ඔයාගේ කම්පියුටරේ කවුරු හරි හොරෙන් හැක් කරලද? ඒක දැනගන්න දිගටම කියවන්න!

 

කොම්පියුටර් හැකර්ස්ලා කිව්ව ගමන් බුදු අම්මෝ කියවුණු කාලෙකුත් අපිට තිබ්බා. ඒ කාලේ අපිට නිකං හැකරු පෙනුනේ මකරු වගේ තමයි. ඉන් පස්සේ ඔන්න ටිකෙන් ටික කම්පියුටර්ස් ගැන දැනගන්නකොට අපිටත් ඕන වුනා හැකර්ස්ලා වෙන්න. මොකද අපිට පෙනුණේ හැකර්ස්ලා කියන්නේ කොම්පියුටර් ලෝකේ කෙළ පැමිණි සුපිරිතම වැඩ්ඩෝ කියල තමයි. සමහරු ඉතින් ඇත්තටම ඔය විෂය ඉගෙන ගෙන පරිගණක ප්‍රාඥයෝ වුනා. තව සෙට් එකක් නිකං ‘අපි මාර හැකර්ස්ලා, ඔයාව හැක් කරනවා වැඩිය දැඟලුවොත්’ කියලා ටෝක්ස් දෙන්න පටන් ගත්තා. කොහොම වුනත් ඔය වෙන්ඩ හැකර්ස්ලට නං සත පහකට ගණන් ගන්න ඕන නෑ. හැබැයි ඇත්ත හැකර්ස්ලව නං ගණන් ගන්න වෙනවා. සමහරු හිතනවා අපිව හැක් කරලා මොනවා ගන්නද කියලා. එහෙම හිතන්න එපා. ෆිල්ම් ටිකකුයි, සිංදු ටිකකුයි විතරක් තියෙන ගෙදර කම්පියුටර් එකට වුනත් ඒ වගේ බාහිර ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්.

දැන් ඊලඟ කාරණාව. අපිව බැරිවෙලාවත් එහෙම හැක් වෙලා නම් කොහොමද අපි ඒක දැනගන්නේ? ආන්න ඒ ගැන තමයි අපි මේ කියන්න සූදානම් වෙන්නේ!

 

1. මාරම ස්ලෝ!

සාමාන්‍යයෙන් අපි වර්තමානයේ පාවිච්චි කරන කම්පියුටර්ස් වල සාමාන්‍ය වැඩ දෙක තුනක් වුනත් එක වර කරගන්න පුළුවන් තරමේ පරිගණක බලයක් තියෙනවා. ඒ කියන්නේ කිසිම ස්ලෝ වීමක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්. අපි කියමු ෆොටෝෂොප් අනං මනං පවා ඕපන් කරලා තියාගෙන ෆිල්ම් එකකුත් බලනකොට ස්ලෝ නොවුණු මැෂින් එක වර්ඩ් ඩොකියුමන්ට් එකක් විතරක් ඕපන් කළත් පුදුමාකාර විදියට ස්ලෝ වෙන්න පටන් අරගෙන කියලා. ඒ කියන්නේ හැක් වෙලා කියන එක නෙවෙයි. ගොඩක් වෙලාවට මැෂින් එක එහෙම ස්ලෝ වෙන්න සෑහෙන හේතු තියෙනවා. සමහර වෙලාවට හාඩ් එක පිරිලා තියෙන අනවශ්‍ය ඩේටා අයින් කරලා, ඩිස්ක් ක්ලීනප් එකක් එහෙම කරලා ගත්තහම ඔය තත්ත්වය දුරු වෙනවා. හැබැයි එහෙම මොන දෙයක් කරලත් ස්ලෝ වෙන එක නවතින්නේ නැතිනම්, කාගේ හරි අනවශ්‍ය පරිගණක ක්‍රමලේඛයක් – ඒ කිව්වේ  malware එකක් කම්පියුටරේ පදිංචි වෙලා වෙන්න පුළුවන්! ගොඩක් වෙලාවට මේ වගේ වෙලාවක හොරු අල්ලන්න පුළුවන් ටාස්ක් මැනේජර් එකෙන්. ඕකේ ප්‍රොසෙසින් පවර් එකෙන් සියේට අසූ අනූගාණක් වගේ බර ගාණක් පාවිච්චි වෙන ටාස්ක් එකක් තියෙනවා නම්, ඒක දන්න එකකුත් නෙවෙයි නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ!

 

2. ඩේටා කැපෙන්නේ මේම මේම!

අපේ ගොඩක් අයියලා ඉතින් ඉන්ටර්නෙට් එකෙන් උදේ රෑ නැතුව අනං මනං ඩවුන්ලෝඩ් කරලා ඉන් පස්සේ නහයෙන් අඬනවා ඩේටා ඉවරයි කියලා. හැබැයි අපි හිතමු තමන්ගේ ඩවුන්ලෝඩ් කටයුතු හරියට ගාණක් මිම්මක් ඇතුව කරන මනුස්සයෙක්ගේ 60GB පැකේජ් එක දවස් දෙක තුනෙන් සුටුස් ගාලා ඉවර වෙනවා කියලා.

ආන්න එතකොට අපිට හිතන්න වෙනවා මෙතන වෙන මොකක් හරි හොරයක් තියෙනවා කියලා. අපිට පුළුවන් වහාම රවුටරේ පාස්වර්ඩ් මාරු කරලා බලන්න. මොකද වෙන බූතයෙක් රවුටරේට රිංගගෙන වෙන්නත් පුළුවනිනේ. හැබැයි ඊට පස්සෙත් ඩේටා පාවිච්චි වෙන විදිය අධීක්ෂණය කරනකොට අසාමාන්‍ය විදියට ඩේටා පාවිච්චි වෙනවා නම්, එතන තියෙනවා ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ඔය හැකර් ඩයල් එකකගේ අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් අපේ කොම්පියුටරේට රිංගලා වෙන්න පුළුවන්.

 

3. පොප් අප් පොප් අප් ඇඩ්ස්!

සාමාන්‍යයෙන් අපි පොප් අප්ස් දකින්නේ ඔය ටෙලිවිෂන් සීරීස් එකක්, ෆිල්ම් එකක්, නිල් කෑල්ලක් එහෙම අනවසරයෙන් ඩවුන්ලෝඩ් කරනකොටනේ. හැබැයි එතනින් එහාට ඔය පොප් අප් ඇඩ්ස් බ්‍රවුසරේට වද දෙන්නෙ නෑ. ඒත් සාමාන්‍ය වැඩක් පලක් කරන්න ගියත් කොච්චරවාත් පොප් අප් වින්ඩෝස් එනවා නම්, එහෙම නැත්තං කොච්චරවාත් පොප් අප් එන්න දඟලනවා කියලා බ්‍රවුසරෙන් අනතුරු ඇඟවීම් එනව නම් අන්න ටිකක් සැලකිලිමත් වෙන්න ඕන තත්වයක්. ඒ පොප් අප් වලින් එක එක කුණුහරුප සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න කියලත් කියන්න පුළුවන්, හැබැයි අහුවෙන්න එපා!

 

4. රීස්ටාර්ට්!

සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ඔටෝම රීස්ටාට් වෙන එක ලොකුම ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඔය සොෆ්ට්වෙයාර් අප්ඩේට් එහෙම එනකොට කම්පියුටර් එක ඔටෝ රීස්ටාර්ට් වෙනවා. ඒත් එහෙම කරන්නද කියලා අපෙන් කලින්ම අහනවා. සමහර වෙලාවට ඔය මැසේජ් එක එනකොට අපි මැෂින් එක ගාව නොහිටියොත් අපි කර කර හිටපු වැඩ ටික එයාම සේව් කරගෙන මැෂින් එක රීස්ටාර්ට් කර ගන්නවා. හැබැයි එහෙම මොකුත් නැතුව අලුත්ම මෙහෙයුම් පද්ධති තියෙන මැෂින් එකක් හිටු කියලා රීස්ටාට් වෙනවා නම් අන්න ප්‍රශ්නයක්. මේ වගේ වෙලාවට ඔය වින්ඩෝස් 10 එහෙම තියෙන මැෂිමක නම් Microsoft Windows Malicious Software Removal Tool පාවිච්චි කරලා බලන්න පුළුවන්!

 

5. මම දන්නෙත් නෑ ඊමේල්ස් ගිහින්!

සාමාන්‍යයෙන් අපේ අනුදැනුමකින් තොරව තව තව අයට ඊමේල්ස් ගිහිල්ලා නම්, අපි දන්නෙත් නැතුව ෆේස්බුක් එකේ එහෙම අපේ එකවුන්ට් එකෙන් පෝස්ට් වැටිලා නම් ඒකෙන් කියවෙන්නේ දේවල් දෙකක්. එක්කෝ අපි කුණුවෙන්න බීපු වෙලාවක තමයි පිස්සු කෙලලා ඊමේල්ස් යවලා, පෝස්ට් දාලා තියෙන්නේ. එහෙම නැතිනම් අපේ ඊමේල් එකවුන්ට් එක හරි සෝෂල් මීඩියා එකවුන්ට් එක හරි ඔය දෙක තුනම හරි හැකර් කෙනෙක් අතට පත් වෙලා. මෙතනදී මූලිකවම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා ගිණුම් ඔය වෙන වෙන අය අතට යන්නේ අපිව හැක් වෙලාම නෙවෙයි, අපි ඉල්ලගෙන කාලා. ඒ කියන්නේ එක්කෝ අපේ ටෙලිෆෝන් නම්බර්ස් වගේ ලේසියෙන් ගෙස් කරන්න පුළුවන් පාස්වර්ඩ් දාලා. එහෙම නැතිනම් පබ්ලික් මැෂින් එකක ලොග් අවුට් වෙන්නේ නැතුව දාලා ගිහිල්ලා!

 

6. ලෝඩ් වෙනවා ලෝඩ් වෙනවා ඉවරයක් නෑ!

සාමාන්‍යයෙන් දැන් තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් වලින් එහෙම යූටියුබ් වීඩියෝ එකක් දැම්මත් බෆර් වෙන්න කාලයක් ගන්නේ නැති තරම්. සුටුස් ගාලා වීඩියෝ එක ප්ලේ වෙනවා. ඔන්න අපි වීඩියෝ දහයක් පහළොවක් එක පාර ඕපන් කරගෙන ප්ලේ කරලා තිබුණොත් පොඩ්ඩක් ස්ලෝ වෙන්න පුළුවන්. හැබැයි වෙනදා නැති විදියට වීඩියෝ පැය ගණන් බෆර් වෙවී තියෙනවා නම්, වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන්න හත් අවුරුද්දක් යනවා නම් අන්න එතන තියෙනවා ප්‍රශ්නයක්. අර උඩින් කිව්වා වගේ එක්කෝ අසල්වාසියෙක් ඔයාගෙ වයි ෆයි නෙට්වර්ක් එකෙන් ගොඩයනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම හැකර් ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්!

 

7. වහාම අහවල් ඇන්ටිවයිරස් එක දාගන්න කියන මැසේජස්!

ඔය සයිබර් ආරක්ෂාව ගැන ලොකුවට දැනුමක් නැති හාදයෙක්ගේ කම්පියුටරයක් දැක්ක ගමන් පේන දෙයක් තමයි, සෑහෙන්න අනවශ්‍ය සොෆ්ට්වෙයාර් එහෙම ඉන්ස්ටෝල් කරලා, ඒවල ෂෝට් කට් ඩෙක්ස්ටොප් එකෙත් තියෙන බව. එහෙම උන්දැලගේ මැෂින් වල නම් හැම වෙලේම අහවල් එක එක්ස්පයර් වෙලා, අහවල් ඇන්ටිවයිරස් එක දාගන්න කාලෙ හරි කිය කියා මැසේජස් පොප් අප් වෙන එක අරුමයක් නෙවෙයි. එහෙම නොවෙන සාමාන්‍යයෙන් තමන්ගේ මැෂින් එක නීට් එකට තියාගෙන ඉන්න ඩයල් එකකට වුනත් ඔය වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්.

එක පාරටම ඩෙක්ස්ටොප් එකේ වින්ඩෝ එකක් පොප් අප් වෙලා කියන්න පුළුවන් ‘ඔයාගේ මැෂින් එකට ඇටෑක් එකක්, වහාම අහවල් ඇන්ටිවයිරස් එකෙන් ස්කෑන් කරන්න’ කියලා. එහෙමත් නැතිනම් ‘ඔයාගේ ඇන්ටිවයිරස් එක එක්ස්පයර් වෙලා, ඉක්මනට ආයෙත් ගන්න’ කියලා. අන්න එතකොට හිතලා බලන්න අපේ මැෂින් එකේ ඔය වගේ ඇන්ටිවයිරස් ඇප් එකක් දාලා තියෙනවද කියලා. එහෙම එකක් නැතිනම් මොන ඇන්ටිවයිරස් එකක්වත්, අංකල් වයිරස් එකක්වත් හිතන්න එපා. වහාම මැෂින් එකට හොඳ සුද්ධයක් දෙන්න!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *