ප්‍රයිඩ් මාසයෙන් පස්සේ LGBTQ+ අභිමානයේ මාසය ගැන කරුණු කීපයක්!

LGBTQ+ කියන්නේ දැන් වෙනකොට නම් ඒ තරම් ආගන්තුක වචනයක් නෙවෙයිනේ. හැබැයි දන්නෙ නැති අයට කිව්වොත්, LGBTQ+ කියන එකෙන් අදහස් වෙන්නේ Lesbian, Gay, Bi-sexual, Transgender, Queer සහ වෙනත් කියන එක තමයි. ඒ කියන්නේ කාන්තා හෝ පිරිමි සමරිසි, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, සහ සම්මතයන්ට අනුගත නොවෙන ලිංගික සමාජ භාවයන් දරණ අය කියන එක තමයි. එතකොට මොකක්ද ප්‍රයිඩ් මන්ත් කියන්නේ? ඒ කියන්නේ මේ කියපු LGBTQ+ කියන කට්ටියගේ පුද්ගල අයිතීන් ලබාගැනීම සහ ඒ අයගේ අනන්‍යතාවයන් සැමරීම වෙනුවෙන් ලෝකේ පුරා සැමරෙනු ලබන මාසයක්. මේ ප්‍රයිඩ් මන්ත් නැතිනම් අභිමානයේ මාසය යෙදිලා තියෙන්නේ හැම අවුරුද්දෙම ජූලි මාසයට. ඉස්සර නම් ලංකාව වගේ රටවලත් LGBTQ+ නැතිනම් සමරිසි, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික වගේ දෙයක් කියපු ගමන් බුදු අම්මෝ සංස්කෘතිය ඉවරයි කියලා එකක්නේ තිබ්බේ. හැබැයි දැන් වෙනකොට නම් ඒ තත්වය වෙනස් වෙමින් යන්නේ. දැන් වෙනකොට LGBTQ+ කොටස් ගැන වඩාත් ධනාත්මක අවබෝධයක් මිනිස්සු තුළ තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා, ප්‍රයිඩ් මන්ත් එකත් ඉවර වෙලා තියෙන වෙලාවේ, LGBTQ+ ප්‍රජාව සහ අභිමානයේ මාසය ගැන තව කරුණු ටිකක් කියන්න.

1. මුල් කාලේ LGBTQ+ අයිතිවාසිකම් අරගල

දැන් වෙනකොට ප්‍රයිඩ් පෙරේඩ් කියන්නේ සැමරුමක් බවට පත් වෙලා තිබුණට, ඇත්තටම හැමදාමත් මේක සැමරුමක් වුණේ නෑ. හේතුව, මුල් කාලේ LGBTQ+ අයිතිවාසිකම් සහ ඉල්ලීම් කිසිසේත්ම ලැබිලා තිබුණේ නැති පසුබිමක, මේක සමරනවට වඩා ඒ අයිතීන් සහ ඉල්ලීම් දිනාගැනීමට තමයි මූලික තැන ලැබුණේ. උදාහරණයක් විදියට කිව්වොත්, 1971 අගෝස්තු මාසයේදී ඔටාවා සහ වැන්කුවර් නගර වල පැවැත්වුණු පළවෙනි සමරිසි විරෝධතාවයේදී, ඒ අය ඉල්ලා සිටියේ සමරිසි ප්‍රජාවට එරෙහිව සිද්ධ වෙන හැම විදියකම රාජ්‍ය කොන් කිරීම අවසන් කරන්න කියලා තමයි. එතකොට විනිපෙග් වලත් ඒ වගේ රැලියක් සංවිධානය කෙරුණා. එතනදී ඒ රැලියට සහභාගී වුණු සමරිසි ප්‍රජාව තමන්ගේ හිස් ආවරණය වෙන විදියට කඩදාසි බෑග් දාගෙනලු ආවේ. ඒ, ප්‍රසිද්ධියේ ඒ අයගේ අනන්‍යතාවයන් හෙළිවෙන විදියට විරෝධතාවයන් දක්වන්න තියෙන බය නිසාලු. හැබැයි මේ විරෝධතාවයන් එක්ක LGBTQ+ අයිතීන් සහ ඉල්ලීම් ක්‍රම ක්‍රමයෙන් ලැබුණා. විරෝධතාවයන් විදියට ආරම්භ වුණු මේ රැලි, සැමරුම් බවට පත් වුණා.

2. ඇයි ප්‍රයිඩ් මාසේ ජූනිම තියෙන්නේ?

ලෝකේ පුරාවටම LGBTQ+ ප්‍රජාව අභිමානයේ මාසය නැතිනම් ප්‍රයිඩ් මන්ත් කියලා සමරන්නේ ජූනි මාසය. එහෙම ජූනි මාසය ඒකට තෝරගන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ස්ටෝන්වෝල් ඉන් කැරලි කෝලාහලය. මේක සිද්ධ වෙන්නේ 1969 ජූනි 28 වෙනිදා, නිව්යෝර්ක් ග්‍රිනිච් විලේජ් එකේ ස්ටෝන්වෝල් ඉන් නැතිනම් ස්ටෝන්වෝල් තානායමේදී. මේක ඒ කාලේ හැමෝම දන්න ගේ බාර් එකක්. ඒ කියන්නේ සමරිසි ප්‍රජාව එකතුවෙන තැනක්. කොහොමහරි මේ කියන දවසේ ස්ටෝන්වෝල් ඉන් එකට පොලිසිය පනිනවා. ඒ ලයිසන් නැතුව මත්පැන් විකුණුවා කියන චෝදනාව මත. ඒ චෝදනාවේ වලංගු භාවය කොහොම වුණත්, පොලිසිය විසින් ස්ටෝන්වෝල් ඉන් එකේ හිටපු LGBTQ+ ප්‍රජාවේ බොහොමයක් දෙනෙක්ට අඩන්තේට්ටම් වෙන විදියට හැසිරෙනවා. වෙනදට මේ වගේ දේකදී ඉදිරිපත් නොවුණත්, මේ පාර අවට හිටපු LGBTQ+ ප්‍රජාවත් අනික් අයත් පොලිසියට එරෙහිව කැරැල්ලක් දියත් කරනවා, කාසි, බෝතල්, කුණු කසල පොලිස් භටයන් වෙතට විසි කිරීමෙන්. කොහොම හරි මේ කැරලිකාර කණ්ඩායම අමතර පොලිස් බල ඇණි ඇවිත් විසුරුවා හැරියත්, මේ පටන් ගන්න කැරැල්ලේ ගිණි පුපුර නිවිලා යන්නෙ නෑ. ඒක දිගින් දිගටම පත්තු වෙනවා. ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ LGBTQ+ අයිතීන් පිළිබඳ ව්‍යාපාරය දල්වන ගිණි පුපුර වෙන්නේ මේ ස්ටෝන්වෝල් කැරැල්ල තමයි. අන්න ඒකයි අභිමානයේ මාසය ජූනි වලට යෙදෙන්නේ.

3. අභිමානයේ විවිධ ධජ!

දැන් ඔය අභිමානයේ මාසයේදී LGBTQ+ ප්‍රජාවේ සාමාජිකයින් අතේ සහ ඒ අයගේ සෝෂල් මීඩියා එකවුන්ට් වල විතරක් නෙවෙයි, LGBTQ+ ප්‍රජාවට සහාය පළ කරන්නන්ගේ අතේත් ලෙළ දෙන දේදුනු ධජය හැමෝම දැකලා ඇතිනේ. ඔය කියන දේදුනු ධජය තමයි LGBTQ+ ප්‍රජාව නියෝජනය කරන නිල ධජය විදියට සැලකෙන්නේ. දැන් භාවිතා වෙන මේ අභිමානයේ කොඩියටත් පාට හයයි. හැබැයි ගිල්බර්ට් බේකර් 1978 දී සැන් ෆ්‍රැන්සිස්කෝ සමරිසි නිදහස් සැමරුම වෙනුවෙන් නිර්මාණය කරපු මුල්ම දේදුනු ධජයට පාට අටක් තියෙනවා. හැබැයි මේ මුල් දේදුනු කොඩිය හෝ දැන් දකින නූතන දේදුනු කොඩිය විතරක් නෙවෙයි LGBTQ+ ප්‍රජාව නියෝජනය කරන එකම කොඩි. වෙනත් වෙනත් උප ප්‍රජාවන් වෙනුවෙන් නිර්මාණය වුණු කොඩි පවා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, සංක්‍රාන්ති ලිංගිකයින් සඳහා වෙන් වුණු කොඩිය තීරු හයකින් සමන්විතයි. මැද සුදු තීරුවක්, ඊට දෙපැත්තේ රෝස තීරු දෙකක් සහ ඊටත් දෙපැත්තේ ලා නිල් තීරු දෙකක්. මේ විදියට ද්විලිංගික, පෑන් ලිංගික වගේ විවිධ නැඹුරුතාවන් නියෝජනය කරන අය වෙනුවෙන් පවා විවිධ අභිමානයේ ධජ තියෙනවා.

4. නූතන අභිමානයේ ධජය!

මේ වෙනකොට පොදුවේ LGBTQ+ ප්‍රජාව භාවිතා කරනා පොදු අභිමානයේ ධජයට පාට හයයි. මේ එක් එක් පාටකින් එක් එක් අරුත් නියෝජනය වෙනවා. රතු පාටින් ජීවිතය නියෝජනය වෙනවා, තැඹිලි පාටින් සුවපත් වීමත්, ඒ වගේම විනෝදය සහ සැමරුමත් නියෝජනය වෙනවා. කහ පාටින් හිරු එළිය, එහෙම නැතිනම් ජීවිතයේ දිදුලන ස්වභාවයත්, නව අදහස් සහ සිතුවිලිත් නියෝජනය කෙරෙනවා. කොළ පාටින් ස්වභාව ධර්මයත්, සමෘද්ධිය සහ වර්ධනයත් නිරුපණය වෙනවා. නිල් පාටින් මුල් දේදුනු ධජයේ ශාන්ත භාවය නියෝජනය වුණත්, වර්තමාන දේදුනු ධජයේ නිල් පාටින් කියවෙන්නේ සංසිඳීම, ශාන්තිය සහ ආත්මයේ සාමය කියන අදහස. එතකොට අවසානයට දම් පාටින් සනිටුහන් වෙන්නේ අභිමානය, සහ ආධ්‍යාත්මය කියන කාරණාවන් තමයි.

5. පළවෙනි Dyke March එක

Dyke March (ඩයික් මාර්ච්) කියන්නේ මොකක්ද කියන එක ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් වෙන්න පුලුවන්. හැබැයි සාමන්‍යයෙන් ප්‍රයිඩ් පෙරඩ් එකක් දැකලා තියෙන කෙනෙක් Dyke March එක ගැන දන්නවා. ඇත්තටම Dyke March කියන්නේ ස්ත්‍රී සමරිසි කණ්ඩායමකගේ විරෝධතා පෙළපාලියක් විදියට ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් බටහිර රටවල ප්‍රයිඩ් පෙරඩ් වල හවස පැවැත්වෙන මේ Dyke March එකේ සංකේතාත්මක අර්ථය වෙන්නේ, ස්ත්‍රී සමරිසි කණ්ඩායම් ලෝකේ ඇස් ඉස්සරහා අදෘෂ්‍යමාන වීමට, එහෙම නැතිනම් ස්ත්‍රී සමරිසි කණ්ඩායම් නොසලකා හැරීමට ලක් කිරීමට විරෝධය පළ කිරීම තමයි. පළවෙනි Dyke March එක සංවිධානය වුණේ ඇමරිකාවේ පළවෙනි ප්‍රයිඩ් අංග පටන් අරගෙනත් අවුරුදු 23 කට පස්සේ, ඒ කියන්නේ 193 දී ලෙස්බියන් ඇවෙන්ජර්ස් කියන ස්ත්‍රී සමරිසි අයිතිවාසිකම් පිළිබඳ කණ්ඩායම මගින්.

6. අභිමානයේ මව!

ඔව්, මෙහෙම අභිමානයේ මව කියලා සදාකල් විරුදාවලියක් ලබා ගනිපු LGBTQ+ ප්‍රජාවේ ක්‍රියාකාරිනියක් ඉන්නවා. ඒ තමයි බ්‍රෙන්ඩා හොවාර්ඩ් (Brenda Howard). ද්වි-ලිිංගික කාන්තාවක් විදියට හැඳින්වෙන බ්‍රෙන්ඩා තමන්ගේ ජීවිත කාලය පුරාවටම ඇමරිකාවේ මුල් කාලීන LGBTQ+ අයිතිවාසිකම් ව්‍යාපාර ගොඩනංවන්න වැඩ කළා විතරක් නෙවෙයි, ඇගේ කැප කිරීම නොවෙන්න අපි දන්න අභිමානයේ සැමරුම් අවුරුදු කීපයකින් පස්සට යන්නත් ඉඩ තිබුණා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඇය ප්‍රයිඩ් පෙරේඩ් සංවිධානයේ ඉඳලා LGBTQ+ ප්‍රජාව වෙනුවෙන් කරපු මෙහෙය සිහිපත් කරන්න තමයි ඇයට අභිමානයේ මව නැතිනම් “Mother of Pride” කියන ගෞරවය ලැබෙන්නේ!

7. ලෝකේ විශාලතම අභිමානයේ පෙළපාලිය

එතෙක් මෙතෙක් පැවැත්වුණු ලෝකේ විශාලතම අභිමානයේ පෙළපාලිය නැතිනම් ප්‍රයිඩ් පෙරඩ් එක විදියට ගෞරවා දිනාගන්නේ, බ්‍රසීලයේ සාඕ පවුලෝ පෙරඩ් එක තමයි. 1997 වර්ෂයේදී දෙදාහක කණ්ඩායමකින් ආරම්භ වුණු මේ පෙළපාලිය ක්‍රමයෙන් වර්ධනය වෙලා, 2006 වසර වෙනකොට මිලියන 2.5 ක සහභාගීත්වයක් වාර්තා කරලා තියෙනවා. මේ විශාල LGBTQ+ ප්‍රජා සහභාගීත්වයත් එක්ක සාඕ පවුලෝ ප්‍රයිඩ් පෙරඩ් එක ගිනස් පොතටත් ඇතුළත් වුණා කියලා තමයි අහන්න ලැබෙන්නේ. දැන් වෙනකොට ලෝකේ ප්‍රධාන නගර වල පැවැත්වෙන හැම ප්‍රයිඩ් පෙරඩ් එකකටම අතිවිශාල LGBTQ+ සහභාගීත්වයක් දැකගන්න ලැබෙනවා. ඒ මිලියන ගණනින්. මේ වෙනකොට ලෝකේ විශාලතම ප්‍රයිඩ් පෙරඩ් එක විදියට නම් දිනාගත්තු සාඕ පවුලෝ පෙරඩ් එකටත් හැම අවුරුද්දකදීම LGBTQ+ සාමාජිකයින් මිලියන 3 -5 ත් අතර ජනකායක් සහභාගී වෙනවා කියලා අහන්න ලැබෙනවා.

Leave a Reply

Your email address will not be published.