අවුරුදු බර ගාණක් තිස්සේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා ලබාගෙන තිබ්බ විරුදාවලිය වෙනස් කරලා ඒක අමුතු ඇටේ කරන්න, නැත්නම් නිකන් ම ඇටයක් කරන්න උදේ දවල් නොතකා වැඩ කරන කොට්ඨාසයක් ඉන්නවා. මිනිස්සුන්ගේ උපත කොයියම්ම විදියකින් හරි වුණා කියලා අපි විශ්වාස කරන හැම තියරියකටම වඩා වෙනස් විදියකට මෙලොව එළිය දැකපු නිසා සමහරවිට මෙයාලාගේ ඇඟ පුරාම මොළේ තියෙන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක්ට අද කාලේ හරිම ඉල්ලුමයි. විශේෂයෙන් ඇටෙන් පොත්තෙන් එළියට ආපු කීඩෑවොන්ගෙන් ලොකු හුරේ පාරක් තියෙනවා. ඉතින් ඒ වගේ චරිතයක් වෙන්න ආස ද? එහෙනම් ලයිෆි අපේ ප්රබුද්ධ ඩෑල් එකක් වීමේ මං අනුගමනය කරන්න
1. නිතරම බර වචන පාවිච්චි කරන්න
ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට කිසිම විදියකින් තේරුම්ගන්න අමාරු වචන. දොස්තර මහත්තයා බෙහෙත් තුණ්ඩු කෑල්ලේ ලියලා දෙන එක මළාට කියවගන්න බෑනේ. ආන්න ඒ වගේ තමයි මේක. ඇත්තවශයෙන් ම මොකක් හරි වැදගත්, තේරුමක් තියන දෙයක් ගැන තමයි කොහොමින් හරි කියවෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ කාටවත් නොතේරෙන එක. සාමාන්‍ය මනුස්සයෙක් ජීවිතේ එදිනෙදා දකින දේවලට මේ තරම් බර වචන පාවිච්චි කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. මූණේ කුරුලෑ හැදුණ විදියයි භෞමික අඛණ්ඩතාවයි අතර කොහොම හරි සම්බන්ධතාවක් වගේ හදාගෙන අවකලබනීය, විස්කෘෂ්ට, උන්නතාංශික සමජ්යානගෘහිත බව වගේ වචනවලින් ඒක විස්තර කරන්න බලන්න. මේක පුංචි උදාහරණයක් විතරයි.
2. එලෝ මෙළෝ නැතිව හැමදෙයක්ම විවේචනය කරන්න
හැමදෙයක්ම කියන්නේ හැමදෙයක්ම. කලාව, දේශපාලනය විතරක් නෙවෙයි, ගෑණුයි මිනිස්සුයි එකතු වෙලා සකලන්සමාලේ කරන එකත් හැකිනම් විවේචනය කරන්න. අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් අපතේ නොයවා වැඩ ගත්තා වගේ ලෝකේ හොඳයි කියලා කියන ඕනම බිජ්ජකින් මොකක් හරි කොනක් අල්ලගෙන ඒකේ වැරදි හොයන් පට්ට ගහන්න. අම්බානට ඒ ගැන වොයිස් කට්ස් එක්ක ෆේස්බුක් රචනා ලියන්න. හැබැයි කාටවත් තේරෙන විදියට ලියනවා එහෙම නෙවෙයි ඔන්න.
3. ආගම සහ ජාතිය පිළිකෙව් කරන්න
මිනිස්සුන්ට හික්මීමක් විනයක් ඇතිවෙන්න ආගමක් ඕනෑ ය. ජාතියක් ගැන හැඟීමක් නැති තැන මිනිස්සු දූවිලි වගේය වගේ කතා පස්සේ යන්නේ නැතුව අනික් මිනිස්සුන්ගේ කැමැත්තවල්වලට ගරු නොකර ආගම ජාතිය වගේ ඒවා වැල් බයිලා බව ඔබේ දරුවාට කියාදෙන්න. බුදුහාමුදුරුවො අද වැඩ හිටියා නම්, දෙවියන් කියා කෙනෙක් ඉන්නවා නම් මෙහෙම මෙහෙම කියයි කියලා හිතලා මාගල් වගේ කවි ලියන්න ආගම්කාරයොන්ගේ හතර හන්දි කැඩෙන්න. පුළුවන් තරම් ඒ නිර්මාණවලින් ආගම ජාතිය බලු කරන්න බලන්න. රැඩිකල්කම රැඳිලා තියෙන්නේ පුළුවන් තරම් රටට එදිරි වෙන තරමට බව හිතාගන්න.
4. දුම් සහ පැන් ඔබේ ජීවිතයේ හොඳම යහළුවන් කරගන්න
ආගම අබිං තමයි. හැබැයි අබිං හොඳයි. දුම දාලා සැපේ ඉන්නකොට තමයි මොළගෙඩිය අස්සෙන් විශ්වය වෙනස් කරන්න පුළුවන් සිතුවිලි මතුවෙන්නේ. ගල් අරක්කුවලින් නොනැවතී එකදාස් නවසිය බර ගණන්වල රුසියාවේදී බැස්කර්විල් හිරගෙදර කඩලා ඒ සතුටට ගසපු බෝතලයකින් පැවතීගෙන එන ඒවත් යහමින් භාවිත කරන්න. නිකන් පාවිච්චි කරන එකෙන් නොනැවතී රැකියා අයදුම්පතකට දාන්න පුළුවන් සුදුසුකමක් ය කියලා හිතෙන තරමේ දැඩි ධෛර්යයකින් යුතුව ලෝකෙටම හඬගාලා කියන්න ඔබේ මිත්‍රයන් කවුද කියලා.
5. මංකොල්ල කාපු තොරොම්බල් කරත්තයක් වගේ හැඩවෙන්න
ඉස්ටයිල් එක ඇවිල්ලා ප්රබුද්ධ වෙන්න තියෙන හොඳම ආයුධවලින් එකක්. මහලොකු දේවල් නම් නෑ. සැවානා වනාන්තරයක් වගේ කොණ්ඩෙකුයි රැවුලකුයි, හිල් වෙච්ච පොල් අඩි බාටා දෙකකුයි, නූල් ගියපු සයිඩ් බෑග් එකකුයි, අව්වට අහු වෙලා පාට ගියපු යන්තන් අළුපාටට හුරු ටී ෂර්ට් එකකුයි, අතේ මැණික් කටුවේ ඉඳන් වැලමිට වෙනකන් විච්චූරණ ටිකකුයි දාගත්තාම හරි.
6. ලෝකේ තියෙන හැම සාහිත්‍යයකම කෙළ පැමිණියෙක් බව පෙන්වන්න
මේකට ඇත්තටම සාහිත්‍යය කාලා ඉන්න ඕනි නෑ. උඩින් පල්ලෙන් පෙන්නුවම ඇති. ඒත් හැබැයි රඟපාන්න උපරිම දක්ෂයෙක් වෙන්න ඕනි. පොඩ්ඩ ගැස්සුණොත් තේරුම්ගන්නවා මේ ඉන්නේ මෙළෝ දෙයක් නොතේරෙන හාල්පාරුවෙක් කියලා. රුසියන් කතා සෙට් එකක් තියෙනවනේ ලංකාවේ හෙන ජනප්‍රිය. ඉස්සෙල්ලාම එහෙම එකකින් පටන්ගන්න. ගෙදර පරිප්පුව රොස් වෙලා රෑට කන්න පරක්කු වුණත් වසන්තය එනවා සත්තයි කියලා හිත හදාගන්න පුළුවන්. ඊට අවශ්‍ය පන්නරය එකෙන්ම කියවන අහන දේවලින් ලැබෙනවා.
7. වයසට වඩා පැහුණු පොරක් බව මතකයේ තබාගන්න
ෂේප් එකේ පොරක් වීගෙන යද්දි අමතක වෙන දෙයක් තමයි මොකද්ද මේ කරන්න තටමන්නේ කියන එක. ඒක නිසා සිහියේ නිරතුරු තබාගන්න ඕනි තමන් මෙහෙම පොරක් කියලා. ඒක අමතක වෙලා ලාමක ගති දාන්න ගියොත් ජීවිතේට ත්රෛලෝකවිජයපත්රයක් දිහා බලන්නවත් පරිවාර සැඩිකල්ලු ටික ඉඩ දෙන එකක් නෑ. ඒ නිසා තමන් පණ්ඩිතයෙක් බව මතකයෙන් ගිලිහෙන්න ඉඩ දෙන්න නම් එපා.
ජීවිතේ සැබෑ අරමුණු වෙන්න ඕනි මේවා තමයි සහෝ. ඔය සීනිබෝල ජීවිත අතෑරලා ගැම්මට සෙට් වෙමු!
Cover Image Source – youtube.com
Leave a Reply