මේ කාලේ ගෙදරින් එළියට බහින එකත් අවදානම්නේ. එහෙමයි කියලා ළඟ එන නත්තලට ලෑස්ති නොවී කොහොමද නෙහ්. ඔන්න අද අපි කියලා දෙන්න යන්නෙ වෙනදට කඩෙන් ගන්න ඒත් ගෙදරදීම හදන්න පුළුවන් නත්තල් කේක් අමුද්‍රව්‍ය ගැන. මේවා බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. කලින්ම හදලා අවශ්‍ය වෙලාවට ගන්න කල්තියාගන්නත් පුළුවන්. මේ රෙසිපි ටික නම් ඔයාට සෑහෙන වැදගත් වෙයි කියලා හිතනවා.
1. පුහුල්දෝසි
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක කෑලි කපාගත් පුහුල් ග්‍රෑම් 500
- සීනි කෝප්ප 2
- වෙනම සීනි කෝප්ප 1/2
- හුණු මේස හැඳි 2
- පුහුල් වල පොත්ත අයින් කරලා සෝදලා ගෑරැප්පුවකින් ඇනගන්න. ආයෙ හොඳට සෝදගෙන තරමක පොඩි කෑලි කපාගන්න.
- ලොකු භාජනයකට වතුර පිරෙන්න දාලා පුහුල් කෑලි දාලා හුණු ටික දාලා දියකරගන්න. මේකට පුහුල් කෑලි දාල පැය 4ක් තියලා වතුරෙන් අයින් කරලා කිහිප පාරක් හොඳට සෝදගන්න.
- වෙනම භාජනයක් ලිපේ තියලා පුහුල් ටික දාලා ඒක වැහෙන්න වතුර දාලා ලිපේ තියන්න.
- පුහුල් තැම්බුණාම වතුර බේරගෙන තෙත හිඳෙන්න රෙදි කෑල්ලක් උඩ තියන්න.
- වෙන භාජනයකට වතුර ටිකක් වැඩිපුර දාලා සීනි කෝප්ප 2 දාලා උණුකරගන්න. සීනි දියවුනාම ෂුගර් සිරප් එකට පුහුල් කෑලි ටික දාගන්න.
- මේක හොඳට නටනකල් තියලා ලිප නිවලා එහෙම්මම පැය 10ක් වහල තියාගන්න.
- පැය 10කට පස්සෙ පුහුල් කෑලි අයින් කරලා ඒ සීනි මිශ්‍රණයට වෙනම ගත්තු සීනි කෝප්ප ½ දාලා මදගින්නෙ උකු වෙනකම් උණු කරගන්න.
- උතුරන කොට පුහුල් කෑලි දාලා හැඳිගාල ලිපෙන් බාන්න. ටිකකින් සීනි ගල් වෙලා පුහුල් කෑලි වල තැවරෙයි.
2. ජින්ජර් ප්රිසව්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුද්දකරගත් ඉඟුරු ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 200
- ඉඟුරු පොත්ත සුද්ද කරලා සෝදලා ගෑරැප්පුවෙන් ඇනලා තැන් තැන් වටේටම සිදුරු කරගන්න.
- උණු වතුර දාපු භාජනයකට දාලා පැය 12ක් වගේ වහලා තියන්න. වතුර පෙරලා සෝදලා අරන් අලුතෙන් වතුර දාලා හොඳට තම්බගන්න.
- ඒ වතුර පෙරලා අලුත් වතුර දාලා ආයෙ පැය කාලක් වගේ තම්බගන්න.
- දැන් වෙනම භාජනයකට වතුර කෝප්පයක් දාලා සීනි ටික දාලා උණුකරගන්න. මේකට තම්බාගත් ඉඟුරු ටිකත් දාලා හිඳෙනකල් පිසගන්න.
- ජීවාණුහරණය කරපු බෝතලයකට දාලා හොඳට වහලා තියන්න.
3. ටූටි ෆෘට්
අවශ්‍ය ද්‍රව්‍ය
- අමු ගස්ලබු ග්‍රෑම් 500ක්
- සීනි කෝප්ප 2
- වැනිලා ස්වල්පයක්
- වතුර කෝප්ප 3
- කලරින් කැමති පාටවලින්
- ගස්ලබු පොත්ත සුද්ද කරලා චූටි කොටු කපාගන්න. දැන් වතුර භාජනයක් ලිපේ තියලා වතුර දාලා උතුරන කොට මේ ටික දාලා හොඳට තම්බගන්න. වීදුරු වගේ විනිවිද වෙනකොට ලිපෙන් බාලා පෙරාගන්න.
- වෙනම භාජනයකට සීනි හා වතුර කෝප්ප 3 දාලා සීනි උණු වෙනකොට ගස්ලබු කෑලි දාගන්න.
- විනාඩි 20ක් විතර සැරින් සැරේ හැඳිගාමින් උණු කරගන්න. වැනිලා ටික දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.
- වෙන වෙනම භාජන වලට ගස්ලබු කෑලි, සීනි සිරප් එකත් එක්ක දාලා අවශ්‍ය පරිදි පාට දාලා කලවම් කරලා පැය 12ක් වහල තියන්න. පාට හොඳට අල්ලගෙන තියෙනවා පෙනෙයි.
- සීනි සිරප් එක පෙරලා අයින් කරගන්න. පේපර් ටවල් එකක් උඩ වෙන වෙනම වේලෙන්න තියන්න.
- හොඳින් වේලුනාම පාට සේරම මිශ්‍ර කරල ෆ්‍රිජ් එකේ දාල කල් තියාගන්න.
4. චව් චව්
අවශ්‍ය ද්‍රව්‍ය
- තරමක චව් චව් ගෙඩි 1
- සීනි ග්‍රෑම් 500
- වතුර කෝප්ප 1 1/2
- චව් චව් ගෙඩිය කපලා සෝදලා තරමක කෑලි කපාගන්න. ටවල් එකකින් තෙත අයින් කරලා ගෑරැප්පුවෙන් කෑලි වල හිල් විදගන්න.
- පෑන් එකට සීනි හා වතුර දාලා සීනි දියවෙනකොට චව් චව් කෑලි ටික දාගන්න. දැන් වහලා අඩු ගින්දරේ තැම්බෙන්න තියන්න.
- සැරෙන් සැරේ හැඳි ගගා පෙරලගන්න. සීනි සිරප් එක ටික ටික උකු වෙවී එනවා පෙනෙයි.
- මේ විදියට අඩු ගින්දරේ පැය 1 1/2ක් පිසගන්න. මේ වෙලාවෙන් පස්සෙ චව් චව් තැම්බිලාද බලලා ලිපෙන් බාගන්න.
5. කැන්ඩිඩ් පීල්
අවශ්‍ය ද්‍රව්‍ය
- දොඩම් ගෙඩි 4ක පොතු
- සීනි කෝප්ප 1/2
- වතුර මේස හැඳි 2
- දොඩම් පොතු ටික තරමක් දික් අතට කපාගන්න. මේක වතුර දාලා හොඳට තම්බගන්න.
- ඊළඟට වෙනම භාජනයකට සීනි හා වතුර දාලා සීනි දිය උනාම තම්බාගත් දොඩම් ලෙලි ටික දාගන්න.
- සීනි උණුවෙලා වතුර නටනකල් පරිස්සමට හැඳි ගාන්න. තවත් විනාඩි 5ක් විතර මේ ටික පැණිපත් වල තැවරෙන්න තියලා ලිපෙන් බාගන්න.
- ජීවාණුහරණය කරපු බෝතලයකට දාගන්න.
Leave a Reply