වික්ටෝරියා රැජනගේ දරු මුණුපුරන් – දෙවැනි කොටස

අපි මේ ආටිකල් සීරිස් එකේ පළවෙනි ආටිකල් එකෙන් වික්ටෝරියා රැජනගේ දරුවන් නම දෙනා පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ආවා. ඒ ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න.

වික්ටෝරියා රැජනගේ දරු මුණුපුරන් – 1 ​කොට​ස

Lifie.lk අපි අද ඉඳන් කෙමෙන් කෙමෙන් උත්සාහ කරන්නේ වික්ටෝරියා රැජනගේ මුණුබුරන් පිළිබඳව විස්තර ඔබ වෙත ගෙන එන්න.

 ආරම්භයක් විදිහට වික්ටෝරියා රැජනගේ වැඩිමල්ම දරුවා වන වික්ටෝරියා කුමරියගේ දරුවන් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එනවා. පළමුවෙන්ම අපි වික්ටෝරියා කුමරියත් ඇගේ විවාහය පිළිබඳවත් විස්තර කෙටියෙන් දැන ගමු.

1840 වසරේදී උපන්  වික්ටෝරියා කුමරිය බෞතීස්ම කරන ලද්දේ වික්ටෝරියා ඇඩිලේඩ් මේරි ලුයිසා යන නමින්. වික්ටෝරියා රැජනගේ දරුවන් අතරින් වඩාත්ම බුද්ධිමත් දරුවා ලෙස සලකන ලද්දේ ඇයවයි. වයස අවුරුදු දාහතේදී ඇය ප්‍රශියාවේ ෆෙඩ්රික් කුමරු සමඟ විවාහයට එළඹෙනවා. ෆෙඩ්රික්ගේ පියාගේ සහ එවකට රජු බවට පත්ව සිටි ඔහුගේ මහප්පාගෙ නායකත්වය යටතේ රාජධානි ගණනාවක් එකතු වී ජර්මනිය නම් තනි රාජ්‍යය නිර්මාණය වෙනවා. 1888 වසරේදී  සිය පියාගේ මරණයෙන් අනතුරුව ෆෙඩ්රික් ජර්මානු අධිරාජයා බවට පත්වන අතර වික්ටෝරියා කුමරිය අධිරාජිනිය බවට පත්වෙනවා. නමුත් ඔහුට රජකම් කිරීමට ලැබෙන්නේ දින සීයක කාලයක් පමණයි. පිළිකා රෝගයෙන් ඔහු මිය යනවා. 1901 වසරේදී සිය මවගේ මරණයෙන් මාස කීපයකට පසුව වික්ටෝරියා කුමරියත් මිය යන්නේ පියවුරු පිළිකාවකින්.

අපි දැන් ඇගේ දරුවන් අටදෙනාගේ තොරතුරු සොයා බලමු.

 

1. දෙවැනි විල්හෙල්ම් අධිරාජ්‍යයා 

වික්ටෝරියා ෆෙඩ්රික් යුවළගේ වැඩිමහල් පුත්‍රයා වන විල්හෙල්ම්ට ප්‍රසූතියේදී  ඇතිවුණු ගැටළුවක් හේතුවෙන් අතක ආබාධයක් ඇති වෙනවා. කුඩා කාලයේදී මේ ආබාධය සකස් කිරීමට විවිධ වධහිංසාවලට විල්හෙල්ම්  ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය මවට ආදරය කරනවා සේම දැඩි ලෙස වෛර කරන්නටද පෙළඹෙනවා. පළමුවන ලෝක යුද්ධය ආරම්භ වීමට විල්හෙල්ම්ගේ මෙම මානසිකත්වයත් යම්තාක් දුරකට හේතු වූ බව කියවෙනවා.

 

2. චාලට් කුමරිය

ෆෙඩ්‍රික්ගේ සහ වික්ටෝරියා කුමරියගේ දෙවැනි දරුවා වූ චාලට් කුමරිය සිය මව සමඟ දිගින් දිගටම ගැටුම් ඇතිකර ගන්නවා. හැකි ඉක්මනින් දෙමව්පියන්ගෙන් මිදීමට සිතූ ඇය වයස අවුරුදු දහහතේදී සැක්සේ මෙනින්ග්හි ආදිපාද ධූරය ලැබීමට නියමිතව තිබූ  බර්නාඩ් කුමරු සමඟ විවාහ වෙනවා. නිදහස් ජීවිතයක් ගත කිරීමට ප්‍රියකළ ඇය පිළිබඳව කට කතා ජර්මනිය පුරාවට පැතිර යනවා. පළමු ලෝක යුද්ධය අවසන් වීමේ දී ඇයගේ වැඩිමහල් සහෝදරයාට මෙන්ම සැමියාටත් රාජ්‍යය අහිමි වෙනවා. ඉන් වසරක් ගත වීමට පෙර ඇය මිය යන්නේ හෘදයාබාධයකින්.

 

3. හෙන්රි කුමාරයා 

සිය පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ජර්මානු නාවික හමුදාවට එකතු වන හෙන්රි කුමාරයා ලෝක සංචාරයක ද නිරත වෙනවා. එසේම නාවික හමුදාව තුළ ජනප්‍රිය අණ දෙනෙකු වීමටත් වැඩි කාලයක් ඔහුට ගත වන්නේ නැහැ. පළමු ලෝක යුද සමයේදී බෝල්ටික් මුහුදේ ජර්මානු නාවික අනුඛණ්ඩය සඳහා නායකත්වය ලබා දෙන්නේ ඔහු විසින්. වික්ටෝරියා කුමරියගේ සහෝදරියක වන ඇලිස් කුමරියගේ දියණියක වන අයිරින් සමග විවාහ වූ හෙන්රි සාර්ථක පවුල් ජීවිතයක් ගතකරනවා. ජර්මානු රාජාණ්ඩුව අහෝසි වීමෙන් පසුවත් ජර්මනියේම රැඳී සිටි හෙන්රි කුමරු 1929 වසරේ දී උගුර ආශ්‍රිත පිළිකාවකින් මිය ගියා.

 

4. සිගිස්මන්ඩ් කුමරු 

ප්‍රෂියාව සහ ඔස්ට්‍රියාව අතර පැවති සටන් සඳහා නායකත්වය ලබා දුන් ෆෙඩ්රික් කුමරු ඒ වන විට සිටි සියළුම වෛද්‍යවරුන් පාහේ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට රැගෙන ගොස් තිබුණා. මේ හේතුව නිසා ඔහුගේ හතරවෙනි දරුවාට ජීවිතය අහිමි වුණා. මාස විසි එකක් වයසැති මේ කුමරු හදිසියේ මිය යද්දී වෛද්‍යවරයෙකු සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව ඔහුගේ මව මෙන්ම පියාද තම මුළු ජීවිත කාලය පුරාවටම දුක්වුණා. වික්ටෝරියා රැජනගේ මුණුබුරන් අතරෙන් පළමුව මියගිය මුණුබුරා බවට පත් වන්නේ සිගිස්මන්ඩ් කුමරුයි.

 

5. වික්ටෝරියා කුමරිය 

වික්ටෝරියා සහ ෆෙඩ්රික් යුවළගේ වැඩිමහල් දරුවන් සිය දෙමව්පියන්ට එතරම් සමීප නොවද්දී ඔවුන්ගේ පස්වැනි දරුවා වූ වික්ටෝරියා කුමරිය සහ බාල දරුවන් සිය දෙමව්පියන්ට මහත් සේ ගරු කළා. වික්ටෝරියා කුමරිය බල්ගේරියාවේ ඇලෙක්සැන්ඩර් කුමරු සමඟ විවාහ වීමට මහත්සේ බලාපොරොත්තු තබාගෙන සිටියත්, ජර්මානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඊට විරෝධය පළ කළා. මේ නිසා වසර කීපයක් ඇය  මානසික ආතතියෙන් පීඩා වින්දා. පසුව ඇය කුඩා ජර්මානු රාජ්‍යයක් වන ෂමාන්බර්ග් ලිප්පේහි ඇඩෝල්ෆ් කුමාරයා සමඟ විවාහ වුණා. ඔහු 1916 වසරේ දී මිය ගිය අතර පසුව ඇය රුසියානු සරණාගතයෙක් සමග විවාහ වුවත් එම විවාහය සාර්ථක වූයේ නැහැ. 1929 වසරේදී වික්ටෝරියා මිය ගියේ අන්ත අසරණ තත්ත්වයකට  පත්ව සිටියදීයි.

 

6. වැල්ඩ්මාර් කුමරු 

වයස අවුරුදු එකොළහේදී ගලපටල රෝගයෙන් මියගිය වැල්ඩ්මාර් කුමරු ඔහුගේ මව විසින් තම පවුලේ බුද්ධිමත්ම දරුවා ලෙස සලකණු ලැබුවා. අතිශයින් විනෝදජනක දරුවෙක් වූ ඔහු වරක් ඔහුගේ සුරතලයට ඇති දැඩි කරනු ලැබූ කිඹුල් පැටවා සිය මිත්තණිය වන වික්ටෝරියා රැජනගේ කාර්යාල මේසයක් තුළ තබා විශාල කලබැගෑනියක් ඇති කළා.

 

7. සොෆියා කුමරිය 

පසු කලෙක ග්‍රීසියේ රජ බවට පත් වූ කොන්ස්ටන්ටයින් කුමරු සමග විවාහ වූ සොෆියා කුමරිය සිය දෙමව්පියන්ට දැඩි ලෙස ආදරය කළ තැනැත්තියක්. මේ නිසාම ඇය තම වැඩිමහල් සහෝදර සහෝදරියන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා පසුබට වුණේ නැහැ. ග්‍රීසියේ ඊළඟ රැජින ලෙස ග්‍රීක ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම නිසා විල්හෙල්ම්ගේ  විරෝධයටද ඇය ලක් වුණා. නමුත් පළමු ලෝක යුද්ධය සමයේ දී ඇය උපතින් ජර්මානු රජ පවුලේ සාමාජිකයෙකු වීම නිසා ග්‍රීසිය තුළින්ද විරෝධතා ඇයට එල්ල වුණා.

 

8. මාග්‍රට් කුමරිය 

වික්ටෝරියා ෆ්‍රෙඩ්රික් යුවළගේ බාලම දරුවා වූ මාග්‍රට් කුමරිය විවාහ වූයේ හෙසහි ෆෙඩ්‍රික් චාල්ස් කුමරු සමඟයි. පළමුවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස පින්ලන්තය නිදහස් වීමෙන් අනතුරුව එරට රජකම භාරගන්නා ලෙස එම යුවළට ආරාධනා කළත් ජර්මනිය පළමු ලෝක යුද්ධයෙන් ලද පරාජයත් සමග එම අවස්ථාව ඔවුන්ට අහිමිව ගියා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ මේ ආටිකල් සීරීස් එක තව දුරටත් ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *