දුකක් නොදී කෙනෙක්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරන්නේ මෙහෙමයි!

දැන් ඔය ආදරේ කියන්නෙම හරියට හිත් රිදෙන, දුක දැනෙන, සීන් එකක්නේ. ඒ කියන්නේ අපි ආදරේ කරන කෙනා අපිටත් ආදරේ කරලා, ආදරේ රන්‍ රස සේ ගලාගෙන ගිහිල්ලා, මැරෙනකල්ම ඒ ආදරේ ඒ විදියටම පැවතුනොත් දුකක් නෑ. හැබැයි එහෙම වෙන්නෙ නැති තරම්නේ. අඩු ගාණෙ කතා පොත් වලවත් ආදරේ මැද්දේ දුකක් විඳින්න සිද්ධ නොවී ගලාගෙන යන්නෙ නෑ. එහෙව් එකේ අපි ආදරේ කෙනෙක් අපිට බිංදුවක්වත් ආදරේ නොවී අපේ ආදරේ ප්‍රතික්ෂේප කළොත්, “අනේ අපි යාළුවෝ වගේ ඉම්මු” කිවුවොත්, අපිට කොයි වගේ දුකක් දැනෙයිද? ඔව්, පපුව පැළෙන තරම් දුකයි කියලා ඔය සමහරු කියන්නෙත් ඒ වගේ දුක් වේදනාවන්ට තමයි. 

 

දැන් ඕකෙම අනික් පැත්ත හිතලා බලන්න. ඔන්න අපිට කෙනෙක් ආදරේ කරනවා. හැබැයි අපිට එයා ගැන එහෙම විශේෂ ආදර හැඟීමක් නෑ. දැන් එතකොට අපිටත් සිද්ධ වෙනවා “අපි යාළුවෝ වගේ ඉමු” කියලා කියන්න. ඒත් අපි පොල්ලෙන් ගහනවා වගේ එහෙම කිවුවොත් එයා මොන තරම් දුකකට පත් වෙයිද? අනික් අතට එහෙම නොකියා හිටියොත් එයා දිගින් දිගටම බලාපොරොත්තු තියාගෙන පස්සෙන් එයි නේද? සමහර විට අපිට එයා හිතවත් යාළුවෙක් විදියට ලඟින් හිටියත් කමක් නැති වෙන්න පුළුවන්. ඇත්තටම මේවා ප්‍රශ්න. ඉතින් කොහොමද අපි එහෙම අපිට ආදරේ කරන, ඒත් අපිට ආදර හැඟීමක් නැති මනුස්සයෙක්ට හිත් රිදෙන්නෙත් නැති වෙන්න “අපි යාළුවෝ වගේ ඉමු” කියන්නේ? ආන්න ඒක තමයි මේ කියන්න සූදානම් වෙන්නේ.

 

1. දුර තියා සලකුණු දකින්න වෙනවා

ඇත්තටම අපි බබ්බු නෙවෙයිනේ. කෙනෙක් අපි ගැන පිළිබඳ හිතක් ඇතුව ඉන්නවා නම් අපිට ඒක හැතැම්මක් දුර තියලා දකින්න පුළුවන්. එහෙම ඉඟි නොතේරෙන බබ්බුත් ඉන්නවා තමයි. හැබැයි අපි එහෙම වෙන්න හොඳ නෑ. දැන් එහෙම අපි මිත්‍රයෙක් විදියට සලකන කෙනෙක් අපි ගැන ආදර හැඟීම් ඇතිකරගෙන ඉන්නවා නම්, එයා අපිත් එක්ක උකුළු මුකුළු කරන්න එන එව්වා, අපිට විශේෂයෙන් සලකන්න හදන එව්වා අපිට තේරෙන්න ඕන. ආන්න එතකොට අපිට ඒවා සාමාන්‍යකරණය කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු ඔයා ගෑණු ළමයෙක්, ඔයාගෙ ආදරේ ඉල්ලගෙන එන ඔයාගෙ යාළුවා පිරිමි ළමයෙක් කියලා. එයා ඔයාට “අද ඔයා හරිම ලස්සනයි” වගේ කම්ප්ලිමන්ට්‍ස් දෙන්න පුළුවන්. ආන්න එතකොට ඇඹරෙන්න, ලැජ්ජා වෙන්න, අනේ ඇත්තද කියලා අහන්න යන්න එපා. අතිශයින්ම කාරුණිකව ස්තුතියි කියන්න. එතකොට සාමාන්‍යයෙන් ඔය යාළුවෝ කෝල් ගන්න වෙලාව පහුවෙලා නිදාගන්න කිට්ටු වෙලා එහෙම ඒ කෙනාගෙන් කෝල්ස් එනවා නම් අනිවාර්යයෙන්ම එව්වා නොසලකා හරින්න. කොටින්ම කිවුවොත්, එයාගෙ පැත්තෙන් එයා අපි ගැන හිත් ඇතිකරගෙන ඉන්නේ කියන සලකුණු පේන්න ගන්නකොටම, ඒවා එක්ක ප්‍රවේසමෙන් වැඩ කරන්න පටන් ගන්න. එහෙම නැතිව ඒ පැත්තටත් පොඩියෙන් හෝ බලාපොරොත්තු ඇතිවෙන විදියේ දේවල් කරන්න යන්න එපා.

 

2. ඩේට් එපා, ඩේට් වගේ එව්වත් එපා

දැන් යාළුවෝ වුණහම මුණගැහෙන්නෙ නැද්ද? මුණගැහෙනවනේ. හැබැයි අපි ගැන හිත් තියාගෙන ඉන්න කෙනෙක් යාළුවෙක් නම් අපි සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන ඒ මුණගැහීම් ගැන. උදාහරණයක් විදියට ගත්තොත්, ඔය ෆිල්ම් එකක් බලන්න යෑම, කැන්ඩ්ල් ලයිට් ඩිනර් එකකට යෑම වගේ රොමෑන්ටික් ඩේට් හෝ ඕනෑම ආකාරයේ ඩේට් එකක් කියලා දැනෙන කිසිම හමුවකට නොයන්න වග බලා ගන්න එක හොඳයි. එහෙම ගමනක් යන්න කතා කළත් කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න. ඒ ඇරෙන්න දෙන්නා මුණගැහෙන එක පුළුවන් තරම් තනියම නැතුව, යාළුවෝ සෙට් එකක් එක්කම කරන්න පුළුවන් නම් හොඳයි. අඩු ගාණේ තමන්ගේ තව යාළුවෙක් හරි එතනට සෙට් කරන එක තමයි ඥාණවන්ත. 

 

3. ෆිසිකල් වෙන්නේ බලාගෙනයි

ඇත්තටම ශාරීරික ස්පර්ශයකට පුළුවන් සම්පූර්ණයෙන්ම ඉමෝෂනල් නැවක් අනික් පැත්තට ගිල්වන්න. ආන්න ඒ නිසා අපි ගැන හිත් තියාගෙන ඉන්න කෙනා එක්ක ශාරීරික ස්පර්ෂයෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න ඕන. සමහර වෙලාවට අපිට ශාරීරික ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. අන්න එව්වා දෙයියන්ගෙ නාමෙන් යටපත් කරගන්න වෙනවා. මොකද, අපි එහෙම ඉඟියක් හරි දුන්නොත් වෙන්නේ එයාට අපි ගැන රොමෑන්ටික් විදියට හිතන එකත් නවත්තන්න බැරි වෙලා, හිත් රිදෙන තත්ත්වයකට ඉක්මනින්ම යන එක. 

 

ඒ ඇරෙන්න තව දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි යාළුවන්ව වැළඳ ගන්නවා, අතින් අල්ලනවා, කරට අත දානවා වගේ දේවල් කරනවනේ. හැබැයි අපි ගැන හිත් තියාගෙන ඉන්න යාළුවා එක්ක ඒ වගේ දේවල් වත් කරන්න යන්න එපා. මොකද, එයා ඉන්න මානසික තත්ත්වය අනුව ඒ වගේ යාළු ෆිට් එකට කරන දේවලුත් ආලයෙන් කරන දේවල් කියලා නිර්වචනය කරගන්න පුළුවන්. අන්න ඒ නිසා. 

 

4. රිලේෂන්ශිප් ඇඩ්වයිස් දෙමු

මෙන්න මේකත් ඉතාම හොඳ පියවරක්. හැබැයි අවධානයෙන් කරන්න ඕන දෙයක්. ඔන්න අපි කියමු ඔයා ගැන හිතේ තියාගෙන ඉන්න ගෑණු ළමයෙක් ඉන්නවා. එයා ඔයාගේ අවධානය ගන්න හදනවා, ඔයා එයාට විශේෂයි කියලා අඟවන්න උත්සාහ කරනවා කියලා. දැන් එයත් එක්ක කතාබහ කරන වෙලාවකදී එයාට කොයි වගේ මනුස්සයෙක්ද ගැලපෙන්නේ, කොහොමද එහෙම කෙනෙක් හොයාගන්නේ වගේ ඇඩ්වයිස් ලබාදෙන්න. හැබැයි මෙව්වා ඇත්ත ඇඩ්වයිස් වෙන්න ඕන, හරිද. එතනදී ගොඩක් වෙලාවට එයා බෝලේ අපේ පැත්තට දාන්නයි බලන්නේ. ඒ කියන්නේ “මං ආස ඔයා වගේ කෙනෙක්ට” වගේ එකක් කියන්න පුළුවන්. අන්න එතකොට ඒකට ගාණට බැට් කරන්න ඕන. “ඔව්, අපි දෙන්නා එක විදියට හිතන අය, ඒකනේ අපි දෙන්නා හොඳ බොක්කෙ යාළුවෝ වෙලා ඉන්නේ. හැබැයි ඔයා ආදරේ කරන්න ඕන ඔයා ගැන මෙන්න මෙහෙම ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක්ට කියලයි මට හිතෙන්නේ. මට වඩා සීරියස් මනුස්සයෙක්ට”!

 

5. යාළුවෙක්ගේ අගේ කියලා දෙමු

අපිට යාළුවෙක්ව කොයි තරම් වටිනවද? ඇත්තටම ඒක තීරණය වෙන්නේ තමන් කොයි තරම් හොඳ, කෙයාරින්ග් යාළුවෙක්ද කියන පදනම මත තමයි. අපි අවංකවම මිත්‍රකමක් පවත්වාගන්න පුළුවන් යාළුවෙක් නම්, අපිට ආදරෙයි කියන මනුස්සයාව අපිට හොඳ යාළුවෙක් විදියට දකින්න පුළුවන් නම්, අන්න ඒ අවංක අදහසින්ම එයා අපිට කොච්චර හොඳ යාළුවෙක්ද කියන එක කියන්න. ඒකෙන් වෙන තව හොඳක් වෙන්නේ, අපි කරන කියන දේවල් ආදර හැඟුම් නිසා කරනවා කියලා එයා වැරදියට කියවා ගන්න තියෙන ඉඩත් ඒකෙන් ඇහිරෙනවා. ඒ වගේම, අපිට එයාව හොඳ යාළුවෙක් කියන එක සහ ඒක නරකක් නෙවෙයි කියන එකත් එයාගේ හිතට යනවා. ඇත්තටම අපිට සමහර හොඳම හොඳ යාළුවෝ පවුලේ අය වගේනේ. ආන්න ඒ දයාව, ස්නේහය අපෙන් ආදරේ ඉල්ලන කෙනාටත් දක්වන්න. හැබැයි ඒක කොයි වෙලාවකවත් ආලයක් කියන සංඥාව නොදෙන්න. එයා කොයි තරම් අපේ ජීවිතේට වටින යාළුවෙක්ද කියන එක ඉඟියෙන් කියන්නෙ නැතුව තේරෙන භාෂාවෙන්, වචන වලින් කියන්න.

 

6. පාවිච්චි කරන්න එපා

ඇත්තටම ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා කියන්නේ නරක නපුරු දෙයක් නෙවෙයි. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ වෙන්නේ මේකයි. ගොඩක් වෙලාවට කෙනෙක්ව ෆ්‍රෙන්ඩ්සෝන් කළාට පස්සෙත්, එයාගෙ හිතේ තමන් ගැන තියෙන ආදර හැඟීම පාවිච්චි කරලා සමහරු ඒ කෙනාව පාවිච්චි කරන්න උත්සාහ කරන එක. අන්න ඒ නිසා, තමන් පැහැදිලිවම හොඳ තක්සේරුවක් කරන්න ඕන දෙන්නට ඇත්තටම මිත්‍රයෝ වෙන්න පුළුවන්ද, පුළුවන් නම් ඒ මිත්‍ර කම හරියට තියාගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ කිසිම විදියකට ඉමෝෂනලි හරි වෙන විදියකට හරි ඒ කෙනාව පාවිච්චි නොකර, නියම මිත්‍රත්වයක් තියාගන්න පුළුවන්ද කියන එක. එහෙම පුළුවන් නම්, ඇත්තටම ලස්සන මිත්‍රත්වයක් පටන් ගන්න පුළුවන්.

 

7. අවංකව කතා කරමු

අවසාන කාරණාව මේක තමයි. ඔය උඩ කියලා තියෙන විදියට හැසිරෙනකොට සමහරු තේරුම් ගන්නවා. තේරුම් අරගෙන එක්කෝ හොඳ යාළුවෙක් විදියට ඉඳී. එහෙම නැතිනම් යන්න යයි. කමක් නෑ. හැබැයි එහෙම තේරුම් ගන්නෙත් නැතුව දිගින් දිගටම ආදරේ ප්‍රකාශ කරමින්, ආදරේ ඉල්ලමින් පස්සෙන් එනවා නම් අපිට අවංකව කතාබහක් කරන්න වෙනවා. එයා බලාපොරොත්තු වෙන විදියේ ෆීලින්ග්ස් තමන්ට එයා ගැන නැති බවත්, ඒක දිගින් දිගටම ආදරේ ප්‍රකාශ කරමින් හිටියා කියලා වෙනස් නොවෙන බවත් අපිට කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම අවංක අදහසින් මිත්‍රයෙක් විදියට ආශ්‍රය කරන්න තමන් කැමති බවත්, හැබැයි ඒ කියන්නේ දුක සැප දෙක සමව, හවුලේ බෙදාගන්න මිත්‍රයෙක් විදියට මිසක්, සෙක්ස් කරන යාළුවෙක් විදියටවත්, දුක කියන යාළුවෙක් විදියටවත්, දත් ගලවන යාළුවෙක් විදියටවත් නෙවෙයි කියන එක පැහැදිලිව, අවංකව කියන්න ඕන.

 

ඇත්තටම ඒ කෙනාටත් අපේ මිත්‍රත්වයේ අගයක් තියෙනවා නම්, අපිත් අවංකවම ඒ මිත්‍රත්වය අගය කරනවා නම්, අපිට හොඳ යාළුවෙක් ඉතුරු වෙයි. එහෙම නැතිනම් ඉතින් හිතහදාගෙන දුරස් වෙන්න තමයි තියෙන්නේ.