ගේ ඇතුළෙ රස්නෙ නැතිකරගන්න තියෙන ක්‍රමවල වාසි අවාසි

ගෙදර ඉඳන් වැඩ කරන්න ගියාට දවල්ට ගෙදර ඇතුළේ ඉන්න එක අමාරු වැඩක්. එක පැත්තකින් අපි ඉන්න නිවර්තන දේශගුණය එක්ක ගෙවල් ඇතුළ හොඳට රත් වෙනවා. එතකොට නම් ඇඳුම් අයින් කරලා ෆෑන් එකක්වත් දාගෙන තමයි වර්ක් ෆ්‍රොම් හෝම් කරන්න වෙන්නේ. ගෙවල් ඇතුළේ අපිට දැනෙන රස්නය නැතිකරගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. සෘතු භේදය දැඩිව තියෙන රටවල නම් මේ නිවස තුළ වාතාශ්‍රය ලැබෙන ක්‍රම ගැන හොඳට සලකා බැලෙනවා. අපි නිවෙස් ඉදිකරද්දි එතරම්ම මේ ගැන හිතුවේ නැතත්, නිවසේ ඉද්දි දැනෙන රස්නය නිසා තාවකාලික විසඳුම් වලට යනවා. 

 

1. ජනේල දොරවල් 

නිවසට වාතය ලැබෙන ක්‍රම දෙකයි. එකක් කෘත්‍රිම ලෙස වාතය සැපයීම අනෙක ස්වභාවික වායු සංසරණය. ස්වාභාවිකවම එළියේ වාතය ඇතුළට ඇවිල්ලා නිවස කූල් කරන්න ජනෙල් කවුළු සහ නිවසේ විවර පාවිච්චි වෙනවා. මුහුද අසබඩ, විශාල ජලාශ, කුඹුරු වතුපිටි, ලොකු මාර්ග ආදිය අසල ජීවත්වෙන අයට කොහොමත් හොඳ හුලං පාරක් එනවා. එ වගේ හුලං තියෙන පරිසරයකදි ජනේල ඇරියහම වාතය ඇවිත් නිවස ඇතුළ කූල් කරනවා. ඒත් මේ ස්වභාවිකව නිවස සිසිල් කිරීම හැම වෙලාවෙම සාර්ථක නැහැ. පිට ඇති වාතය දූවිලි සහිත නම්, ගොඩක් රස්නේ නම් සහ දුමක් වගේ එන වෙලාවක නම් ජනෙල් ඇරියාය කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නැහැ. එළියේ දූවිලි නම් ඇතුළට දූවිලි ඇවිත් නිවසම අපවිත්‍ර වෙනවා. අනෙක් අතින් වැසිබර කාලගුණයක් තියෙද්දිත් අපිට ජනෙල් හරහා ස්වභාවික වාතාශ්‍රය ලබාගෙන නිවස සිසිල් කරගන්න අපහසු වෙනවා. 

 

2. එක්සෝස් ෆෑන් 

බාත්රූම් එක ඇතුළ කියන්නේ ජලවාෂ්ප පිරුණ තැනක්. බාත්රූම් ඇතුළේ වාතය හොඳින් කැරකුනේ නැතිනම් බාත්රූම් එකේ ඉද්දි අපේ ඇඟට රස්නයක් දැනෙනවා. කුස්සියත් එහෙමයි. කුස්සියේ උයන පිහන කොට ඇතිවන රස්නය කුස්සියෙන් එළියට ගියේ නැතිනම් ඒ තුළ ඉන්න අමාරු වෙනවා. ඒ වගේ තැන්වලට විශේෂ එක්සෝස් ෆෑන්ස් පාවිච්චි කරනවා. ඒ වගේම ජනෙල් හරහා වාතය ලැබෙන ඒත් වාතය ටිකක් උණුසුම් ස්ථාන වලටත් නිවසේ ඉහළින් එක්සෝස් ෆෑන් එකක් සවිකරලා ඒ හරහා වාතය කූල් කරගන්න පුළුවන්. කුස්සිය සහ නානකාමර වලට විශේෂයෙන් සකස් කළ එක්සෝස් ෆෑන් තියෙනවා. ඒ හරහා කුස්සිය හෝ නානකාමරය පාවිච්චි කරන වේලාවට පමණක් ඒ තැන් සිසිල් කරගන්න අපිට පුළුවන්. 

 

3. එයා කූලර් 

අපි වැඩකරන හෝ අපි ඉන්න විශේෂ තැනට විතරක් පොඩි කූල් එකක් ලැබෙන ගැජට් එකක් තමයි ඉවපරේටිව් එයා කූලර් කියලා කියන්නේ. දැන් නම් ලංකාවේ ඉලෙක්ට්‍රිකල් ගෙදර දොර බඩු විකුණන ගොඩක් ස්ටෝරු වල මේ එයා කූලර් විකුණන්න තියෙනවා. අපි දිය ඇල්ලක් බලන්න ගියාම අපිට ඇල්ල ලඟදි කූල් එකක් දැනෙනවා. ආන්න ඒ වගේ ජලය හරහා, ජල අංශු හරහා වාතය කූල් කරන වැඩක් තමයි මේ එයා කූලර් එකෙන් වෙන්නේ. මේ ක්‍රමය ජල වාෂ්ප වැඩි අපි වගේ රටකට ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාවය හෙවත් වාතයේ ඇති ජලවාෂ්ප ප්‍රමාණය අඩු තැන්වලට තමයි එයා කූලර් වැඩිපුරම වැඩක් වෙනවා කියන්නේ. ඒ කොහොම වුණත් තට්ටු ගොඩනැගිලි ආදියේ ජීවත්වෙන අයට වායුසමන යන්ත්‍රයට වඩා පහසුවෙන් වාතය යම්තාක් දුරට කූල් කරගන්න මේ එයා කූලර් හරහා පුළුවන්. 

 

4. ෆෑන් 

ෆෑන් පාවිච්චි කරද්දි ඒ අවකාශයට වාතය හුවමාරු වෙන්නත් ක්‍රමයක් තිබුනා නම් තවත් හොඳයි. ෆෑන් එකක් කියන්නේ සාපේක්ෂව ලාභදායී ක්‍රමයක්. ඒ වගේම ෆෑන් වෙනුවෙන් අපිට වියදම් කරන්න වෙන්නෙත් අඩු මිලක්. දූවිලි තියෙන තැන ෆෑන් දැම්මොත් නම් දූවිලි නිතරම කැරකෙන පරිසරයක් ෆෑන් එකෙන් නිර්මාණය වෙනවා. අවට පරිසරයේ තියෙන තාපය නිසා ඇඟ දාඩියෙන් නෑවිලා ඉන්න වෙලාවක අපි ෆෑන් එකක් ළඟට ගියොත් ඒ ලැබෙන හුලං පහර නිසා ඉබේම අපේ දාඩිය නිවිලා යනවා. වායුසමන පාවිච්චි කරන්න බැරි ලංකාවේ කාර්යාල සංකීර්ණ වල පවා තවමත් ෆෑන් පාවිච්චි වෙනවා. 

 

5. වායුසමන යන්ත්‍ර 

වාතය කූල් කරගන්න තියෙන ස්ථාවරම ක්‍රමයක් තමයි වායුසමන යන්ත්‍රය. වායුසමන යන්ත්‍රයකින් වාතයේ ඇති ජල වාෂ්ප, දූවිලි ආදිය ඉවත් කරලා වඩාත් සුවදායී පරිසරයක් නිර්මාණය කරනවා. ඒත් අපේ රටේ නිවෙස් වලට සහ කාර්යාල වලට සවිකරන ස්ප්ලිට් මාදිලියේ වායුසමන යන්ත්‍ර යට ඉද්දි එළියේ වාතය ඇතුළට ඒමේ අඩුවක් තියෙනවා. ඒ නිසා පැයකට දෙතුන් වතාවක්වත් දොරවල් ඇරෙන තැන්වලට ස්ප්ලිට් වායුසමන සවිකරන එක වඩාත් යෝග්‍ය වෙනවා. වායුසමන පරිසරය ඇඟට සුවදායී වුවත්, දීර්ඝකාලීනව සමහර අයට මේ කෘත්‍රිමව සිසිල් කරන ලද වාතය හරහා යම් යම් සෙම් රෝග සහ අසාත්මිකතා ඇතිවෙන්නත් ඉඩකඩ තියෙනවා. නිවෙසක කාමරයක් වායුසමනය කරන්නට අවශ්‍ය නම් වායුසමන අවකාශය කුඩා කරගැනීමෙනුත්, එළියේ තාපය ඇතුළට එන ප්‍රමාණය අඩු කරගැනීමෙනුත් වායුසමනයට යන විදුලි බිල ඉතිරි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. 

 

6. ස්වාභාවික කූලින් දියුණු කරගමු 

ගේ ඇතුළේ රස්නේ කොහොමත් වැඩි නොවී තියෙනවා නම් අපිට ගේ ඇතුළ කූල් කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ. නිවසේ වහලට වැටෙන සූර්යාලෝකය නිසා වහල රත්වෙලා ඉන් පස්සේ නිවසටත් ඒ තාපය ගලා එනවා. ඒක නැතිකරන්නට ඇස්බැස්ටස්, ලෝහ, සිමෙන්ති වහල වෙනුවට පැරණි ක්‍රමයේ උළු වහල පාවිච්චි කරන්න පුළුවන්. එසේ නොමැති නම් තාප පරිවාරක ලේයර් එකක් වහලයට යටින් ආදේශ කරන්නටත් අපිට පුළුවන්. නිවස තිබෙන්නේ නිතර දූවිලි සහිත මාර්ගයක් අයිනේ නම් විලෝ, අන්දර වැනි ගස් පේලියක් සිටුවීමෙන් එළියේ ඇති දූවිලි ගතිය නිවසෙ වෙත ළඟාවීම අවම වෙනවා. නිවස අවට වත්ත පිටිය හොඳින් ඉඩකඩ තිබෙනවා නම් නිවසේ සැකිල්ලට හානියක් නොවන සෙවන ගස් සිටුවීමෙනුත් අපේ නිවස තුළට ඇතුල්වෙන වාතය ස්වභාවිකවම යම් පමණක් කූල් කරගන්නට හැකි වෙනවා. ඒ වගේම ගස් සිටුවීමෙන් අපේ නිවසේ වහලය සහ බිත්ති මතට කෙලින්ම ඇද වැටෙන සූර්යාලෝකයත් යම්තාක් දුරකට පාලනය වෙනවා. 

 

7. සෙන්ට්‍රල් වෙන්ටිලේශන් සිස්ටම් 

HVAC- Heating Ventilation and Air Conditioning – තාපය වාතාශ්‍රය සහ වායුසමනය කියන්නේ දියුණු රටවල දියුණු තාක්ෂණික ක්ෂේත්‍රයක්. වැඩකරන තැනක මේ වාතාශ්‍රය සේවකයින්ගේ කාර්යක්ෂමතාවය කෙරෙහි බලපානවා. ඒ වගේම නිෂ්පාදන කර්මාන්ත වලදී ඇතුළත ඇති වාතාශ්‍රය ඒ ඒ නිෂ්පාදන වලටත් බලපානවා. සෘතු භේද තිබෙන රටවලදි නිවස තුළ වාතය හුවමාරුව කාර්යක්ෂකම කරගන්න සෙන්ට්‍රල් සිස්ටම් පාවිච්චි කරනවා. ඒ තුළින් යට තට්ටු, උඩතට්ටු කාමර, කොරිඩෝර ආදී සෑම තැනක්ම සෑම කාලයකදීම මනාව සිසිල් වෙන ආකාරයට නිවස තුළ වාත හුවමාරුව පද්ධති මගින් පාලනය කරනවා. අපේ රටේ නිවර්තන පසුබිමක් නිසා අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙන්නේ නිවස සිසිල් කරගැනීමේ අවශ්‍යතාවය පමණයි. නිවාස ගෙවල් දොරවල් සැලසුම් කිරීමේදී HVAC ගැන සැලකිලිමත් වීම කළ යුතු දෙයක්. නැතිනම් පසුව එක් කරන වායුසමන සැලසුම් වලට විශාල වශයෙන් මුදල් වියදම් කරන්නට වෙනවා. 

 

භාවිතයේ තියෙන වායුසමන ක්‍රම ගණනාවක් ලංකාවෙත් පාවිච්චි වෙනවා. විශාල නිවාස සංකීර්ණ, හෝටල ආදියේ තිබෙන මධ්‍යම වායුසමන පද්ධති (Central AC System) විදුලිය ඉතුරු කරනවා වගේම හොඳ සුවපහසු සිසිලසක්ද අපිට ලබා දෙනවා. ඒ වගේම නව නිවසක් හෝ ෆ්ලැට් එකක් කුලියට ගද්දි කොහොමද ඇතුළේ කූලින් හෙම කියලා බලන එකත් අපිට වටිනවා. නැතිනම් කාමරේ හෝ අනෙක්සිය ලාභ වුනත් පසුව වායුසමන පද්ධති වලට ලොකු වියදමක් අපිට දරන්නට වෙනවා. ඉතින් ඔයාලට ගෙදර අවකාශය කූල් කරගන්න තියෙන ස්වභාවික හා කෘත්‍රිම විධි ගැන යම් අදහසක් මෙයින් එන්නට ඇති කියලා අපි හිතනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *