පිට්ටු වර්ග 5ක් ලේසියෙන්ම හදාගන්න ක්‍රමය මෙන්න

පිට්ටු එහෙමත් නැත්නම් කේරලෙන් මෙහෙට ආව පුට්ටු කියන්නෙ රෑ කෑමක් විදියටයි උදේ කෑමක් විදියටයි ලංකාවෙ අපි අතර සෑහෙන ජනප්‍රිය කෑමක්. හරිම විදියට හාල් පිටි වලට පොල් කලවම් කරල හදන මේ පිට්ටුවේ එක එක ප්‍රභේද දැන් තියෙනව. අද මේ කියන්න යන්නෙ පිට්ටු එහෙමත් නැත්නම් පුට්ටු හදාගන්න රෙසිපි කීපයක් ගැන.

 

1. හාල් පිටි පිට්ටු

Image Source – en.wikipedia.org

උකු පොල් කිරි ටිකක්, සැරට හදපු කට්ට සම්බෝලයක් එක්ක හරි සීනි ටිකක් එක්ක හරි කියාපු කෑම. ලේසියෙන්ම හදන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. හාල් පිටි කප් 1 1/2
  2. පොල් කප් 1
  3. රස අනුව ලුණු
  4. වතුර හෝ පොල් කිරි
  • පොල් ටිකට ලුණු එකතු කරල අනාගන්න. ඒකට පිටි ටික එකතු කරන් ඇඟිලි තුඩු වලින් කලවම් කරන්න. පොල් සහ පිටි හොඳින් මිශ්‍ර උනාම පොල් කිරි හෝ වතුර ටික ටික ඉසිමින්, ඇඟිලි තුඩු වලින් පොඩි කරමින් කුඩා කැට හදාගන්න.
  • පිට්ටු බම්බුවකට පිටි මිශ්‍රණය දාගෙන යන්තම් එක පාරක් දෙපාරක් වටේට තට්ටු කරගන්න. පිට්ටු මිශ්‍රණය පුරවල අතින් හෝ හැඳි වලින් තද කරන්න එපා. හුමාලය පිට්ටුව තුළින් ගමන් නොකළම තැම්බෙන්නෙ බාගෙට.

 

2. රුලං පිට්ටු

Image Source – Lifie.lk

සැරට හදාගන්න චිකන් හොද්දක් හොඳටම ඇති. මේ විදියට එළවළු එකතු කරල හෝ නොකර හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. රුලං කප් 2
  2. පොල් කප් 2
  3. සිහින්ව ගාගත් කැරට්
  4. සිහින්ව කපාගත් ලීක්ස් සහ අමු මිරිස්
  5. චොප් කරගත් ළූණු
  6. ලුණු
  • පොල් වලට ලුණු සහ එළවළු සියල්ල එක් කර අනාගන්න. රුලං ටික සුවඳ හමන තුරු කබලේ රත් කරගෙන පොල් මිශ්‍රණයට එකතු කරගන්න.
  • වතුර ස්වල්පය බැගින් ඉසිමින් ඇඟිලි තුඩු වලින් කලවම් කරමින් කැට කරගන්න. පෙර පරිදිම පිට්ටු බම්බුවට මිශ්‍රණය තද නොකර පුරවා තම්බාගන්න.

 

3. මනි පිට්ටු

Image Source – deskgram.net

බාබත් කරියක්, පරිප්පු හොද්දක් එක්ක මනි පිට්ටු කියන්නෙ රසවත් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ඉඳි ආප්ප පිටි කප් 3
  2. ලුණු
  3. වතුර
  • ඉඳි ආප්ප පිටි පැකට්ටුවේ ඇති පරිදි ඉඳි ආප්ප පදමට අනාගන්න. ඉඳි ආප්ප වංගෙඩියේ තියෙන මහත සිදුරු සහිත තැටිය දමා පිටි මිශ්‍රණය පිටි ටිකක් දමාගත් පිටි හලනයකට වක් කරගන්න.
  • වක් කරගත් රැලි ටික පිටි වල දවටමින් හලාගන්න. කුඩා කෑලි වලට කැඩුණ රැලි ටික පෙර පරිදිම පිට්ටු බම්බුවේ තම්බාගන්න.

 

4. කුරක්කන් පිට්ටු

Image Source – youtube.com

කිරි හොද්දක්, ලුණු මිරිසක්, මිරිස් මාළුවක් එක්ක කියාපු පිට්ටුවක්. කුරක්කන් වැඩියෙන් දාල තමයි රසම.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. කුරක්කන් පිටි කප් 1 1/2
  2. හාල් පිටි කප් 1/2
  3. පොල් කප් 1 1/2
  4. ලුණු
  5. වතුර
  • කුරක්කන් පිටි සහ හාල් පිටි එකට මිශ්‍ර කරගන්න. පොල් වලට ලුණු දමා අනාගෙන පිටි මිශ්‍රණය එක් කර ඇඟිලි තුඩින් මිශ්‍ර කරගන්න.
  • වතුර ටික ටික ඉසිමින් කැට කරගෙන පෙර පරිදිම පිට්ටු බම්බුවක තම්බාගන්න.

 

5. පාන් පිටි පිට්ටු

Image Source – pinterest.com

පාන් පිටි තම්බල අරන් පිට්ටු හදන්නත් පුළුවන්. නැත්නම් මේ විදියට ලේසියෙන් කරගන්නත් පුළුවන්. කොහොම හැදුවත් පාන් පිටි පිට්ටු කන්න ලුණු මිරිසක් එක්ක කිරි හොද්දක් නම් ඕනමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පාන් පිටි කප් 2
  2. පොල් කප් 1 1/2
  3. පොල් කිරි
  4. ලුණු
  • පාන් පිටි ටික කබලේ බැදගන්න. පිටි වියලි ගතියට ආවම ලුණු මිශ්‍ර කරගත්ත පොල් වලට දාල ඇඟිලි තුඩින් කලවම් කරගෙන පොල් කිරි ටික ටික ඉසිමින් කැට කරගන්න.
  • පෙර පරිදිම පිට්ටු බම්බුවේ තම්බාගන්න.

 

සැලකිය යුතු දේ සහ පිට්ටු බම්බු නැත්නම් හදන හැටි

  • මොන පිට්ටුව හැදුවත් උණුවෙන්ම කන්න ගන්න. නැත්නම් ක්ලින්ග් රැප් හෝ ලන්ච් ශීට් එකකින් උණුවෙන්ම ඔතල තියන්න. වියලි ගතියක් එන්න බලනව නිවෙනකොට.
  • පිට්ටු බම්බුවක් නැති කෙනෙක්ට පිට්ටු කන්න අකැප නෑ. පොඩි ඇලුමිනියම් කප් වල දාල ඒක වහන්න. වහල ස්ටීමර් එකක ස්ටීම් කරන්න. එහෙමත් නැත්නම් පිරිසිදු රෙදි කෑල්ලකට පිට්ටු මිශ්‍රණය දාල වඩාත් තද හෝ බුරුල් නොවෙන්න ගැට ගහගෙන ස්ටීමර් එකක තම්බගන්නත් පුළුවන්.

 

Cover Image Source – avacare.in

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *