දැනට අවුරුදු 20කට විතර එහාට ගියොත් ලංකාවේ වගේම ලෝකයෙත් ප්රවෘත්ති කියන දේ 90%ක් ම සමාජගත වුණේ පුවත්පත් හරහා. ඉන් පස්සේ ක්‍රම ක්‍රමයෙන් අන්තර්ජාල පහසුකම් දියුණු වීමත් එක්ක පුවත්පත් වගේම අන්තර්ජාලයත් ප්රවෘත්ති සැපයීමේ ප්‍රධාන මාධ්‍යයක් බවට පත් වුණා. හැබැයි ඉතින් පුවත්පත් වල පල වෙන ප්රවෘත්ති සෑහෙන දුරට විශ්වාසදායී වුනත් අන්තර්ජාලය තුල පල වෙන ප්රවෘත්ති වල නිරවද්‍යතාව සාපේක්ෂව අඩුයි. අන්තර්ජාලයේ පල වෙන ප්රවෘත්ති වල නිරවද්‍යතාව ගැන දෙපාරක් හිතන්න ඕනේ සහ තහවුරු කර ගැනීමකින් පස්සේ තමයි ඒ වගේ ප්රවෘත්ති පිළිගන්න ඕනේ. ඉතින් අද කාලෙට ආවොත්, ඕන කෙනෙකුට අන්තර්ජාලයට පිවිසෙන්න පහසුකම් තියෙනවා. ඒ වගේම තමන්ට හිතෙන ඕනෑම දෙයක් අන්තර්ජාලයේ ප්‍රවෘත්තියක් විදිහට පල කරන්න හැමදෙනාටම පුළුවන්. ඔන්න ඔය නිසා රටවල් ගොඩක් උත්සහ කරනවා අන්තර්ජාලය සම්බන්ධව ක්‍රමවත් නීති රීති රාමුවක් තමන්ගේ රටේ පවත්වා ගෙන යන්න. අපේ රටේ නම් නීති රීති තිබුනත් ඒවා එච්චර සැරට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ගොඩක් අය අන්තර්ජාලය අවභාවිතා කරන අවස්ථා නිතර දකින්න ලැබෙනවා. ඉතින් අපි අද කතා කරන්න කල්පනා කළා මෑත කාලයේ අන්තර්ජාලයේ පල වෙච්ච අසත්‍ය ප්රවෘත්ති කිහිපයක් ගැන.
01. ජාතික කොඩිය සහ යුධ හමුදාව
ඔයාලට මතක ඇති මීට දවස් කීපයකට කලින් අන්තර්ජාලයේ ප්‍රචාරය වුණා ප්‍රවෘත්තියක් උද්ඝෝෂණයක් කරද්දී ජාතික කොඩිය අතේ තියා ගෙන ඉන්න කෙනෙකුට වෙඩි තියන්න හමුදාවට බෑ කියල. ඒ වගේම ඒ ප්‍රවෘත්තියේ සඳහන් වුණා එහෙම වෙඩි තිබ්බොත් ඒක යුධ අපරාධයක් විදිහට ගැනෙනවා කියලත්. ඉතින් ඒ ප්‍රවෘත්තිය සෑහෙන ප්‍රසිද්ධ වුනු නිව්ස් එකක් වුණා ඒ දවස් වල. ඒත් ඒ නිව්ස් එක සත්‍යයෙන් තොර එකක් කියල තමයි අපිට හොයල බලද්දී දැන ගන්න ලැබුණේ. සාමාන්‍යයෙන් කිසිම උද්ඝෝෂණයකට වෙඩි තියන්න බලයක් හමුදාවට නැහැ. ඒ වගේම හමුදා නීතියෙත් එහෙම දෙයක් සඳහන් වෙලා නෑ.
02. වාහන පාර මැද්දේ අත ඇරලා දාපු ජර්මානුවෝ
කලින් ප්‍රවෘත්තිය ප්‍රසිද්ධ වෙන්න ටික දවසකට කලින් අන්තර්ජාලයේ ඉතාම ප්‍රසිද්ධ වුණා ප්‍රවෘත්තියක්. ඒ නිව්ස් එකේ සඳහන් වුණේ “ජර්මානු රජය විසින් තෙල් මිල වැඩි කල පසු පැයක් ඇතුලතදී මිනිසුන් තම වාහන නගර වල අතහැර දමන ලදී” කියලයි. ඒ නිව්ස් එක පල වුණේ ඊට අදාළ ජායාරුපයකුත් එක්කයි. එතකොට ඒ ජයාරුපයේ තිබුණු දේ තමයි පෝස්ට් එකේ විස්තර කරලා ඇතුළත් කරලා තිබුණේ. හැබැයි ඉතින් අපිට හොයා ගන්න ලැබුණේ ඒ ජායාරූපය ජර්මනියේ එකක් නොවෙයි, 2012 චීනයේ අධිවේගී මාර්ගයක ඇතිවූ වාහන තදබදයක ජායාරුපයක් කියලා තමයි.
03. EMF සහ වැඩ කරන අපේ විරුවා
මේකත් සෑහෙන ජනප්‍රිය වුනු අසත්‍ය ප්‍රවෘත්තියක් මෑත කාලයේ. මේ නිව්ස් එකේ සඳහන් වුණේ 2022 මාර්තු මාසේ කොළඹ පෝර්ට් සිටි එකේ පැවැත්වුණු EMF කොන්සර්ට් එකේ ආරම්භයේ දී “වැඩ කරන අපේ විරුවා” ගීතය වාදනය කලා ය ඒ වාදනය කරන අතරතුරේ විදුලිය විසන්ධි වීමක් වුනා ය කියලයි. ඒ නිව්ස් එක එක්ක ම ඊට අදාළ වීඩියෝවකුත් සම්බන්ධ කරලා තිබුණා. නමුත් ඒ සඳහා සහභාගී වුනු කිහිපදෙනෙක්ම විශ්වාසයෙන් සඳහන් කලේ එවැනි සිද්ධියක් කිසිසේත්ම සිදු නොවුණු බවයි. ඒ වගේම ඒ ප්‍රසංගයේ සංවිධායකයාගේ ෆේස්බුක් ගිණුමේත් ඒ ප්‍රවෘත්තිය අසත්‍යයක් ලෙස සඳහන් කරලා තිබුණා.
04. රුසියාවේ ‘Uncle Venya’
යුක්රේනය සහ රුසියාව අතර ඇති වෙලා තියෙන අර්බුදය හේතුවෙන් සුප්‍රසිද්ධ අවන්හල් ජාලයක් වන මැක් ඩොනල්ඩ්ස් සමාගම තීරණයක් අරන් තිබුණා රුසියාවේ තමන්ගේ සියලු ම අවන්හල් වසා දමන්නට. ඒ රුසියාවේ ක්‍රියාකලාපය විවේචනය කිරීම වෙනුවෙන්. ඉතින් පහු ගිය දවස් වල ප්‍රවෘත්තියක් පල වුණා මැක් ඩොනල්ඩ්ස් ජාලයට නො දෙවැනි විදිහට ඊට සමාන ලාංඡනයක් සහිත ව “Uncle Vanya” කියල අවන්හල් ජාලයක් ක්‍රියාත්මක වෙනවා ය ඒ රුසියාවේ ජනාධිපති පූටින් ගේ දක්ෂතාව නිසා සිදුවුණු දෙයක් ය කියල. හැබැයි හොයල බලද්දී අපිට දැනගන්නට ලැබුණේ එහෙම අවන්හල් ජාලයක් මේ වෙද්දී පටන් අරන් නැති බවයි. හැබැයි ඒ වෙනුවෙන් මූලික අදියරේ කටයුතු දැනට වෙමින් පවතින බව නම් වාර්තා වෙනවා.
05. පාරේ ඉර
පසුගිය කාලේ ෆේස්බුක් අඩවියේ විශාල වශයෙන් ප්‍රසිද්ධ වුනු ජායාරුපයක් වගේම නිව්ස් එකක් තමයි පාරක වැටිලා තිබුණු පොල් අත්තක් ඉවත් නො කර පාරේ සිමාව ලකුණු කරන සුදු පැහැති ඉර ඇඳලා කියල පල වෙච්ච නිව්ස් එක. ඒකේදී ඒ පොල් අත්ත එහෙමම තියෙද්දී ඒක බේරලා සුදු ඉර පොල්අත්ත වටෙන් ඇඳලා කියල තමයි ඒ නිව්ස් එකේ සඳහන් වුණේ. ඒ වගේම ඒක ලංකාවේ සිද්ධ වෙච්ච දෙයක් විදිහටත් ඒ නිව්ස් එකේ සඳහන් කරලා තිබුණා. හැබැයි හොයලා බලද්දී පෙනෙන දෙයක් තමයි ඒ ප්‍රවෘත්තිය අසත්‍ය එකක් කියන එක. ඒ ඡායාරූපය ඉන්දියාවේ මාර්ගයක එකක් සහ ඒ ඉර ඇඳලා තියෙන්නේ පාර අයිනේ තිබුණු ව්‍යාපෘතියක් සඳහා සකස් කරපු වලක් වටා කියන එකත් දැනගන්නට ලැබෙනවා. ඒ පොල් අතු ඒ වල වැසීම සඳහා යොදා තිබුණු බවත් දැනගන්නට ලැබෙනවා.
06. පිරිමියෙකුට කාන්තාවන් දෙන්නයි
ඔයාලා හැමෝටම මතක ඇති 2021 දෙසැම්බර් මාසේ සෑහෙන වයිරල් ගිය නිව්ස් එකක් අන්තර්ජාලයේ පල වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පුරුෂයින්ට කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගන්න අවසර ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිපාදන සහිත පනත් කෙටුම්පතක් සකස් කරලා තියෙනවා ය ඒක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා ය කියන නිව්ස් එක. ඒකේ දී ඊට අදාළ කෙටුම්පතක ඡායාරූපයකුත් පල කරලා තිබුණා. හැබැයි ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක් බව අපිට දැනගන්නට ලැබුණා. ඒ බව අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ප්‍රකාශයක් කරමින් තහවුරු කරලා තිබුණා.
07. ගෝටා ඉල්ලා අස් වෙයි
ඔයාලට මතක ඇති 2021 දෙසැම්බර් මාසේ වගේ ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධ වුණා ගෝඨාබය මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වෙන්න තීරණය කරලා තියෙනවා කියල. ඒක ෆේස්බුක් සමාජ ජාලයේ ගොඩක් ප්‍රසිද්ධ වුණා ඒ ප්‍රවෘත්තියේ තියෙන වැදගත්කම නිසාම. ඒක ඇත්ත නිව්ස් එකක් නෙමෙයි කියන එක ඉතින් අද අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ගෝල් ෆේස් එක පිරෙන්න මිනිස්සු එකතු වෙලා කිව්වත් තාම එහෙම තීරණයක් ගන්න පාටක් පෙන්න නෑනේ.
Leave a Reply