ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී​ම ජනාධිපති ආර්යාවෝ 7 දෙනෙක්

බොහෝ දේශපාලන විචාරකයන්ට අනුව ලෝකයේ බලවත්ම ගැහැණිය වෙන්නේ ඇමරිකානු ජනාධිපති ආර්යාවයි. සියවස් කීපයක් තිස්සේ ජනාධිපති බිරිඳ විදිහට කාන්තාවන් ගණනාවක් එම ධූරයේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා. ඇතැම් අය වඩාත් ප්‍රිය කරලා තියෙන්නේ පවුලේ වැඩ කටයුතු වලට ප්‍රමුඛතාවය දීලා නිහඬ දිවිපෙවෙතක් ගත කරන්න. ඒත් ඇතැම් අය සක්‍රීයව දේශපාලන හා සමාජීය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කටයුතු කරලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ විදිහට මැදිහත්වීම් කරපු සුවිශේෂී ජනාධිපති ආර්යාවෝ කීප දෙනෙක් පිළිබඳව.

 

1. ඩොලී මැඩිසන්

ජේම්ස් මැඩිසන් ජනාධිපතිවරයාගේ ආදරණීය බිරිඳ බවට පත් වූ ඇය සිය සැමියා ජනාධිපති ධූරයට පත්වීමට පෙර සිට ධවල මන්දිරය තුළ සුවිශේෂි මැදිහත්වීමක් සිදු කරනු ලැබුවා. හිටපු ජනාධිපති තෝමස් ජෙෆර්සන්ගේ බිරිඳ මිය යෑමෙන් අනතුරුව ධවල මන්දිරයේ බොහෝ අවස්ථාවල ප්‍රධානත්වය ගනු ලැබුවේ ඇය විසින්. 1814 දී බ්‍රිතාන්‍ය හමුදාව විසින් වොෂින්ටන් නගරය ආක්‍රමණය කරද්දී ඇය විසින් ධවල මන්දිරයේ වටිනා බඩු බාහිරාදිය රැගෙන පළා යාමට කටයුතු කළා. මේ නිසා බොහෝ ඇමරිකානුවන්ගේ ගෞරවය දිනා ගැනීමට ඇය සමත් වුණා.

 

2. මිෂෙල් ඔබාමා

පළමු කළු ජාතික ජනාධිපති බිරිඳ වූ ඇය වෘත්තීයෙන් නීතීඥවරියක්. තම සැමියාගේ ධූරකාලය තුළ ඔහුගේ කටයුතු සඳහා ශක්තිය ලබාදුන් ඇය අතිශයින්ම සමාජශීලී තැනැත්තියක්. ඇමරිකානු දරුවන් අතර පැතිර යමින් පැවතුණු අධි ස්ථුලතාවයට එරෙහිව සටන් කිරීමට ඇය ප්‍රමුඛත්වය ලබා දුන්නා. එසේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු දෙනාගේම ගෞරවය දිනා ගැනීමට මිෂෙල් ඔබාමා සමත් වුණා.

 

3. හිලරි ක්ලින්ටන් 

සිය සැමියා වූ බිල් ක්ලින්ටන්ගේ අනියම් සම්බන්ධතා මාධ්‍ය ඉදිරියේ නිරාවරණය වීම හේතුවෙන් ඔහු ධුරයෙන් පහ වීමේ අවදානමක් ඇතිවුණා. ඒ අවස්ථාවේදී හිලරි ක්ලින්‍ටන් හැසිරුණු ආකාරය ලොව පුරා සියළු දෙනාගේ දැඩි ප්‍රශංසාවට ලක් වුණා. සිය සැමියාගේ වංචාසහගත දිවියට සමාව දුන් ඇය, ඔහු විසින් ජනාධිපතිවරයා ලෙස රට වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් වලට තම සහයෝගය ලබා දුන්නා. ඉන් අනතුරුව දේශපාලනයට පිවිසුණු ඇය මේ වන විට වතාවන් දෙකකදීම ඇමරිකානු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදීමට උත්සාහ කර තිබෙනවා. නමුත් එම උත්සාහයන්  සාර්ථක වූයේ නැහැ.

 

4. රොසලින් කාටර්

සිය සැමියාගේ දේශපාලන දිවිය සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීමට රොසලින් කාටර් කටයුතු කළා. ප්‍රථම වතාවට සිය සැමියා සමග කැබිනට් සාකච්ඡාවන්ට සහභාගි වූ ජනාධිපති ආර්යාව බවට පත්වීමටත් ඇයට හැකියාව ලැබුණා. මේ පිළිබඳව ඇතැම් අය විවේචනය කළත් බොහෝ විචාරකයන් ඇගේ මැදිහත්වීම අගය කරනවා. එසේම ඇය මානසික සෞඛ්‍යය ප්‍රවර්ධන වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දෙනු ලැබුවා.

 

5. බාබරා බුෂ්

ජනාධිපතිවරයෙකුගේ බිරිඳක් මෙන්ම ජනාධිපතිවරයෙකුගේ මවක් බවට පත්වීමට සමත් වූ එකම කාන්තාව විදිහට බාබරා බුෂ් ඉතිහාසගත වෙනවා. සිය පවුලේ සාමාජිකයන් ක්‍රිස්තියානි වටිනාකම්වලට ගරු කරන විනයාන්විත පුරවැසියන් බවට පත් කිරීමට වග බලා ගත් ඇය මේ නිසාම දරදඬු මවක් ලෙස හැඳින්වී තිබෙනවා. නමුත් ඇගේ දරුවන් සියළු දෙනාම ඇයට පණ වගේ ආදරේ කළ බව ප්‍රකට කාරණයක්. තම ධුර කාලය තුළ දී ඇමෙරිකාවේ සාක්ෂරතාවය ඉහළ නැංවීමට ඇය වැඩි වශයෙන් වෙහෙස මහන්සිව කටයුතු කළා.

 

6. බෙටි ෆෝඩ්

මානසික ගැටළු යනු සාමාන්‍ය දෙයක් බවත්, එයට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවත්, එවැනි තත්ත්ව වලට තමා ද මුහුණ දී ඇති බවටත් විවෘත ප්‍රකාශ කළ තැනැත්තියක් විදිහට බෙටි ෆෝඩ් යන නම ඉතිහාසගත වෙනවා. එසේම ඇමරිකානුවන් සඳහා සම අයිතිවාසිකම් ලැබිය යුතු බවට අදහස් පළකළ ඇය පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහා ද තම සක්‍රීය දායකත්වය ලබා දුන්නා. ඇතැම් පිරිස් ඇගේ මෙම විවෘතභාවය අනුමත නොකළත් බොහෝ ඇමරිකානුවන් ඇයව බෙහෙවින් අගය කරනු ලබනවා.

 

7. ජැකලයින් කෙනඩි

ඇමෙරිකානු ජනාධිපති ආර්යාවන් අතර එම ධුරය සඳහා සුවිශේෂී පෞරුෂයක් එක් කළ තැනැත්තියක් ලෙස ජැකලයින් කෙනඩිව සැලකෙනවා. විශේෂයෙන් ධවල මන්දිරය එහි ඓතිහාසික වටිනාකම් සුරැකෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කිරීමට ඇය දැක්වූ දායකත්වය විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. සිය සැමියාගේ මරණයෙන් පසුව ඇය තම දරුවන් සමඟ ඊට මුහුණ දුන් ආකාරයත් ප්‍රශංසනීයයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *