යතුරු සිදුරුවලින් එබී බලා ලිංගික සතුටක් ලබ​න Voyeurism

මේකේ හෙඩිම දැක්ක ගමන් දර්ශන කියලා නම් තියෙන සිය ගාණක් මතක් වෙන්න ඇති නේද? නෑ, නෑ අපි අද කතා කරන්න යන්නේ අනිත් අයගේ නිරුවත් සිරුරු, ලිංගික ක්‍රියාකාරකම් දිහා බලාගෙන ලිංගික තෘප්තිය ලබාගැනීම ගැන. මේ​ක හඳුන්වන්නේ දර්ශනකාමය කියලා. ඉංග්‍රීසියෙන් “Voyeurism” විදිහට හඳුන්වනවා.

 

1. ඉස්සර 

ඉස්සර කාලෙත් දර්ශනකාමයෙන් ලිංගික තෘප්තිය ලබා ගන්න පුද්ගලයෝ ඉඳලා තියෙනවා. නානතොටවල ඉඳන් කාන්තාවෝ නාන දිහා බලන් ඉඳලා ගිහිල්ලා තියෙන්නේ මේ වගේ අය. බොහෝ වෙලාවට මේ වගේ අය නරඹා ස්වයංවින්දනයේ යෙදීමෙන් පමණක් සෑහීමකට පත්වෙනවා. කිසිම අවස්ථාවක ශාරීරික අතවරයක් කරන්න උත්සාහ කිරීමක් කරන්නේ නෑ.

 

2. දැන්

දැන් කාලෙදි නම් මේ තත්ත්වය වෙනස් විදිහකට වෙන්නේ. තරුණ යුවලක් පෙම් කෙළින නවාතැන්පොළවල සිදුරු මඟින් පෙම් කෙළින ආකාරය නැරඹීමෙන් මේ අය තමන්ගේ ආශාව ඉටු කරගන්නවා. “හිල්මන්” කියලා සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ අයව හඳුන්වනවා.

හැබැයි සමහරු මීට වඩා ඉදිරියට යනවා. නානකාමරවල, වෙළඳසැල්වල ඇඳුම් මාරු කරන  තැන්වල රහසිගත කැමරා සවි කරලා ඒ වීඩියෝ දර්ශන නරඹලා තමන්ගේ අවශ්‍යතා මේ අය ඉෂ්ට කරගන්නවා.

 

3. ඔයාත් එහෙමද?

මේ දර්ශනකාමය ගැන ගැඹුරෙන් විශ්ලේෂණය කරන සමහර විශේෂඥයෝ කියන්නේ හැම කෙනෙක් තුළම දර්ශනකාමයට ලැදි කෙනෙක් සැඟවිලා ඉන්නවා කියලා. ඔව් මේ ආටිකල් එක කියවන ඔයත් ඒ වගේ තමයි. ඒක වෙන්නේ මෙහෙමයි අපි හැමෝම බොහෝ විට තාවකාලික ලිංගික තෘප්තිය ලබා ගන්න ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ චිත්‍රපටි නරඹනවා. එතකොට කෙනෙක්ගේ හෝ කීපදෙනෙක්‍ගේ ලිංගික එකතුවීම අපි බලලා තෘප්තියක් ලබාගන්නේ තුන්වෙනි පාර්ශවයක් විදිහට. ඒ නිසා අපි හැමෝම ඒ කැටගරි එකට වැටෙනවා.

 

4. දර්ශනකාමයෙන් පෙ​ළෙන යක්කු 

දර්ශනකාමයට ප්‍රිය කරන යක්කුත් ඉන්නවා. ඒ අතරින් ප්‍රසිද්ධම යක්ෂයා වෙන්නේ කළු කුමාරයා. කළු කුමාරයා වින කරන තැන් දිහා බැලුවම ඒ ගැන පැහැදිලි වෙනවා. “යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස් යට, මංසල වල, රදා තොටුපළ, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුලුටු, මස්, බිත්තර බැ​ද කා යනවිට, වතක් ගලවා වතක් අඳින තැන්” මේ තැන්වල ඉඳන් ගෑණු ළමයින්ව තමන්ගේ වසඟයට ගන්න කළු කුමාරයට වෙසමුණි වරම් ලැබිලා තියෙනවා.

 

5. යක්කු විතරක් නෙමෙයි දෙවිවරුත් ඉන්නවා

ක්‍රිෂ්ණා දෙවියන් පිළිබඳව දේව කතා හැදෑරීමේදී පෙනී යන දෙයක් තමයි ක්‍රිෂ්ණ දෙවියනුත් මේ දර්ශනකාමයට ප්‍රිය කළා කියන දේ. ගෝපිකාවන් නාන තැන්වල ඉඳලා ඔවුන්ගේ වස්ත්‍රාභරණ සැඟවීම ක්‍රිෂ්ණා සිදු කළා. බොහෝ වෙලාවට ඔවුන්ගේ වස්ත්‍රාභරණ ලබා ගන්න ගෝපිකාවන්ට ක්‍රිෂ්ණා ඉදිරියේ නිරුවතින් නර්තනයේ යෙදෙන්න සිද්ධ වුණා.

 

6. කිසිසේත්ම අනුමත කළ නොහැකි දර්ශනකාමය

අපි දර්ශනකාමයේ ඉතිහාසය, ඒ සබැඳි ජනප්‍රවාද ගැන ඉහත සටහන්වලින් කතා කළාට කෙනෙක්ගේ හෝ කීපදෙනෙක්ගේ නිරුවත් සිරුරු හෝ ලිංගික ක්‍රියාකාරකම් ඔවුන්ගේ අනුමැතිය රහිතව නැරඹීම අපගාමී ලිංගික චර්‍යාවක්. මෙවැනි පුරුද්දකට ඇබ්බැහිවීම නිසා සාමාජීයව ඔබව ප්‍රතික්ෂේප වන්නට පුළුවන්. ඒ වගේම අදාළ පුද්ගලයන්ට හසුවීම නිසා ශාරීරිකවත් පීඩාවට ලක් වෙන්න පුළුවන්.

 

7. ප්‍රතිකාර ගැනීම

මේ සඳහා ඔබට මනෝ වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. මේ ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබට විශ්වාසවන්ත පුද්ගලයකුට ඔබ සිටින තත්ත්වය දැනුම්දීම ද ඇතැම්විට ඔබට යම් පහසුවක් වනු ඇත. උදාහරණයක් විදිහට ඔබ මේ පුරුද්ද නිසා යම් අකරතැබ්බයකට ලක් වුවහොත් ඔබව ආරක්ෂා කර ගැනීමට හෝ යම් පුද්ගලයෙකු සිටීම වැදගත්.

 

එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්‍ට් කරන්නත් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම දර්ශන කාමයෙන් පෙළෙන පුද්ගලයන් ගැන මදක් සැලකිලිමත් වෙලා ඒ වගේ අයට ප්‍රතිකාර ලබා ගන්න ඔබේ සහය ලබාදෙන්න.