ලංකාවේ පුද ලබන කතෝලික ශාන්තුවරු

ලංකාවේ වගේම ලෝකය පුරා කතෝලික ප්‍රජාව විවිධ ශාන්තුවරුන්ට වන්දනාමාන කරනවා. මේ ශාන්තුවරු කියලා හැඳින්වෙන්නේ භක්ත්‍යාදරයෙන් කතෝලික ආගම අදහපු, සමහර අවස්ථාවල ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරපු පිරිස්වලට. ඇතැම් අවස්ථාවල ඔවුන් ගිහියන්. ඇතැම් අවස්ථාවල ඔවුන් පැවිද්දන්. මේ අය වෙනුවෙන් කතෝලික ජනතාව යාඥා කරනවා. ඒ වගේම වන්දනාමාන කරනවා. මේ නිසා අපි හිතුවා ලංකාව ඇතුළේ ගෞරවාදරයට පත් වුණු කතෝලික ශාන්තුවරු කිහිපදෙනෙක් ගැන කතා කරන්න.

 

1. ශාන්ත සෙබස්තියන් මුනිතුමා

Image Source – youtube.com

ශාන්ත සෙබස්තියන් මුනිතුමා අපේ රටේ කතෝලික ජනතාව අතර ඉමහත් භක්ත්‍යාදරයට පත් වෙච්ච කතෝලික සාන්තුවරයෙක්. ජනප්‍රවාදවල හැටියට ශාන්ත සෙබස්තියන් මුනිතුමා රෝම හමුදාවේ සෙබළෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ කාලේ කතෝලික ආගම වැළඳ ගැනීම රෝම අධිරාජ්‍යය තුළ මරණ දණ්ඩනයට ලක් වන තරම් බරපතළ වරදක්. කතෝලික ආගම කෙරෙහි පැහැදුණු සෙබස්තියන් තරුණයා බෞතීස්ම වෙනවා. මේ ගැන ආරංචියක් ලබන රෝම අධිරාජයා මේ තරුණයාට මරණ දණ්ඩනය නියම කරනවා. ඒ අනුව ඔහුව අත්අඩංගුවට අරගෙන ගහක ගැටගහලා ඊතලවලින්  විදිනවා. ඊට පස්සේ සොල්දාදුවෝ මේ තුවාලවලින් සෙබස්තියන් මියයයි කියලා හිතලා ඉවත්වෙලා යනවා. නමුත් සෙබස්තියන් මේකෙන් බේරෙනවා. ඊට පස්සේ ඔහු නැවතත් අධිරාජ්‍යයා ඉදිරියට ගිහිල්ලා ඔහු කළ පව් ගැන පශ්චාත්තාප වන ලෙස ඉල්ලීමක් කරනවා. නමුත් අධිරාජයා සෙබස්තියන්ව නැවතත් මරා දමන්න කියලා නියෝග කරනවා. ඒ අවස්ථාවේදී නම් සෙබස්තියන් හට ගැලවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ විදිහට තමන් අදහපු ආගම වෙනුවෙන් ප්‍රාණය පරිත්‍යාග කරපු සෙබස්තියන් මුනිතුමාව ශාන්තුවරයෙක් විදිහට කතෝලිකයෝ වන්දනා කිරීමට පටන් ගන්නවා. විශේෂයෙන් ලංකාවේ මීගමුව නගරයේ ආරක්ෂක ශාන්තුවරයා විදිහට සලකන්නේ ශාන්ත සෙබස්තියන් මුනිතුමා.

 

2. පාදුවාහි ශාන්ත අන්තෝනි මුනිතුමා

පහුගියදා පාස්කු ප්‍රහාරයට ලක් වුණු එක පූජස්ථානයක් වුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලිය. මේ පල්ලිය කැප කරලා තියෙන්නේ පාදුවාහි ශාන්ත අන්තෝනි මුනිතුමා වෙනුවෙන්. මෙතුමා උපත ලබන්නේ පෘතුගාලයේ ලිස්බන් නගරයේදී. කුඩා කල සිටම බැතිමත් ආගමික ජීවිතයක් ගත කරන එතුමා ෆ්‍රැන්සිස්කානු නිකායේ පැවිද්ද ලබා ගන්නවා. අනතුරුව මුළු ජීවිත කාලයම කැප කරන්නේ කතෝලික ධර්මය දේශනා කිරීමටත් දුප්පතුන්ට උදව් කිරීමටත්. ඒ වගේම එතුමා ගත කරන්නේ ඉතා චාම් ජීවිතයක්. මේ නිසාම එතුමා ඉතාලියේ පාදුවා නගරය වෙත යනවා. එවකට සිටි පාප් වහන්සේගේ විශේෂ ගෞරවාදරයට මෙතුමාව ලක්වෙනවා. එතුමාගේ ජීවිතය වටා අද්භූත ජනප්‍රවාද රැසක් ගොඩනැගිලා තියෙනවා. එක ජනප්‍රවාදයකට අනුව ජේසුතුමා බිළිඳෙකුගේ වේශයෙන් පැමිණ එතුමාගේ අත් මත ඉඳලා තියෙනවා. එතුමා මියගොස් වසරක් ඇතුළත කාලයක් තුළදී එතුමා ශාන්තුවරයෙකු  ලෙස වන්දනාමාන කිරීමට කතෝලික සභාව තීරණය කළා.

 

3. ශාන්ත ලෝරන්ස් මුනිතුමා

ලෝරන්ස් තුමා සැලකෙන්නේ කොළඹ නගරයේ ආරක්ෂක ශාන්තුවරයා විදියට. එතුමා රෝම අධිරාජ්‍ය තුළදී ඝාතනයට ලක්වුණ ශාන්තුවරයෙක්. ජනප්‍රවාදයේ විදිහට කතෝලික සභාවේ භාණ්ඩාගාරය භාරව තිබිලා තියෙන්නෙ මෙතුමා යටතේ. රෝම අධිරාජයා එවකට හිටපු පාප්තුමාව ඝාතනය කරලා අනතුරුව ලෝරන්ස් තුමාට තමන්ගේ ජීවිතය බේරගන්න අවශ්‍ය නම් කතෝලික සභාව තුළ පවතින ධනය අධිරාජයාට භාරදෙන්න කියලා දන්වලා තියෙනවා. ලෝරන්ස්තුමා කරල තියෙන්නෙ කතෝලික සභාව සතු සියළුම ධනය දුප්පතුන් අතර බෙදා දීලා  ඒ දුප්පතුන් කතෝලික සභාව සතු ධනය විදිහට අධිරාජයාට ඉදිරිපත් කරන එක. මේක ගැන කෝපයට පත් වුණු අධිරාජයා ලෝරන්ස්තුමාව මරණයට පත් කරන්න නියෝග කරලා තියෙනවා. ඒ අනුව ලෝහ උඳුනක්  මත ලෝරන්ස්තුමා තියලා තමයි මරණයට පත් කරලා තියෙන්නේ. මරණයට පත්වන අවස්ථාවේ දී එතුමා මගේ මේ එක කොටසක් පිච්චිලා තියෙන්නේ, අනිත් පැත්ත හරවන්න කියලා උපහාසයෙන් තමන්ගේ වධකයන්ට කිව්වලු.

 

4. ශාන්ත බෙනඩික්ට් තුමා

ශාන්ත බෙනඩික්ට් ලංකාව තුළ වගේම ලෝකය පුරාම ජනප්‍රිය ශාන්තුවරයෙක්. උදාහරණයක් විදිහට යුරෝපයේ ආරක්ෂක ශාන්තුවරයා විදිහට සැලකෙන්නෙත් ශාන්ත බෙනඩික්තුමාව. එතුමා ගේ ජීවිත කතාව  සඳහන් වෙන්නේ ගිහි ජීවිතයේ පවතින නිසරු බව ගැන කලකිරී පැවිදි දිවියට ඇතුළත් වුණු කෙනෙක් විදිහට. පසු කලෙක දී එතුමා බෙනඩිකානු නිකාය ආරම්භ කිරීමට මුල් වෙනවා. එතුමාගෙන් පසුව බෙනඩිකානු නිකායේ පැවිද්දන් තමන්ගේ ජනතාවගේ අධ්‍යාත්මික සහ ලෞකික අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ඨ කරනවා. එක්තරා ජනප්‍රවාදයකට අනුව රෝමය ආක්‍රමණය කළ ගෝත්වරුන්ගේ රජු තමන්ගේ සේනාපතිවරයෙකු රාජ වස්ත්‍රාභරණවලින් සරසලා බෙනඩික්තුමා වෙත එවනවා, බෙනඩික්තුමා ඔහුව දුටු වහාම ඔහු රජු නොවන බව හඳුනා ගන්නවා. මේ ගැන අසා විස්මයට පත්වන රජු බෙනඩික්තුමාට නිසි ගෞරවය දක්වනවා වගේම බෙනඩික් තුමාට සම්බන්ධ කිසිදු ආශ්‍රමයකට හානියක් නොකිරීමට අණ නිකුත් කරනවා.

 

5. ශාන්ත ආනා තුමිය

ශාන්ත ආනා තුමිය කියන්නේ ශුද්ධවූ මරියතුමියගේ මෑණියන්, ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ මිත්තනිය. සමහර ක්‍රිස්තියානි සම්ප්‍රදායන් අනුව ජේසුස් වහන්සේ වගේම මරියතුමිය වත් බිහි වන්නේ කන්‍යා කුසයෙන්. ශාන්ත ආනා තුමිය විවාහ වන්නේ ශුද්ධවූ ජෝකිම්තුමන් සමග. මරියතුමීගේ පිළිරුව ජේසු ස්වාමී දරුවන් වඩාගෙන සිටින ආකාරයෙන් නිර්මාණය වෙනවා වගේම ශාන්ත ආනාතුමියගේ පිළිරුව නිර්මාණය වන්නේ බිළිඳු මරිය තුමියව වඩාගෙන සිටින ආකාරයෙනුයි.

 

6. ශාන්ත ක්ලෙයාර්තුමිය

ශාන්ත ක්ලෙයාර්තුමිය ඉපදෙන්නේ අසීසියේ ධනවත් පවුලක. අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා ගේ මග පෙන්වීම යටතේ ඇය පැවිදි දිවියට පත්වෙනවා. ඇයගේ පියා එම තීරණයට විරෝධය පළ කරමින් ඇයව කන්‍යාරාමයෙන් රැගෙන යාමට උත්සහ කරත් ඇය පියාට ඉඩක් ලබා දෙන්නේ නැහැ. අවසානයේදී පවුලේ අය ඇගේ තීරණයට හිස නමනව. ප්‍රැන්සිස් මුනිතුමා අනුව යමින් දැඩි විනය නීති පද්ධතිය තමාගේ ආරාමය තුළ ඇය පවත්වාගෙන යනවා. යාඥාවෙන් සහ විවිධ දුෂ්කර වෘත සමාදන් වෙමින් ඇය කාලය ගත කරනවා. ඒ වගේම ඇය කිසිදු මාංස වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරනවා.දෙවැනි ෆෙඩ්රික් රජු අසීසිය කොල්ලකෑමට පැමිණි අවස්ථාවේ ඇය ශුද්ධවූ ලියැවිලි රැගත් රන් කරඬුවක් සමගින් එම සේනාව ඉදිරියට යනවා. ඇය පැමිණීමත් සමග ආශ්චර්යකට මෙන් සේනාව සී සී කඩ විසිරී යනවා.

 

7. ශාන්ත බ්‍රිජට්තුමිය

අයර්ලන්තයේ ඉපදුනු ශාන්ත බ්‍රිජට්තුමිය හැබෑවටම ජීවත් වුණ කෙනෙක් ද නැද්ද යන්න පිළිබඳව යම් විවාදයක් තියෙනවා. කොහොම වුණත් අයර්ලන්තය පුරාවටම වගේම ලෝකය පුරාවටත් ඇයව ඉතා ගෞරවාදරයෙන් සලකනවා. ඇය වටා ජනප්‍රවාද රාශියක් ගොඩනැඟිලා තියෙනවා. උදාහරණයක් විදිහට එක්තරා අවස්ථාවක ඇය කන්‍යාරාමයක් ගොඩනැගීම සඳහා මිත්‍යාදෘෂ්ටික රජ කෙනෙක්ගේ බිම් කොටසක් ඉල්ලා සිටිනවා. ඒ රජු එය ප්‍රතික්ෂේප කරනවා. අවශ්‍ය නම් ඇගේ සාලුව වැසෙන ප්‍රමාණයේ බිම් කොටසක් ලබා ගන්න පුළුවන් කියලා ඇයට කියනවා. ඇය ඒ අවස්ථාවේදී සාලුව ඔහුට ඉදිරියේ එලනවා. ඒ වෙලාවේදි  සාලුව කෙමෙන් විශාල වෙනවා. අවසානයේදී මුළු මහත් ප්‍රදේශයක් සළුවෙන් වැසී යනවා. මේ ගැන පුදුමයට පත්වන රජතුමා ඇයට අවශ්‍ය බිම් කොටස ලබාදෙනවා වගේම කතෝලික දහම වැළඳ ගන්නවා.

 

අපි මේ ලිපියට ඇතුළත් කරලා තියෙන්නේ ලංකාවේ කතෝලිකයන් අතර වන්දනාමානයට ලක්වන ශාන්තුවරුන් අතරින් කීප දෙනෙක් පමණයි. වෙනස් ශාන්තුවරුන් පිළිබඳව ඔබ දන්නා තොරතුරු කමෙන්ට් තීරුවේ එකතු කරන්න. ඒ වගේම මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *