ආයෙමත් දවසක – 21 කොටස

පළවෙනි කොටස මෙතනින් කියවන්න

20 කොටස මෙතනින් කියවන්න

21 කොටස

සියුමි හෙල්ලුනේ නැතුව හිටියට සියුමි නිදියගෙන හිටියේ නෑ. ඒ බව නදික තේරුම් ගත්තෙ සියුමි නදිකගෙ උකුළෙ ඔලුව තියාගෙන හිටපු නිසායි. සියුමි දිවෙන් දත් අස්සෙ හිර වෙච්ච බීෆ් කෑල්ලක් අයින් කරන්න හදන හැටි නදිකගෙ උකුලට තේරුණා. ඒ මොහොත රාගික හැඟීම් අවදිවෙන්න හොඳින්ම ඉඩ තියෙන වෙලාවක් වුනත් නදික ඒකට ඉඩක් දුන්නෙ නෑ. නදික සියුමිගෙ ඔලුවට අත තිබ්බා. සියුමි නදිකගෙ අත අයින් කළා. නදිකට ඒ වෙද්දිත් හිතෙමින් තිබුණෙ සියුමි අශිනි අක්කා ගාවදි ඇඬුවේ ඇත්තටම නදිකට තියෙන ආදරේකට බවයි. ඒත් නදිකගෙ අත අයින් කළාම නදිකගෙ හිතට ඒ ගැන සැකයක් දැනුණා. ඒ මොහොතෙම සියුමි නිහඬතාවය නැති කළා.

“අපි බත් කමුද නදික? ඔයාට බඩගිනි නැද්ද?”

“මෙච්චර මස් කාලා තවත් බඩගිනිද?”

“ඒ මස් එක රසයි. ඒකත් එක්ක බත් ටිකක් කන්න තිබ්බනං හොඳයි”

“යං එහෙනං”

“ඔයා මට කවනවද?”

“මට කාටවත් කවලා පුරුද්දක් නෑ”

“එහෙනං දැන් පුරුදු වෙන්න වෙයි”

“ඒ ඇයි?”

“නිකං… මට අද කවන්නකො”

“එක කටක් කවන්නං”

“එක කටක් කාලා මොනව කරන්නද අනේ?”

“මොකද ඔයා මට ඔහොම රික්වෙස්ට් කරන්නෙ. ඔයා මට ලවුද?”

“පිස්සුද අනේ… මට බත් අනන්න කම්මැලියි”

දැන් සියුමි තමුන්ට ආදරේ නැති වග නදිකට ප්‍රත්‍යක්ෂයි. නදිකට පුදුම හිතුණා. වෙලාවකට හිතෙනවා සියුමි ආදරෙයි කියල. වෙලාවකට හිතෙනව එහෙම නෑ කියල. ආයෙත් හිතෙනව ආදරෙයි කියලා. ආයෙත් නෑ කියල හිතෙනවා. මේක වෙන්නෙ සියුමිම කරන සමහර වැඩ නිසා නේද? මෙහෙම හිත හිත නදික සියුමිට බත් කටවල් ගාණක්ම කැවුවා. ඒ වෙලාවෙත් නිහඬකම බින්දෙ සියුමි.

“ඔයත් කන්නකො”

“බෑ”

“ඇයි?”

“බඩගිනි නෑ”

“මගේ කෙල ගෑවිලා නිසා අප්පිරියයිද?”

“නෑ”

“එහෙනං?”

“ඇයි ඔයා අර වෙලාවෙ ම​ගේ අත අයින් කළේ?”

“මොන වෙලාවෙද අනේ?”

“ෆිල්ම් එක බලද්දි?”

“මට මතක නෑනෙ”

“ඔයාගෙ ඔලුවට මම අත තිබ්බම අයින් කළේ?”

“ඔයා දන්නවද?”

“මොකද්ද?”

“මම ඔයා ඒක අහනකං හිටියෙ”

“ඒ ඇයි?”

“ඔයාට තාමත් තේරෙන්නෙ නැද්ද මං ඔයාට ආදරෙයි කියල”

“නෑ මට එහෙම හිතෙන්නෙ නෑ”

“මං ඔයාට ආදරෙයි නදික”

“ඔයා ප්‍රෑන්ක් එකක්ද කරන්නෙ?”

“මම රට ඉද්දිවත් තනියම කොල්ලෙක්ගෙ ගෙදර ගිහින් නෑ”

“ඒත්…”

“මම අම්මට කියලවත් බත් කවාගන්න ආසා කෙල්ලෙක් නෙමෙයි නදික”

“පොඩ්ඩක් ඉන්න”

“බෑ…”

“ඇයි?”

“ඔයාට මට ආදරේ කියන්න තිබ්බ වෙලාවෙ ඔයා කිවුවෙ නෑ”

“ඉතිං”

“ඉතිං දැන් මං කියනකං අහගෙන ඉන්න”

“සියුමි”

“අපි යමුද නිදාගන්න?…”

සියුමිට ඇඳුමක් තිබුනෙ නැති නිසා සියුමිගෙ වතුරෙන් තෙත්වෙලා බාගෙට පිහදාපු ඇඟ වැහුනෙ නදිකගෙ ටීෂර්ට් එකකින්. තාත්තට කෝල් කරලා බොරුවක් කියලා සියුමි ඇඳට එනකං නදික බලාගෙන හිටියා. සියුමි කොට්ටෙටවත් ඔලුව නොතියා කෙලින්ම ආවෙ නදිකගෙ පපුව උඩ මූණ හංගගන්න.

“හරිම සනීපයි…”

“මොනවද?”

“ඔයා එක්ක ඉන්න එක”

“ඇයි?”

“ඔයා වලත්තයි සෙල්ලක්කාරයි කියල ඔයා හිතාගෙන හිටියට ඔයා හරිම හොඳයි නදික”

“ඔයා කොහොමද කියන්නෙ?”

“ඔයා මට ආදරේ කරන විදියෙන් ඒක තේරෙනව”

එදා රෑ කිසිම සෙක්ස් ඇක්ට් එකක් සිද්ධ වුනේ නෑ. එදා රෑ අපේ කතා නායකයා නියම ආදර කතාවක් පටන්ගත්තා. කොහොම කෙලවර වෙයිද? මොන මොන අවුල් එයිද කියලා නොදන්නවා වුනත් නදික සනීපෙට ඇස් පියාගත්තා. සියුමි ඒ වෙනකොටත් නිදාගෙන හිටියෙ.

උදේ ඇහැරෙද්දි නදිකගෙ බෙල්ල පොඩ්ඩක් රිදෙන ගතියක් දැනුණා. ඊයේ රෑ සියුමිව ඇහැරෙන්න නොදී කිසිම ඇලයකට හැරෙන්නෙ නැතුව එකම විදියට නිදාගත්තා කියලා නදිකට මතකයි. ඒත් ඇඳේ සියුමි හිටියේ නෑ. නදික එළියට ගියා. සියුමි එහෙත් නෑ. සියුමි ගෙදරින් ගිය විත්තිය අප්පු කිවුවා. නදික සියුමිට ​කෝල් එකක් ගන්න ෆෝන් එක අතට ගන්නකොට සියුමි දාපු දිග මෙසේජ් එකක් නදික දැක්කා.

Mata thawath meka gana hithanna ona. Mama kawadawath kollekuta mechchara aadare karala na. Enisa mata oyawa marry karanna ona. Ekata oyagen kamaththa ahanna kalin mama thaththigen permission aran inna ona. Oya kamathi unath nathath mama eyata kiyanna ona. See you soon.

ඒ මෙසේජ් එකෙන් නදික ගැස්සුනා. කසාද බඳින්න? දැන්මම? සියුමිව? මේ ගැන ආයෙ ආයෙත් හිතන්න බැරි නිසාත්, සෙනසුරාදා දවසක් නිසාත් කෝල් එකක් දීලා නදික කොල්ලො සෙට් එක එක්ක සෙට් වීමක් ප්ලෑන් කරා. මේ වගේ දේවල් බීලාවත් අමතක කරන්න ඕන.