙන නිලධාරියා විදිහට උසස්වීමක් ලැබුණා. මේ අතරේදී එළිසබෙත් කුමරියගේ පියාගේ රෝගී තත්ත්වය වැඩි වීමත් එක්ක එළිසබෙත් කුමරියට තම පියා අසලම රැඳෙන්න සිද්ද උනා සහ පිලිප් කුමාරයාටත් තමන්ගේ බිරිඳ ලඟින්ම රැඳී ඉන්න උනා. ඒ හේතුව නිසා 1951 දී නාවික හමුදා සේවයට පිලිප් කුමරු සමු දෙන්න තීරණය කරනවා. නමුත් පසුකාලීනව ඔහු ඒ තීරණය සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කරලා තිබුණා.   

 

 

6. විශේෂ සිදුවීම්

පිලිප් කුමාරයා පිළිබඳව අපි නොදන්නා විශේෂ දෙයක් තමයි ඔහුගේ තරුණ කාලයේදී, ඒ කියන්නේ 1940 වගේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ සාමාජිකයෙක් විදිහට ලංකාවට ඇවිත් තියෙනවා කියන එක. තවත් විශේෂ දෙයක් තමයි එහෙම සේවය කරන කාලේ ඔහු ලංකාවේ පුද්ගලයෙකුගෙන් මෝටර් කාර් රථයක් මිලදීගෙන තිබෙනවා. ඊට අදාළ ගෙවීම ඔහුට එකවර කරන්න මුදල් තිබිල නෑ. දෙවරකට ගෙවල තමයි ඔහු මේ ඔස්ටින් 13 වර්ගයේ කාරය මිලදීගෙන තියෙන්නේ. එම රථය මේ වන විට කොළඹ ගෝල්ෆේස් හෝටලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

 

 

7. තනතුරු සහ නම්බු නාම

එළිසබෙත් කුමරිය හා විවාහ වෙන්න කලින් දවසේදී හයවෙනි ජෝර්ජ් රජු විසින් පිලිප් කුමරුට එඩින්බරෝ හි ආදිපාද තනතුරත් මෙරියනෙත් හි අර්ල් පදවිය සහ ග්‍රිනිච් බැරන් පදවියත් ප්‍රදානය කළා.  ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් තනතුරත් ඔහුට එලිසබෙත් රැජින විසින් ප්‍රදානය කරලා තිබෙනවා. 

 

 

8. මරණය

පිලිප් කුමාරයා එහෙම නැත්නම් එඩින්බරෝ ආදිපාදවරයා එහෙමත් නැතිනම් දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා තමන්ගේ උපන්දිනයට මාස දෙකක් පමණ ඉතිරිව තියෙද්දී තමන්ගේ ජීවිත ගමන අවසන් කරනවා. ඒ 2021 අප්‍රේල් 9 වෙනි දායි. ලොව දීර්ඝතම කාලයක් Royal Consort (රාජකීය වල්ලභයා) ලෙස කටයුතු කළ පුද්ගලයා වන්නේ පිලිප් කුමරුයි. මරණය වෙද්දී ඔහු අවුරුදු 99 ක් තමන්ගේ ජීවිතය ගත කරලා තිබුණා.  මරණයට හේතුව තවමත් ප්‍රකාශයට පත් කරලා නොතිබුණත් එය ඉතාම සාමකාමී මරණයක් විදිහට තමයි ප්‍රකාශ වෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *