ලේසියට පහසුවට අවන් එකේ හදන්න පුළුවන් චිප්ස් වර්ග 7ක්

අපි කඩෙන් අරන් චිප්ස් කනවා කියලා කරන්නේ හුළං ගොඩකට සල්ලි දෙන එක. ඉතින් ඊට වඩා නරක ද අඩු පිරිවැයකින් රසකාරක අරක මේක නැතුව ගෙදරදිම චිප්ස් ටිකක් හදාගන්න එක? චිප්ස් කිව්වම අර්තාපල් අල විතරක් නෙවේ තව එක එක ජාති තියනවා. තෙලේ බැද බැද වාත නොවී අවන් එකට මාරු වෙන්න මේ වැඩේට. විශේෂයෙන් මතක තියාගන්න ඕනි මේ හැම එකක් ම අවන් එකට දාන්න කලින් සෙල්සියස් 200 උෂ්ණත්වයේ විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්න ඕනි බව.



1. රාබු චිප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය 

  1. රාබු අල 2
  2. පොල්තෙල් මේස හැඳි 1
  3. ලුණු අවශ්‍ය පමණ
  4. ගම්මිරිස් අවශ්‍ය පමණ
  5. මිරිස් කුඩු අවශ්‍ය පමණ



සාදන ආකාරය:

  • රාබු කැමති හැඩේට ඒත් හීනියට කපාගන්න. ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තියලා ඇල් වතුරින් සෝදන්න. 
  • රාබු පෙති ටිකට ලුණු, ගම්මිරිස්, මිරිස් සහ තෙල් හැන්ද දමා පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියන්න. 
  • ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 200 උෂ්ණත්වයට විනාඩි 10ක් උඩ කොයිල් එකෙනුත් 10ක් යට කොයිල් එකෙනුත් වෙන විදියට බේක් කරගන්න.


2. බතල චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය: 

  1. බතල ගෙඩි 2
  2. ඔලිව් ඔයිල් මේස හැඳි 1
  3. ලුණු අවශ්‍ය පමණට



සාදන ආකාරය:

  • බතල සිහින්ව කපාගෙන ලුණු සහ තෙල් එක්ක මැරිනේට් වෙන්න තියන්න. 
  • ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් අංශක 135ට විනාඩි 30-35ත් අතර වෙනකන් තියන්න. රන්වන් පාට වෙනකන් ඉන්න ඕනි කොහොම හරි. සැරට අවශ්‍ය අයට මිරිස් ගම්මිරිස් දාන්න පුළුවන් ඒත් බතල එක රහයි මෙහෙම.



3. අර්තාපල් චිප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. අර්තාපල් අල ගෙඩි 2
  2. පොල්තෙල් මේස හැඳි 1
  3. මිරිස් කුඩු මේස හැඳි 1
  4. ගම්මිරිස් කුඩු මේස හැඳි 1
  5. ලුණු අවශ්‍ය පමණට
  6. දුඹුරු සීනි මේස හැඳි 2



සාදන ආකාරය: 

  • අර්තාපල් සිහින් පෙති කපලා, අනිත් දේවල් සියල්ලම දාලා මැරිනේට් වෙන්න විනාඩි 15ක් විතර තියන්න. 
  • ඉන් පස්සේ ප්‍රීහිට් අවන් එකෙන් තියන්න. සෙල්සියස් 135ට විනාඩි 30-30 අතර බේක් වෙන්න දෙන්න. 
  • ක්‍රිස්පි ගතිය ඇවිත් නෑ වගේ නම් අවන් එකෙන් එළියට අරන් මද වෙලාවක් තියලා බලන්න.



4. කෙසෙල් චිප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. යම්තාක් ඉදුණු කෙසෙල් ගෙඩි 2
  2. ලෙමන් යුෂ



සාදන ආකාරය: 

  • ඉතා සිහින් ව කපාගෙන ෂීට් එකක අතුරපු කෙසෙල් පෙති උඩින් පින්සලක් ආධාරයෙන් ලෙමන් යුෂ තවරන්න. ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 110ට විනාඩි 90ක් බේක් කරගන්න. ක්‍රිස්ප් ගතිය එන්න මද වෙලාවක් නිවෙන්න හරින්න.



5. ඇපල් චිප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. ඇපල් ගෙඩි 2
  2. බටර් මේස හැඳි 1/2
  3. කුරුඳු කුඩු ස්වල්පයක්



සාදන ආකාරය:

  • ඇපල් ගෙඩි හොඳින් ඉතා සිහින්ව ලියාගන්න. 
  • කාමර උෂ්ණත්වයක් තුළ දියකරගත් බටර්වල ඇපල් පෙති ගිල්වන්න. 
  • කුරුඳු කුඩු එකතු කරගන්න. 
  • සෙල්සියස් 110 උෂ්ණත්වයේ විනාඩි 10 බැගින් උඩ කොයිල් එකේ සහ යට කොයිල් එකේ බේක් කරගන්න.



6. ගෝවා කොළ චිප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. ගෝවා කොළ මිටියක්
  2. ලුණු අවශ්‍ය පමණට
  3. ගම්මිරිස් අවශ්‍ය පමණට
  4. මිරිස් කුඩු අවශ්‍ය පමණට
  5. ඔලිව් ඔයිල් මේස හැඳි 2



සාදන ආකාරය:

  • ගෝවා කොළ පහසු හැඩවලට කපාගන්න. ඊට ඔලිව් ඔයිල් එකතු කරගන්න. පස්සේ අනෙක් අඩුමකුඩුම ටිකත් දාන්න. 
  • මේ ටික ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 180ක උෂ්ණත්වයකින් විනාඩි 30-35ත් අතර වෙලාවක් බේක් කරගන්න. 



7. මඤ්ඤොක්කා චිප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. මඤ්ඤොක්කා අල 2
  2. ලුණු අවශ්‍ය පමණට
  3. ගම්මිරිස් අවශ්‍ය පමණට
  4. මිරිස් කුඩු අවශ්‍ය පමණට
  5. ඔලිව් ඔයිල් මේස හැඳි 2



සාදන ආකාරය: 

  • මඤ්ඤොක්කා තීරු කපලා ඊට ඔලිව් ඔයිල් එක් කරන්න. අනෙක් ඒවත් දාලා මැරිනේට් කරගන්න. ඊට පස්සේ ප්‍රීහිට් අවන් එකේ විනාඩි 30-35ත් අතර රන්වන් පාට වෙනකන් බේක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *