මේ කියන්න යන්නෙ අපූරුම ක්‍රීඩකයො ලැයිස්තුවක් ගැන. ඒ තමයි ලංකාවෙ ඉපදිලා, ලංකාවෙ පාසැල් සහ ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් ක්‍රීඩා කරලා ඉන්පස්සේ විදෙස් රටවල ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන්න ලැබුණු ක්‍රීඩකයෝ පිරිසක් ගැන. කියවලා බලන්නකො කවුද මේ අය කියලා…
1. මහාදේවන් සතාසිවම්
ලෝක පූජිත ගැරී සෝබර්ස්ට අනුව ලෝකයේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම පිතිකරුවා වුණු මහාදේවන් සතාසිවම් කියන්නෙ ලංකාවට ටෙස්ට් වරම් හිමිවෙන්න කලින් අවධියේ හිටපු පතාක යෝධයෙක්. සිලෝන් නාමයෙන් හඳුන්වපු ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින් ලෝක මට්ටමින් දැඩි අවධානයට ලක්වුණ ක්‍රීඩකයෙක් තමයි සතාසිවම්. නමුත් අවාසනාවට සතාසිවම්ට මිනීමැරුම් චෝදනාවකුත් එල්ල වෙනවා තමන්ගේ බිරිඳව මරා දැම්මය කියල. මේ සිදුවීමෙන් පස්සේ සතාසිවම් රට අතහැරල යනවා සිංගප්පූරුවට. ගිහින් ඒ ජාතික කණ්ඩායමෙත් නායකත්වය දරනවා. එතනින් නවතින්නෙත් නෑ. අන්තිම කාලෙදි මැලේසියානු ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කරල ඒ කණ්ඩායමෙත් නායකත්වය උසුලනව. මේ විදිහට රටවල් 3ක නායකත්වය දැරීම මෙතෙක් කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොකළ හපන්කමක්.
2. ෆ්ලේවියන් අපෝන්සු
1996 ලෝක කුසලානය කියන්නේ අපිට අමතක නොවෙන ලෝක කුසලානයක් බවට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ තරඟාවලියෙදි නෙදර්ලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරපු එක ක්‍රීඩකයෙක් අපිට අපේ අසංක ගුරුසිංහව සිහිගන්වන්න සමත් වෙනවා. ගුරා වගේම බොහොම සංයමයෙන් තමයි ඒ ක්‍රීඩකයත් ක්‍රීඩා කරන්නේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි, ශ්‍රී ලාංකිකයෙක් වෙච්ච ෆ්ලේවියන් අපෝන්සු. 1983 දී කුප්‍රකට දකුණු අප්‍රිකා තහනම් සංචාරයට සහභාගි වෙච්ච නිසා ෆ්ලේවියන්ට ලංකාව ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩා කරන එක ජීවිත කාලයටම තහනම් වෙනවා. ඊට පස්සේ තමයි ඔහු නෙදර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්න ගන්නෙ. ඔහු නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරඟ 5කට ක්‍රීඩා කරනව.
3. මංජුල ගුරුගේ
අම්බලන්ගොඩින් බිහිවෙච්ච ක්‍රීඩකයෙක් වුණු මංජුල ගුරුගේ, සිංහ ක්‍රීඩා සමාජයටත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. වමතින් මද වේග පන්දු යවන එක තමයි මංජුලගෙ විශේෂත්වය. පස්සෙ කාලෙකදි ඔහු අබුඩාබියට සංක්‍රමණය වෙනවා. ඉන් පස්සේ ක්‍රිකට් වලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන්න මංජුලට කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා එහෙ තියෙන සංක්‍රමණික නීති රීති නිසා. 2014දී තමයි මංජුල ඒ රට වෙනුවෙන් එක්දින වරම් ලබාගන්නෙ. එමීර් රාජ්‍යය වෙනුවෙන් එක්දින තරඟ 7කටත් විස්සයි විස්ස තරඟ 5කටත් ඔහු ක්‍රීඩා කරනව.
4. රුවිඳු ගුණසේකර
2018 අවුරුද්දේ ලංකාවේ පවත්වපු සීමිත ඕවර පළමු පෙළ විස්සයි විස්ස තරඟාවලියෙ හොඳම පිතිකරුවා වෙන්නෙ කැනඩා කණ්ඩායමට ක්‍රීඩා කරන ලාංකික ක්‍රීඩකයෙක්. ඒ තමයි රුවිඳු ගුණසේකර. 1991දී ලංකාවෙ උපත ලබන රුවිඳු 2006 අවුරුද්දෙදි කැනඩාවට සංක්‍රමණය වෙනවා. එහෙදී වැඩිදුර අධ්‍යාපනය ලබන අතරේ ක්‍රිකට් ක්‍රීඩාවේත් නියැලෙනවා. ඒ රටේ කැපී පෙනෙන තරුණ ක්‍රීඩකයෙක් බවට පත්වෙන රුවිඳු, 2008 අවුරුද්දෙදි බර්මියුඩාවට එරෙහිව කැනඩා කණ්ඩායම නියෝජනය කරන්නට අවුරුදු 16ක තරම් ලාබාල වයසකදි සමත් වෙනවා. මේ වෙද්දි ඔහු එක්දින තරඟ 19ක් සහ විස්සයි විස්ස තරඟ 8කට කැනඩා කණ්ඩායම නියෝජනය කරල තියනව.
5. රෝයි සිල්වා
කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන රෝයි සිල්වා, ලංකාවෙ පළමු පෙළ කණ්ඩායම් කීපයක්ම නියෝජනය කරපු ක්‍රීඩකයෙක්. පස්සෙ කාලෙක ඔහු ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඒ රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න සුදුසුකම් ලබනවා. 2019 වසරේදි තමයි ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් තමන්ගේ මංගල විස්සයි විස්ස තරඟයට රෝයි ක්‍රීඩා කරන්නෙ. ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් ඒ තරඟෙදි රෝයි පන්දු 7කින් ලකුණු 25ක් ලබාගන්න සමත් වෙලා තියනව.
6. ජොහාන් සමරසේකර
1980 ගණන් වලදි කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරපු ජොහාන් සමරසේකර පස්සේ එමීර් රාජ්‍යයට සංක්‍රමණය වෙලා ඒ රටේ කණ්ඩායම නියෝජනය කරන්න සමත් වෙනව.1994 දී සාජා හි පැවැත්වුණු පෙප්සි කුසලානෙදි ඉන්දියාවට එරෙහිව පළමු එක්දින තරඟයට ඔහු වරම් ලබා ගන්නවා. එහිදී එක් කඩුල්ලකුත් දවාගන්නවා. කොහොම වෙතත් පන්දුවෙන් හෝ පිත්තෙන් කැපී පෙනෙන විදිහේ දස්කම් දක්වන්න ඔහු අසමත් වීම නිසා තරඟ කීපයක් ක්‍රීඩා කිරීමෙන් පස්සේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමෙන් ඉවත් වෙනව.
7. බුද්ධික මෙන්ඩිස්
1999 අවුරුද්දේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට පටන් ගන්නා බුද්ධික මෙන්ඩිස් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමටයි ක්‍රීඩා කරන්නෙ. බුද්ධික කියන්නෙ පිත්තෙන්, පන්දුවෙන් දස්කම් දක්වන්න විතරක් නෙමෙයි, කඩුලු රකින්නත් හැකියාවත් තියන ක්‍රීඩකයෙක්. 2000 මුල් ගණන් වලදී සිංගප්පූරුවට සංක්‍රමණය වෙන බුද්ධික 2002 අවුරුද්දෙදි එරටේ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියාවට එරෙහිව පළමු එක්දින තරඟය ක්‍රීඩා කරනවා.
Leave a Reply