මොනවද ඇත්තටම මේ ස්ටීරියෝටයිප්ස් නැතිනම් ඒකාකෘතික කිරීම් කියන්නේ? අන්න ඒක දැනගන්න වෙනවා මුලින්ම, ඒවා අතඇරිය යුතුයි කියලා අවබෝධ කරගන්න නම්. සාමාන්‍යයෙන් ස්ටීරියෝටයිප්ස් නැතිනම් ඒකාකෘතික කිරීම් කියන්නේ ධනාත්මකව හෝ සෘණාත්මකව සිද්ධ වෙන සාමාන්‍යකරණය කිරීම් කියලා ගන්න පුලුවන්.
උදාහරණයක් විදියට ගත්තොත්, කාන්තාවන්ට සෑහෙන්න මල්ටිටාස්කින් පුලුවන් කියන එක ධනාත්මක ඒකාකෘතික කිරීමක්. ඇයි එහෙම කියන්නේ? මල්ටිටාස්කින් හොඳට පුලුවන් කාන්තාවන්ට විතරක් නොවෙන්න පුලුවන්, මල්ටිටාස්කින් හොඳටම පුලුවන් පිරිමිත් ඉන්න පුලුවන්. එතකොට හැම කාන්තාවකටමත් මල්ටිටාස්කින් බැරි වෙන්න පුලුවන්. අපි බලමු සෘණාත්මක ඒකාකෘතික කිරීමක් ගැන. ‘පිරිමි ඕනම ගෑණියෙක් එක්ක සෙක්ස් කරන්න බලාගෙන ඉන්න ඌරෝ’ කියලා කෙනෙක් කියන්න පුලුවන්. දැන් ඒක ඇත්තද? සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා පිරිමින්ට ලව් නැතත් කෙනෙක් එක්ක සෙක්ස් කරන්න පුලුවන්, එතකොට ගැහැණියකට ලව් නැතුව සෙක්ස් කරන්න බෑ කියලා. අන්න ඒ ස්ටීරියෝටයිප් එකෙන් තමයි අපි උඩින් කියපු ස්ටීරියෝටයිප් එක හැදෙන්නේ. මේක නෙගටිව් ස්ටීරියෝටයිප් එකක්. හැබැයි නිවැරදි එකක් නෙවෙයි. ලව් නැතුව සෙක්ස් කරන්න බැරි ගැහැණු වගේම පිරිමිත් ඉන්නවා. එතකොට ලව් නැතත් සෙක්ස් කරන්න පුලුවන් පිරිමි වගේම ගැහැණුත් ඉන්නවා. එතකොට ඔය දෙකෙන් එකක්වත් එක ස්ත්‍රී පුරුෂ භාවයකට විතරක් ලඝු කරන්න බෑ. දැන් පැහැදිලියි නේද ස්ටීරියෝටයිප්ස් නැතිනම් ඒකාකෘතික කිරීම් කියන්නේ මොනවද කියලා?
එහෙමනම් අපි බලමු, ශිෂ්ට සම්පන්න සමාජයකින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යා යුතු, සමාජයට හානිකර ස්ටීරියෝටයිප්ස් නැතිනම් ඒකාකෘතික කිරීම් කීපයක් ගැන.
01. අපයෝජකයෝ වෙන්නේ පිරිමි, අපයෝජනයට ලක් වෙන්නේ ගැහැණු!
මේක අද වෙනකොට ලෝකේ මුල් බැහැ ගෙන තියෙන බොහොම නරක ඒකාකෘතික කිරීමක්. ඒකට ස්ත්‍රී පුරුෂ දෙකොටසම වග කියන්නත් ඕන. කොහොම මේ ඒකාකෘතික කිරීම නිර්මාණය වුණත්, ඒකෙන් කියවෙන්නේ මේ ලෝකේ පොදුවේ අපයෝජකයෝ වෙන්නේ පිරිමි බවත්, අපයෝජනයට ලක් වෙන්නේ ගැහැණු බවත්. සමහර විට මේ ඒකාකෘතික කිරීම නිර්මාණය වෙන්නේ ගැහැණු පාර්ශවය ශාරීරිකව දුර්වලයි, පිරිමි පාර්ශවය ශාරීරිකව ශක්තිමත් කියන තැනින් වෙන්න පුලුවන්. ඒ කොහොම වුණත්, මේ ඒකාකෘතික කිරීම වැරදි බව අපිට මේ දවස් වල යන ජොනී ඩෙප්- ඇම්බර් හර්ඩ් නඩුවෙන් වුණත් පේනවා. මේ ඒකාකෘතික කිරීමේ තියෙන නරකම ගැටළුව වෙන්නේ, කාන්තා අපයෝජකයෙකුට ඕන දෙයක් කරලා පිරිමියාට වරද පටවලා ගැලවෙන්න ඉඩ ලැබීම. ඒ වගේම, ඒ ඔස්සේ කාන්තා පුරුෂ දෙකොටසම එකිනෙකාගේ ගෞරවයට ලක් වෙන්න ඕන කියන කොන්දේසිය නැතිවෙලා ගිහින්, ගැහැණු පිරිමි දෙකොටස අතර හිදැස තව තවත් පුළුල් වීම. ඒකෙන් කාන්තාවන් ගැන නරක ඒකාකෘතික කිරීම් පවා ආයෙමත් පැන නගිනවා.
02. ගෑණූ නං ගෝල්ඩ් ඩිගර්ස්ලා තමා!
සාමාන්‍යයෙන් ඔය සමහර ෆේස්බුක් පේජ් කරන ඇඩ්මින්ලා එහෙම ගත්තත්, ඒ අයගේ කාන්තාවන් සම්බන්ධ මීම්ස් එහෙම බලනකොට තේරෙන දෙයක් තමයි, ඒ අයගෙ හිතේ ආකල්පයක් තියෙනවා, කාන්තාවෝ ආකර්ෂණය වෙන්නේ මුදල් තියෙන, බලය තියෙන මිනිස්සුන්ට කියලා. ඕක සාමාන්‍ය ජනතාව සමහර අය අතරෙත් තියෙන ආකල්පයක්. ඔන්න ඔය ආකල්පය හින්දම ඒ අය හිතනවා, ගැහැණු කියන්නෙම ගෝල්ඩ් ඩිගර්ස්ලා කියලා. ඒ කියන්නේ මුදල් හෝ බලය හෝ හින්දා කෙනෙක්ට ආකර්ෂණය වෙන, සල්ලි හෝ බලය තියෙන කෙනෙක්ගේ ඇඟේ එල්ලිලා ඉඳීම වෙනුවෙන් ඕනම දෙයක් කරන අය කියලා. විශේෂයෙන්ම කෙල්ලෝ ලව් කරන්නේ, යාලු වෙන්නේ සල්ලිකාරයෝ එක්කය කියලා හිතන අය ඉන්නවා. හැබැයි මේකත් සමාජයෙන් ඉවත් කරන්න ඕන ඒකාකෘතික කිරීමක්. එහෙම කෙල්ලොත් ඇති. හැබැයි සල්ලි ද බලය ද අනං මනං නැතුව, ආදරේට ආදරේ කරන කෙල්ලෝ මේ සමාජේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි. කෙල්ලෙක් කොල්ලෙක්ට ආකර්ෂණය වෙනකොට, ඒ කොල්ලා දියුණු වෙන්න වුවමනාවක් තියෙන, හොඳ කුසලතාවයන් තියෙන, සමාජයට වැඩක් කරන්න අවශ්‍යතාවය තියෙන ඩයල් එකක් නම් වැඩියෙන් ලකුණු වැටෙනවා තමයි. ඒක ඉතින් ගැටළුවක් නෙවෙයිනේ.
03. වාර්ගික ස්ටීරියෝටයිප්ස්
එහාටත් අනාගතේට අරගෙන නොයන එක අපේ වගකීම. ඔය ඉස්සර තිබුණු නරකම ඒකාකෘතික කිරීම් තමයි, “දෙමළ වුණත් ඇය ලස්සනය” වගේ එව්වා. ඒ කියන්නේ දෙමළ නං සාමාන්‍යයෙන් කැතයි, හැබැයි මෙයා විතරක් ලස්සනයි කියන එක. එතකොට ‘සිංහල වුණත් ඔහු කාරුණිකය’ වගේ එව්වා. ඒ කියන්නේ සිංහලයෝ යක්කු වගේ ජාතියක්, හැබැයි මේ සිංහල මිනිහා විතරක් කාරුණිකයි. එතකොට ‘මුස්ලිම් වුවත් ඔහු සටපකපට කමින් තොර විය’ වගේ එව්වා. ඒ කියන්නේ මුස්ලිම් මිනිස්සු සාමාන්‍යයෙන් කපටියි, මේ මුස්ලිම් මිනිහා විතරක් එහෙම නෑ කියලා. මේවා වැරදි ඒකාකෘතික කිරීම්. ජාතිය ආගම මොකක් වුණත්, හොඳ නරක දුෂ්ට ශාන්තුවර ඕනම විදියක මිනිස්සු ඉන්නවා. දැන් කාලේ තියෙන කුඩු ගෙන්නන්නේ මුස්ලිම් මිනිස්සුය වගේ ඒවත් ඔය කියන වාර්ගික ස්ටීරියෝටයිප් කිරීම් තමයි. අන්න ඒ නිසා, මේ විදියේ ඒකාකෘතික කිරීම් අපි සම්පූර්ණයෙන් ඈත් කරන්න ඕන, රටක් විදියට ඉස්සරහට යන්න නම්.
04. කාන්තා පිරිමි ස්ටීරියෝටයිප්
අපි ඇත්තටම මීට කලිනුත් කතා කරලා තියෙනවා මේ ජෙන්ඩර් බේස්ඩ් ස්ටීරියෝටයිප් එහෙම නැතිනම් කාන්තා පුරුෂ භාවය මත පදනම් වෙලා නිර්මාණය වුණු ඒකාකෘතික කිරීම් ගැන. විශේෂයෙන්ම ඔය මොට්ට පුරුෂාධිපත්‍යවාදියෝ සහ මොට්ට ස්ත්‍රීවාදීන් කරපින්නගෙන යන දේවල් නරක ඒකාකෘතික කිරීම් විදියට එලියට එනවා. දැන් අපි දන්නවනේ ඔය කාන්තාවගේ නුවණ හැඳිමිටේය, පිරිමින්ට වැඩ කීපයක් එක පාර කරන්න බැරිය වගේ කතන්දර. අන්න ඒවා ඉස්සර ඉඳලම ආපු ස්ටීරියෝටයිප්. ඒවම තමයි දැන් වෙනකොට දියුණු වෙලා තියෙන්නේ, ‘කාන්තාවන්ට ඔෆිස් එකක ප්‍රශ්න හදාගන්නෙ නැතුව වැඩ කරන්න බෑ’ කියන ඒවා, එතකොට ‘පිරිමියෙක්ට සහ ගැහැණියකට යාලුකම් පවත්වන්න බෑ’ වගේ එව්වා. මෙන්න මේ ස්ටීරියෝටයිප් නිසා සිද්ධ වෙන අනර්ථය තමයි, කාන්තාවන් සහ පිරිමින් අතර පරතරය තව තවත් වැඩි වෙන එක සහ, එකිනෙකා අතර තියෙන්න ඕන අන්‍යාන්‍ය ගෞරවය නැතිවෙලා යන එක,
05. විෂම ලිංගික නොවෙයි නම් එන ඒකාකෘතික කිරීම්
ඇත්තටම මීට අවුරුදු ගණනාවකට කලින් තිබුණු තත්වයත් එක්ක බලනකොට, අද වෙනකොට සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට වඩාත් සාධාරණ තත්වයක් තියෙනවා කියන්න පුලුවන්. හැබැයි ඒ කියන්නේ අද වෙනකොට මේ අයට තමන්ගේ සමාජභාවය හෝ ලිංගිකත්වය මත පදනම් වුණු කොන් කිරීම් සම්පූර්ණයෙන්ම අත්නොවිඳ අභිමානයෙන් ජීවත් වෙන්න පුලුවන් සමාජයක් තියෙනවා කියන එක නෙවෙයි. එදාට වඩා සාපේක්ෂව තත්වය හොඳයි කියලා මේ කියන්නේ. කොහොමහරි, තවමත්, මේ සමරිසි, ද්විරිසි සහ සංක්‍රාතික අය ගැන සමාජේ බොහොම බරපතළ, සාවද්‍ය ඒකාකෘතික කිරීම් තියෙනවා. මෙතනින් ප්‍රධානම එකක් තමයි, සමරිසි හෝ ද්විරිසි පුද්ගලයෝ අතින් ලිංගික අපරාධ -විශේෂයෙන්ම ළමා ලිංගික අපයෝජන- සිද්ධ වෙනවා කියන එක. මේ කතන්දරේ කිසිම දත්තමය පදනමක් නැහැ විතරක් නෙවෙයි, මනෝවිද්‍යානුකූලව ගත්තත් කිසිම සම්බන්ධයක් නෑ.
ඒ වගේම, සමරිසි අය, ද්විරිසි අය, සංක්‍රාන්ති සමාජභාවී අය අඳින්න පළඳින්න ඕන මෙහෙමයි, ඒ අයගෙ හැසිරීම මෙහෙමයි කියලා මිනිස්සුන්ගේ ඔලු වල යම් යම් ස්ටීරියෝටයිප් කිරීම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, සමරිසි පුද්ගලයෙක් නම් කාන්තාමය හැසිරීමක් ඇති කියලා ගොඩක් අය උපකල්පනය කරනවා. ඇත්තටම වෙන්න ඕන මේ ඒකාකෘතික කිරීම් හැම එකකින්ම බැහැර වෙලා, මිනිස්සුන්ට මිනිස්සු විදියට ගරු කරන එක. එච්චරයි.
06. කුලය සහ සමාජ පංති ඒකාකෘතික කිරීම්
මේක නම් ඇත්තටම කොයි තරම් කාලයක් සමාජයේ මුල් බැහැගෙන තිබුණු ඒකාකෘතික කිරීම් ලැයිස්තුවක්ද කියනවා නම්, පිටට නොපෙනුනාට තාමත් ගොඩක් මිනිස්සුන්ගේ හිත් වල මේ ඒකාකෘතික කිරීම් තියෙනවා. ඒ කියන්නේ එක් එක් මිනිස්සුන්ගේ කුලයන් සමගින් සහ සමාජ පංති සමගින් ඒ අයගේ ගතිගුණ, ගතිලක්ෂණ වෙනස් වෙනවය කියන එක. ඇත්තටම ඔය මිනිස්සුන්ගේ ගතිගුණ වෙනස් වෙන්න ඒ අය හැදෙන වැඩෙන වටාපිටාවන්, සමාජ පද්ධති හේතු වෙන්න පුලුවන්. ඒක හරි. හැබැයි වර්තමානයේදී මේ වටාපිටාවන් සහ සමාජ පද්ධති කුලය අනුව වෙනස් වෙනවද? නැහැනේ. ආන්න එතකොට එහෙම කුලය කියලා හඳුන්වන එක මොකක් වුණත්, ඒ අනුව මනුස්සයෙක්ගේ ගතිගුණ වෙනස් වෙන්න විදියක් නෑ. එතකොට සමාජ පංති ගත්තත් එහෙමයි. සමහර වෙලාවට යම් යම් සමාජ පංති වල අධ්‍යාපන මට්ටම්, සමාජ දැනුම් මට්ටම්, සම්පත් මට්ටම් එක්ක යම් යම් ඇබ්බැහීන්, රුචි අරුචි කම් වෙනස් වෙන්න පුලුවන්. හැබැයි පුද්ගල ගතිගුණ ඒ පංති වල ඉන්න හැමෝටම පොදුයි කියලා උපකල්පනය කරන එකම වැරදියි. මේ ලෝකේ ඉන්නේ මිනිස්සු. හොඳ වෙන්න පුලුවන්, නරක වෙන්න පුලුවන්, හොඳ නරක දෙකම තියෙන්න පුලුවන්, හැබැයි ඔක්කොම මිනිස්සු.
07. ජොබ් එක්ක ඒකාකෘතික කිරීම්
මෙන්න මේ ස්ටීරියෝටයිප් කිරිල්ලත් ලංකාවේ සෑහෙන්න තියෙනවා. වෙන රටවලත් ඇති. හැබැයි ලංකාවේ නම් ඔය හින්දා අපි ගොඩක් අය සෑහෙන්න පරිප්පු කාලත් තියෙනවා. මේ ඒකාකෘතික කිරීම ධනාත්මක වගේම සෘණාත්මක කියන දෙපැත්තටම වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, කවුරුහරි කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ වෛද්‍යවරයෙක් නම්, මිනිස්සු හිතනවා ඕනම ඉංජිනේරුවෙක්ට නැතිනම් දොස්තර කෙනෙක්ට මේ ලෝක බෝලේ ඇතුළේ තියෙන හැම දෙයක් ගැනම දැනුමක් තියෙනවා කියලා. එහෙම ඒකාකෘතික කිරීමක් කරනකොට, දොස්තර නැතිනම් ඉංජිනේරුවත් හිතනවා තමන් හැමදේම දන්නවා කියලා. දැන් එහෙම උන්දැලා නිසා රටකට වෙලා තියෙන හරිය පේනවනේ. ආන්න ඒ නිසා, ඒ ඒ වෘත්තියේ නිරත වෙලා ඉන්න කෙනාගෙන් එයාට අදාළ වෘත්තිමය ක්ෂේත්‍රයේ එක්ස්පර්ට් ඔපීනියන් එක ගන්නලා. එහෙම නැතුව ඉංජිනේරුවාගෙන් දර්ශනය හරි, වෛද්‍යවරයාගෙන් කාබනික ගොවිතැන හරි ඉගෙන ගන්න යන්න එපා.
එතකොට දෙවෙනියට එන ජොබ් සම්බන්ධයෙන් වෙන එකාකෘතික කිරීම සෘණාත්මකයි. මේකෙදී සිද්ධ වෙන්නේ යම් කිසි ජොබ් එකක් කරන මිනිස්සු පොදුවේ අවුල් තැනක තියලා සලකන එක. උදාහරණයක් ගත්තොත්, ‘ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා මාර්ග නීති පිළිපදින්නෙ නෑ, ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා කාක්කෝ’ කියන එක. එහෙම නැතිනම් ‘බස් කොන්දොස්තරලා ශිෂ්ට විදියට කතා කරන්න දන්නෙ නැති ජාතියක්’ කියන එක. එහෙම නැතිනම් ‘දොස්තරලා කියන්නේ මිනිස්සුන්ව පහළට දාලා හිතන මුඩුම ජාතියක්’ කියන එක. ඔය හැම එකක්ම වැරදියි. ඕනම ජොබ් එකක විවිධාකාර මිනිස්සු ඉන්නවා. එතකොට ඒ අයගේ ගතිලක්ෂණත් විවිධාකාරයි. එහෙම මිසක් ජොබ් එක අනුව කෙනෙක්ගේ ගතිලක්ෂණ මනින්න බෑ. ඒක වැරදියි. ඔච්චරයි!
08. වයස අනුව ඒකාකෘතික කිරීම්
අහලා ඇතිනේ අර “මල්ලි වයසට ගරු කරපං” කියන කෑල්ල. ඇත්තටම ඒක කියපු මනුස්සයා ඒක කියන්නේ මොන අර්ථයෙන් වුණත්, මේ වයසත් එක්ක මිනිස්සු ඒකාකෘතික කිරීමත් අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා. ඒ ස්ටීරියෝටයිප් කිරීමේ එක විදියක් තමයි, වයසින් ලාබාල නම්, ඒ කෙනා දැනුමෙන් සහ අත්දැකීමෙනුත් ලාබාලයි කියලා ගන්න එක. ඒ වගේම, වයසින් වැඩිමහලු නම්, ඒ කෙනා දැනුමෙන් සහ අත්දැකීම් වලිනුත් පරිපූර්ණයි කියලා ගන්න එක. ඇත්තටම වයස අඩු කෙනෙක්ට වඩා වයසින් වැඩි කෙනෙක්ට අත්දැකීම් සහ දැනුම වඩාත් වැඩියෙන් එක්රැස් කරගන්න අවස්ථාව ජීවිතය විසින්ම ලබාදීලා තියෙනවා තමයි. හැබැයි ඒක හැමතැනකදීම, හැමෝම සම්බන්ධයෙන් සාධාරණ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට මුණගැහෙනවා ඉස්කෝලෙන් අවුට් වුණු, අත්දැකීම් අඩු වුණත් ප්‍රායෝගික දැනුමෙන් පරිපූර්ණ තරුණ වෘත්තිකයෝ. අනික් අතට, කොයි තරම් වයසින් වැඩි වුණත් තාමත් හත් පොළේ ගාගන්නේ නැතුව වැඩක් කරගන්න බැරි වැඩිහිටියෝ. ඒ කියන්නේ ඒ ඒකාකෘතික කිරීමත් වැරදියි!
Leave a Reply