අලංකාර පෙරහැර පැවැත්වීම අපේ රටේ ආගමික උත්සව අතර කැපීපෙනෙන අංගයකි. පෙරහැර රැසක් වසරකට පැවැත්වෙන අතර එයින් දළදා පෙරහැර ලෝකයේම ජන්ප්‍රිය පෙරහැරකි. දේවාල පෙරහැරවල් හින්දු ආගමික ආභාෂයට අනුව ගියද ඒවාටද දේශීය සලකුණු රැසක් එකතු වී තිබේ. නර්තන කලාව ගත් කළ උඩරට නැටුම් දැක ගැනීමට නුවර පෙරහැරත්, පහතරට නැටුම් බලාගැනීමට දෙවිනුවර සහ කතරගම පෙරහැරවලුත්, සබරගමු නැටුම් දැකබලා ගැනීමට රත්නපුර සමන් දෙවොල් පෙරහැරත් වඩාත් සුදුසුය.
1. දෙවිනුවර පෙරහැර

Source – youtube.com
දෙවිනුවර දේවාලය පෘතුගීසින් ලංකාවට පැමිණි කාලයේ පටන් දකුණේ සුප්‍රකට දේවාලයකි. දෙවිනුවර දෙවියන් අතීතයේදී උත්පලවර්ණ දෙවියන් ලෙස හැඳින්වුවත් වර්තමානයේ එහි දෙවියන් විෂ්ණු දෙවියන් ලෙස හඳුන්වයි. නීල වර්ණයෙන් සැරසුණු දෙවිනුවර දේවාලය මාතරට මදක් එපිට මාතර තංගල්ල පාර අද්දරම පිහිටා ඇත. දෙවිනුවර පෙරහැර කාවඩි නැටුම් සඳහා ජනප්‍රිය පෙරහැරකි. කලකදී කාවඩි නැටුම් පෙරහැරට වැඩිවූ නිසාදෝ හෝ දැන් පෙරහැරට කාවඩි නැටුම් සීමා කර තිබේ. පහතරට නර්තනාංගයන්ගෙන් සපිරි දෙවිනුවර පෙරහැර මාතර පළාතේ ජනප්‍රියතම පෙරහැර මංගල්‍යයකි. දෙවිනුවර උත්සව සමයද දේවාල පේළි පෙරහැර කිහිපයක් ලෙස පැවැත්වෙන අතර, අවසන් මහා පෙරහැර උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.
2. වැවුරුකන්නල පෙරහැර

Source – youtube.com
වැවුරුකන්නල බුදු රජ මහ වෙහෙර යනු විසි වන සියවසෙහි මැද භාගයේ මහජනයාගේ මුදලින් ඉදිවුණු මහ වෙහෙරකි. එහි වූ සියක් රියන් දැවැන්ත බුද්ධ ප්‍රතිමාව අලුත්ගම කන්දේ විහාරයේ සුවිසල් පිළිමය නිමවෙන තෙක් ලංකාවේ ඕනෑම ආකාරයකින් ගත් කළ උසම සහ විශාලතම පිළිම වහන්සේ විය. මැයි මාසයේ පැවැත්වෙන වෙසක් උත්සවය වෙනුවෙන් වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරේ පින්කම් රැසකි. එයින් එක් පින්කමක් වන්නේ මහ පෙරහැර පින්කමයි. මේ වෙසක් පෙරහැරේ දකුණේ දික්වැල්ල පළාතට ආවේණික මහබබා නම් වූ විශාල බෝනික්කෙකු මෙන් වූ නර්තනාංගය ඇතුළත් වේ. මල් බයිසිකල්, කස, මහ බබා, ගැමි නැටුම් ඇතුළත් මේ වැවුරුකන්නල පෙරහැරට අමතරව ඒ ආකාරයේම පැරණි පෙරහැර කිහිපයක්ම දික්වැල්ල පළාතේ වෙසක් පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වේ.
3. කතරගම පෙරහැර

Source – tripnino.com
දෙවියන් වන්දනාවට වැඩිම බැතිමතුන් පිරිසක් එකතු වන දෙවොලක් වෙත් නම් ඒ ලංකාවේ කතරගම දෙවොල වේ. සිංහල බැතිමතුන් මෙන්ම දෙමළ හින්දු බැතිමතුන්ද සිය පුද පූජා කටයුතු වලට කතරගම දේවාලයට එති. වර්ෂයක් පාසා ඇසල මාසයට කිට්ටුව පැවැත්වෙන කතරගම උත්සව කාලයේදී කතරගම පළාත එකම උත්සව සිරියක් ගනී. එහි පැවැත්වෙන පෙරහැරට දෙමළ ජනයා මෙන්ම වැදි ජනතාවද සිය දායකත්වය සපයයි. කතරගම පෙරහැර විවිධ වර්ණයෙන් අලංකාර වුණු සුන්දර දේවාල පෙරහැරක් ලෙස ප්රකටය.
4. දළදා පෙරහැර

Source – newsfirst.lk
පෙරහැරක් ලෙස ලංකාවේ ප්‍රසිද්ධම පෙරහැර දළදා පෙරහැර වේ. පුරාතනයේ දළදාව සිය අත තිබීම රාජ්‍යත්වයට ආශිර්වාදයක් ලෙස රජවරුන් සලකන ලදී. අදද එම සිරිත් අනුව දළදා පෙරහැර මංගල්‍යය අවසානයේදී එය නුවර ජනාධිපති මැදුරේදී ජනාධිපතිතුමාට දැනුම්දෙනු ලැබේ. ජුලි, අගෝස්තු කාලසීමාවේදී පවත්වණු ලබන නුවර දළදා පෙරහැර නුවර ජනතාවට ආඩම්බරයකි. සාම්ප්‍රදායික වෙස් නැටුම් ඉගෙනගන්නා නැට්ටුවන්ට නුවර පෙරහැරේ විස්කම් දැක්වීමට ලැබීම මහඟු අවස්ථාවක් ලෙස ඔවුන් සලකති. අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් එකම පෙරහැරක ගමන් කරන නුවර පෙරහැරේ අලින්ට අන්දවාලනු ලබන විචිත්‍ර ඇඳුම් නිසා ඔවුන් වඩාත් තේජාන්විතව පෙනේ.
5. ගංගාරාම පෙරහැර

Source – youtube.com
ගංගාරාමය යනු කොළඹ පිහිටි ප්‍රකට සිද්ධස්ථානයකි. කොළඹ පැමිණෙන විදෙස් සංචාරකයින් ගංගාරාමය බැලීමට අමතක නොකරති. මෙම ගංගාරාම නවම් පෙරහැර කොළඹ බෞද්ධයින්ගේ උරුමය කියාපාන පෙරහැර මංගල්‍යයකි. එදා මුළු කොළඹම අන්‍ය ජාතීන්ට අත්පත් වී තිබුණු යටත්විජිත යුගයේදී සිංහල බෞද්ධයාට පෙරහැර පැවැත්වීමට පවා නොයෙක් බාධා එල්ල විය. එහෙත් අද රටේ රාජ්‍ය නායකයින්ගේද ආශිර්වාදය ඇතුව පහතරට හා උඩරට නර්තනාංගයන් ඇතුළත් ගංගාරාම පෙරහැර කොළඹ ඇත්තන්ට වැඩි දුර නොගොස් නගරයේදීම දැකබලාගත හැකි මාහැඟි පෙරහැරකි.
6. ආඩි වේල් පෙරහැර

Source – deskgram.org
පිටකොටුව සිට බම්බලපිටිය දක්වා ගමන් කරන ආඩි වේල් පෙරහැර වසර 150කට ආසන්න ඉතිහාසයක් ඇති වේල් පෙරහැරක් වේ. මෙය දෙවන ලෝක යුද්ධයට ප්‍රථම කතරගම දක්වාම ගොස් තිබේ. එහෙත් පසුව ආරක්ෂක සහ වෙනත් හේතු මත පෙරහැර පිටකොටුවේ සිට බම්බලපිටියට සීමා වී තිබේ. මෙම පෙරහැර ජූලි හෝ අගෝස්තු මස පැවැත්වෙන අතර එයට කොළඹ පළාතේ සිටින හින්දු බැතිමතුන්ගේ නොමද සහයෝගය ලැබේ. මෙම වේල් උත්සවයේ එදා කතරගම දෙවියන්ගේ වේලායුධය ගෙන ගොස් තිබේ. අද ද විවිධ නැටුම් ආදී විවිධ පෙරහැර අංග වලින් සමන්විත ආඩි වේල් පෙරහැර කොළඹ සිටින හින්දු බැතිමතුන්ගේ ප්‍රමුඛතම පෙරහැරකි.
7. තිස්සමහාරාම පෙරහැර

Source – facebook.com
තිස්ස මහා විහාරය යනු දුටුගැමුණු රජ දවස දක්වා දිවයන පෞරාණික උරුමයකි. පොසොන් සමය අනුරාධපුරය, රජරට සහ බස්නාහිර ජනයා අතර ජනප්‍රිය වන්නේ යම්සේද, ඌව සබරගමුව සහ දකුණු පළාතේ ජනයාට තිස්සමහාරාම පොසොන් උත්සවය වැදගත් උත්සව කලාපයකි. එහි පැවැත්වෙන පෙරහැර ගැමි නැටුම් වලින් ඔපවත්ව වීදි සංචාරය කෙරේ. දකුණේ පෙරහැර වලට උරුම කාන්තා පිරිමි විශේෂයක් නොමැති විචිත්‍ර වූ නර්තනාංග ඇති පෙරහැර බලන ජනයාට විනෝදාස්වාදය සපයන වෙස්මුහුණු කරුවන්, ජනයා බියගන්වන අපාය ආදී අංගද රුහුණු පෙරහැරවල අන්තර්ගත වේ.
ජනයා අතර තෙරපෙමින් පෙරහැර බැලීම යනු අසුනක වාඩි වී සන්දර්ශනයක් බලනවාට වඩා අපහසු කාර්යයකි. එහෙත් වීදියේ දිවෙන පෙරහැර එයටම ආවේණික වූ සංස්කෘතික ගතිසොබාවන් වලින් යුක්ත වේ. කෙතරම් වෙහෙසකර අත්දැකීමක් වුවද ජනයා පැය ගණන් පෝලිම් වල වාඩි වී සිටගෙන පෙරහැර නරඹන්නට එකතු වෙන්නේ වසරකට වරක් දකින්නට ලැබෙන ආශ්චර්යජනක සංස්කෘතික අංගයන් රැසක් පෙරහැරේ ගමන් කරන නිසාය.
Cover Image Source – arounddeglobe.com
Leave a Reply