90 ගණන්වල ලංකාවේ හින්දි චිත්‍රපටි මේනියාවක් තිබ්බා කිවුවොත් නිවැරදියි. මේ මේනියාව නග්ගලා ගත්තේ ඒ කාලේ ඉරිද දවල්ටයි බදාදා රූටයි අයිටීඑන් එකේ පෙන්නපු හින්දි චිත්තරපටි තමයි. තව රූපවාහිනියෙත් ඉඳහිට පැරණි පැත්තට බර හින්දි ෆිල්ම් පෙන්නුවා. ඔන්න ඔය චිත්‍රපටි හරහා අපි කවුරුත් හින්දි චිත්‍රපටි පිස්සුව ඔලුවට ගහගත්තා. ෆයිට් කෑලි හත අටක් එක්ක සින්දු දහයක් දොළහක් තිබ්බ ඒ කාලේ චිත්‍රපටිවල විශේෂයෙන්ම දකින්න ලැබුණු ආතල් සීන් ගැනයි මේ කියන්නෙ.
1. කොල්ලයි, කෙල්ලයි, දුෂ්ටයයි, සපෝටරුයි
මෙන්න මේ චරිත හතරේ සුසංයෝගයෙන් තමයි එක කාලෙක හින්දි චිත්‍රපටි දුසිං ගණන් බිහිවුණේ. කොල්ලා කෙල්ල පස්සෙන් යනවා, කොල්ලට හරි කෙල්ලට හරි ඉන්නවා හොඳ බොක්කේ ෆ්රෙන්තෝ කෙනෙක්. අන්න එයා තමයි මේ ලවු එකට ෆුල් බකප් එක දෙන්නෙ. ඒ අස්සෙ දුෂ්ටයා එන්ටර් වෙනවා. ගොඩක් වෙලාවට මේ සපෝටර් බුවා හරි බුවී හරි චිත්තරපටියේ මැද හරියෙ දුෂ්ටයා අතින් වැලිගම්පිටි ටුවර් එකක් යනවා. ඒ කාලෙ මේ සපෝටර් කැරැට්ටරේට හංවඩු ගැහිලා හිටපු නලුවෙක් තමයි චංකි පාණ්ඩේ කියන්නෙ.
2. දුෂ්ටයාගේ ගෑණු නැටවිල්ල
ඒ කාලෙ චිත්‍රපටිවල දුෂ්ටයා හරි අමුතු ඩෑල් එකක්. පොර දුෂ්ට වැඩ කළාට මොකද සංගීතෙටයි නර්තනේටයි පුදුම විදිහට කැමති කලාකාමී හදවතක්. කොයි වෙලාවේ දුෂ්ටයාව පෙන්නුවත් පොර සරාගී කාන්තා නර්තනයක් රස විඳිමින් ඉන්න සීන් එකක් පෙන්නනවාමයි. පොරගෙ මේ නැටුම් පිස්සුව කොච්චර තදද කියනවනම් සමහර වෙලාවට කතාවෙ පෙම්වතියව හරි කොල්ලගෙ අම්මවයි නංගිවයි හරි උස්සන් ඇවිත් උන්වත් නටෝන අවස්ථා තියනවා. මාර ආතල්.
3. අන්තිම පයිට් එකට එන්ටර් වීම
ඉස්සර හින්දි චිත්‍රපටිවල දුෂ්ටයෝ දැන් ඒවයෙ වගේ හාංචිපයිස් හාල් කෑලි නෙමෙයි. උන් ඉන්නෙ ඒරියා 51 වගේ ජොයින්ට් වල හදපු මහා බලකොටු ඇතුළෙයි. මෙන්න මේවා ඇතුළෙ තමයි ගෑණුන්ව උස්සන් ඇවිත් නටවන්නෙ. මෙහෙම නටෝ නටෝ ඉන්න අස්සෙ වීරයායි සමහර විට සපෝටර් මල්ලියි එන්ටර් වෙනවා දුෂ්ටයාව වැලිගම්පිටි යවන්න. මේ එන්ටර් වීම බොහෝවිට සිද්ධ වෙන්නෙ ජීප් එකකින් (මේක කොහෙන් ගත්ත එකක්ද කියන එක අදාළ නෑ) බිත්ති කඩාගෙන එන්නෙ. කොච්චර විසාල බලකොටුවක් වුනත් ජීප් එක හැපුණ ගමන් බිත්තිය පපඩම වගේ කුඩු. ඉතින් දුෂ්ටයගෙ ගැන්සිය මුංට ගහනවා පුස් බෝම්බ. අන්තිම ෆයිට් එකේදි දුෂ්ටයාගෙ ගැන්සියේ සමහර එවුන්ට ආයෙ පණ ඇවිත් කොල්ලාට කෙලින්න එනවා. උදාහරණෙකට කිවුවොත් ගේට්ටුව ගාවදි මැරුණ චණ්ඩියා ආයෙම දුෂ්ටයාගෙ මාලිගාව ඇතුළෙත් වෙන කිටක් ගහගෙන පයිට් එකට එනවා.
4. අන්තිම කතාව
දැං කතාවෙ අන්තිමට මොකෙක් හරි මැරෙන ගමන් කතාවක් පැවැත්තුවෙ නැත්තං ෆිල්ම් එකම නිකං පරිප්පු නැති හෝටලේ වගේ වෙනවා. වෙඩි සීයක් විතර වැදිලා පොරක් මරණාසන්නව ඉන්නව. බොහෝ විට මේ පොර දුෂ්ටයා වෙන්නත් පුළුවන්. ඉතින් මේ උන්දෑ පණ ඇද ඇද කොල්ලගෙයි කෙල්ලගෙයි අත් දෙක එකතු කරනවා. ඔන්න ඉතින් එතකොටම උගෙ අවට ඉන්න මොකෙක් හරි අහනව ‘ඇම්බියුලන්ස් එකක් ගේන්නද මෙයා?’ වගේ අනවශ්‍ය ප්‍රශ්නයක්. පණ ඇද ඇද ඉන්න පොරක් ඒ ප්‍රශ්නෙට ‘හා ගෙනෙං ඉක්මනට’ කියලනම් කවදාවත් උත්තර දෙන්නෙ නෑ. පොර කියන්නෙ ‘එපා. දැන් පරක්කු වැඩියි. මට කියන්න කතාවක් තියනව’ වගේ එකක්. ඊට පස්සෙ පටන් ගන්නව මැරෙන්න කලින් කරන කතාව පවත්වන්න. කතාව කොච්චර දිගද කියනවනම් ඒක පවත්තන්න යන වෙලාවේ මැරෙන්න යන යකාව ඉස්පිරිතාලෙකට ගෙනිහින් බයිපාස් ඔපරේෂන් එකක් කරන්න වුණත් ටයිම් තියනව කියල හිතෙනව.
5. ජිමික් කැරැක්ටර්
ඒ කාලෙ නොවැ කාලෙ. දුෂ්ටයො වගේම වීරයන්ටත් විශේෂ වෙච්චි අමුතුම ඉස්ටයිලිෂ් ඇක්සොන් තියනවා. ඒ වගේම ඒ ඒ චරිත වල ශාරීරික ලක්ෂණත් සමහර එවුවයෙ අමුතුයි. කොල්ලා සිගරට් එක පත්තු කරන්නෙ සර්කස් එකක් දාලා, ගිනිකූර නිවන්නෙ දිවෙන් වගේ සීන්. මතකනෙ ෂාරුක් ඛාන් අර ස්නායු අප්සෙට් එකක් නිසාද කොහෙද ක්ක්ක්ක්… කිරන් කියල කියද්දි, බෙල්ල නවල උරිස්සේ අතුල්ල ගනිද්දී අපේ ලංකාවෙ උනුත් ඔය ඇක්සොන් එක කොපි කළා ඒ කාලෙ. අලි මදිවට හරක් කියලා දුෂ්ටයන්ටත් මාර ජිමික් වැඩ තිබ්බේ. එක ෆිල්ම් එකක් දුෂ්ටයා නියපොතු වළට සර්ප විෂ දාගෙන ඉන්නෙ. ඉතින් ෂොට් එකක් දුන්න ගමන් ගුටි කාපු එකාට මල් වඩම් අනවශ්‍යයි. තව දුෂ්ටයෙක් ජීවිතේට ඔලුව නවන්නෙ නෑ කියල ප්රතිපත්තියක ඉන්නෙ. තවත් ෆිල්ම් එකක් දුෂ්ටයා වෙච්ච පරේෂ් රාවල්ගෙ එක අතකුයි කකුලකුයි ෆුල් යකඩ. කාල වරෙන්කො.
6. දුක්ඛිත රහසිගත පෙම්වතා
‘මෙර දිල් භී කිත්නා පාගල් හේ’ කියල සංජේ දත් කොර ගගහා සින්දු කිය කිය මධුරිට හොර රහසේ පෙම් කරද්දි අපේ හිතුත් උණුවුනා තමයි ආයුබොවන්ඩ. හැබැයි මේ තේමාව හින්දි සිනමාව ඇතුළේ හෙනට පට්ට ගැහුවා. කෙල්ල තමන්ගෙ හොඳම යාලුවා එක්ක සෙට් වෙලා නිසා හරි කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්න නිසා හරි තමන්ගෙ ආදරේ හිතේ හංගන් ඉන්න පෙම්වත්තු හින්දි සිනමාව ඇතුළේ 90 ගණන් වල අම්බානෙට හිටියා. හැබැයි ඉතින් මේ බුවාගෙ හොරේ කොයි වෙලේ හරි අහුවෙනවා. ඒ වෙලාවට ඉතින් අර අවුරුදු ගණන් කෙල්ලට ලවු කරපු යාලුවට හුප්පේ තමයි. කෙල්ල ඩීං ගාලා අර රහස් පෙම්වතාට සෙට් වෙනවා. අයියෝ සල්ලි.
7. තාත්තාගේ සහ නංගිගේ ඛේදවාචකය
ඒ කාලෙ හිංදි පිචර් එකක කොල්ලගේ නංගි හරි තාත්තා හරි වෙලා උපදිනව කියන්නෙ පෙර අත්භවේ කරපු මොකක් හරි අනන්තරිය පාපකරුමයක් පඩිසන් දෙනව වගේ සීන් එකක්. මොකද මේ දෙන්නගෙන් කෙනෙක්ට (හෝ දෙන්නටම) පුදුම නරක කල දසාවක් තමයි උදාවෙන්නෙ. එක්කෝ කොල්ලට දුෂ්ටයෙක් ඇති වෙන්නෙ මේ තාත්තට හරි නංගිට හරි කරන මොකක් හරි නොහොඹිනා වැඩක් නිසා (තාත්තාව මැරීම, අබ්බගාත කිරීම, බොරු වංචාවකට හසුකොට හිරේ දැමීම, නංගීට ලිංගික බලහත්කාරකම් කිරීම, නංගිව මැරීම) එහෙම නැත්නම් කොල්ලත් එක්ක තියන තරහට දුෂ්ටයා පළිගන්න යොදාගන්නෙ නංගිව හරි තාත්තව හරි තමයි. අපි අර කලිනුත් කියපු නටන්න උස්සන් යන එකත් නංගී කෙනෙක් බොලිවුඩ් චිත්තරපටියක මුහුණ දෙන අප්සැට්ම අත්දැකීමක් තමයි.
රායිට්, තව කියනවනම් කියන්න පුළුවන් ඒ කාලේ බොලිවුඩ් චිත්තරපටිවල තිබ්බ අමුතුම සීන්ස් ගැන. හැබැයි අපි කැමතියි ඔයාලගෙ අදහස්වලටත් ඉඩක් දෙන්න. කියන්නකො බලන්න ඔයාලටත් මතක ඒ විදිහෙ හින්දි චිත්‍රපටිවල නිතරම පට්ට ගහපු සීන් ගැන…
Leave a Reply