පුංචි බබාලගෙ බර වැඩිවෙන්න හොඳ කෑම

පුංචි බබාලගෙ කෑම ගැන කතා කරනකොට ඔක්කොටම කලින් මතක් වෙන්නෙ බබාගෙ බර. මොකද වැඩිහිටි අපි බර වැඩි නොවෙන්න පරිස්සමට කෑම කන්න උනන්දු උනාට බබාලට කෑම කවන එකේ මූලිකම අරමුණ එයාලගෙ පෝෂණය වගේම බර වැඩි කරන එක. මොකද පොඩිම කාලෙ බබාගෙ වර්ධනය මනින්නෙ මූලිකවම බර කියන සාධකයෙන්නේ. ඉතින් මාස 6ට වැඩි, ඝණ ආහාර හඳුන්වලා දීපු පුංචි බබාලා ඉන්න අම්මලා හැමෝම උනන්දු වෙන්නෙ කොහොමහරි බබාගෙ බර වැඩි කරගන්නනෙ. පුංචි බබාලා කරන කෑම වර්ජනෙත් එක්ක බඩට යන කෑම පොඩ්ඩ හරි ලොකු පෝෂණයක් තියෙන, බබාගෙ බර වැඩිවෙන කෑමක් වෙනවනම් තමයි අම්මල කැමති. ඉතින් ඒ නිසා අපි හිතුවා කෑම කන බබාලගෙ බර වැඩි කරන්න හොඳ ප්‍රෝටීන සහ කැලරි අඩංගුවෙන කෑම වර්ග කිහිපයක් ගැන කතා කරන්න. 

හැබැයි මේක කියවන්න කලින් මතක තියාගන්න ඕන. මේ කියන්නෙ මාස 6ට වැඩි, ඝණ ආහාර හඳුන්වලා දීපු පොඩ්ඩොන්ට දෙන කෑම ගැනයි හොඳේ. මාස 6ට අඩු බබෙකුට මේ මොන ජාතියක උනත් කෑමක් දෙනවනම් තරයේම වෛද්‍ය උපදෙස් අරගෙන ඉන්න ඕන. 

 

1. කෙසෙල් 

කෙසෙල් කියන්නෙ පොටෑසියම්, විටමින් C සහ B වගේම කබෝහයිඩ්රේට ඉ​හළින්ම අඩංගුවෙන පළතුරක්. ඒ වගේම කැලරි බහුල ආහාරයක්. ඒ කියන්නෙ බර වැඩි කරන්න කියාපු කෑමක්. අනිත් එක තමයි කෙසෙල් කියන්නෙ හුඟක් බබාල කන්න කැමති ආහාරයක්. ඉතින් එක එක විදිහට, ඒ කිව්වේ වෙනම පළතුරක් විදිහට, එහෙමත් නැත්තම් ඕට්ස්, යෝගට් වගේ වෙන කෑමක් එක්ක කලවම් කරලා හෝ පෑන් කේක් වගේ කෑමක් හදනකොට මිශ්‍ර කරලා උනත් වයස අනුව බබාලට කන්න දෙන්න පුළුවන්. අනිත් එක ඕනම තැනක හොයාගන්න ලේසි නිසාත්, බෑග් එකේ දාගෙන යන්න ලේසි නිසාත් ගමනක් යද්දි උනත් පහසුවෙන්ම දෙන්න පුළුවන් කෑමක්.

 

2. බතල

බතල කියන්නෙත් ගුණාත්මක බවෙන් ඉහ​ළම කෑමක්. විශේෂයෙන්ම කහ බතල. විටමින් A, C, B6, කොපර්, පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම් වගේ පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුයි. ඒ නිසාම බබාලගෙ බර වැඩිකරන්න ලේසියෙන්ම උදව් වෙන කෑමක්. ඒ වගේම බතල වල අඩංගුවෙන ආහාරමය තන්තු නිසා බබාලගෙ ම​ළබද්ධය වගේ ගැටළු වලටත් ඉතාම හොඳ කෑමක්. 

බතල වල ස්වභාවයෙන්ම තියෙන පැණිරස නිසා බබාල කන්නත් ආසයි. තම්බලා, බැදලා, puree විදිහට වගේම හදන වෙන වෙන කෑම වලට එකතු කරලත් හදාගන්න පුළුවන්.

 

3. මාංශ භෝග හෙවත් ඇට වර්ග

මේ කියන්නෙ අපි හැමෝම දන්නා කඩල, කව්පි වගේ ඇට වර්ග සහ පරිප්පු වගේ පියලි වර්ග. මේ ඇට වර්ග කියන්නෙ ප්‍රෝටීන වගේම මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, යකඩ සහ තන්තු බහුල ආහාරයක්. මේ ඇට වර්ග වල අපි මස්, මාංශ වලින් ලබාගන්නවටත් වඩා ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු වෙනවා. හැබැයි මස්, මාළු වලට වඩා මිලත් බොහොම අඩු නිසා ඕනම මට්ටමක කෙනෙකුට ලබා ගන්නත් පුළුවන්. මාස 6 ඉඳලම බබාලගෙ කෑම වලට පරිප්පු වගේ දේවල් එකතු කරලා උයන්න පුළුවන්. ඒ වගේම ටිකෙන් ටික අනෙක් ඇට වර්ගත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඇට වර්ග එකතු කරලා කුඩු කරලා සීරියල් විදිහට, වෙන වෙනම උයලා, තම්බලා වගේ ඕනෑම විදිහකට දෙන්න පුළුවන් බර වැඩි කරන හොඳම කෑමක්.

 

4. ගී හෙවත් ගිතෙල්

මේ කියන්නෙ අපි හැමෝම දන්න ගිතෙල් තමයි. දැන් වෙළඳපොලේ, සුපර්මාර්කට් වල කෑමට ගන්න පුළුවන් විදිහට පිරිපහදු කරපු ගිතෙල් හෙවත් ගී වෙනම ගන්න තියෙනවා. අන්න ඒ ගී කියන්නෙ බබාලට හරිම ගුණදායක, බර වැඩිකරන කෑමක්. තනිකරම කන කෑමක් නොවුනට හදන ඕනම කෑමකට එකතු කරලා දෙන්න පුළුවන් මේ ගී කියන ආහාරය. 

 

5. චීස්

අපි හැමෝම දන්නවනෙ චීස් කියන්නෙ ඉහ​ළ පෝෂණයකින් යුතු ආහාරයක් කියල. හැබැයි චීස් වල යම් තරමකට ලුණු අඩංගු වෙනවා. අවුරුද්දකට අඩු බබාලට ලුණු දෙන්න එපා කියන නිසාත්, ලංකාවේ ලුණු නැති චීස් වර්ග හොයාගන්න නැති නිසාත් මුලින්ම වෛද්‍ය උපදෙස් අරගෙනම දෙන්න පටන් ගන්නවනම් තමයි හොඳ. කොහොම උනත් චීස් කියන්නෙ කැල්සියම්, ප්‍රෝටීන සහ මේදය බහුලව අඩංගු වෙන ගුණදායක කෑමක්. බර වැඩි කරන්න හොඳම කෑමක්. 

 

6. යෝගට්

යෝගට් කියන්නෙත් කිරි වලින් කෙරෙන නිෂ්පාදනයක්. වැඩිහිටි පුද්ගලයෙකුගේ උනත් දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සම්පූර්ණ කරන්න පුළුවන් කෑමක්. ඉතින් නිසි වයසෙදි බබාට යෝගට් හඳුන්වා දීමෙන් පෝෂණ අවශ්‍යතා වගේම බර වැඩිකරන යුද්දෙටත් ලොකු උදව්වක් වෙනවා. මේදය, ප්‍රෝටීන, තන්තු සහ කැල්සියම් වගේ හුඟක් පෝෂ්‍යපදාර්ථ යෝගට් වල අඩංගු වෙනවා. හැබැයි චීස්ව​ල වගේම ලුණු, සීනි කියන දෙකම යම් ප්‍රමාණයකට අඩංගුවෙන නිසා වෛද්‍ය උපදෙස් මත හඳුන්වාදීම තමයි වඩාත්ම සුදුසු. ලුණු, සීනි ගැන හිතන අවුරුද්දට අඩු බබාලා ඉන්න අම්මලාට ලේසියෙන්ම ගෙදරදී උනත් හදාගන්න පුළුවන් කෑමක් තමයි යෝගට්.

 

7. අලිගැටපේර

අලිගැටපේර කියන්නෙ ඉතින් අපි කොයි කවුරුත් කැමති ප​ළතුරක්නේ. අපි පළතුරක් විදිහට විතරක්ම පරිභෝජනය කළාට යුරෝපීය රටවල සලාද වර්ග, සැන්විචස් වර්ග වගේ හුඟක් කෑම හදන්න මේ අලිගැටපේර භාවිතා කරනවා. අලිගැටපේර කියන්නෙ විටමින් වර්ග විශාල සංඛ්‍යාවක් වගේම කැලරි සහ හිතකර මේදයත් බහුලව තියෙන ආහාරයක්. බර වැඩි කරගන්න විතරක් නෙමෙයි, තව හුඟක් සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගන්නත් පුළුවන් මේ අලිගැටපේර ආහාරයට එකතු කරගන්න එකෙන්. ආහාර හඳුන්වාදීපු මුල් අවධියේ ඉඳලම පුංචි බබාලට දෙන්න පුළුවන් හරිම ගුණදායක කෑමක්. රස නිසා බබාලා ආසාවෙන් කනවා. කෙලින්ම කෑමට වගේම බීම විදිහට, යෝගට් වගේ වෙන කෑමක් එක්ක උනත් පුංචි බබාලට කන්න දෙන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *