හොඳම යාළුවාට කොල්ලෙක් සෙට් වෙනවා කියන එක එක වෙලාවකට කෙල්ලෙකුට නිධානයක්. තවත් වෙලාවකට හිසරදයක්. නිකන් බූට් එකක් කෑවා වගේ ස්වාභාවයකුත් ඇති වෙන්න පුළුවන්. කොහොමහරි ඉතින් අවසානය කට්ටක් තමයි. ඔයත් හොඳම යාළුවායි එයැයිගේ මනුස්පයායි නිසා කටු කන වැදගත් යාළුවෙක්ද?
1. තුන්වැනියා වීම

Source – videoblocks.com
දෙන්නා තුන්දෙනා වෙන එක ළමයි ළපටි හම්බවෙන එක ගැන හැදුණ කතන්දරයක් වුණාට එහෙම වෙන්නත් කලින් දෙන්නා තුන්දෙනා වෙන වෙලාවක් තියෙනවා. ඒ තමයි හොඳම යාළුවාට කොල්ලෙක් සෙට් වුණාම තුන්වැනියා වෙන එක. එතකොට මෙච්චර කාලයක් යාළුවා එක්ක කාපු බත් බත් පැකට් එක, බස් එකට සල්ලි දීලා ටිකට් ගත්ත විදිය, ෂොපින් ගියාම දෙන්නා ඇඳුම් ගත්ත විදිය වගේ සාමාන්‍ය ජීවිතේ හැම දේම උඩුකුරු වෙලා තුන්වැනියෙක් බවට පත්වෙනවා. මෙතනදී යාළුවා ඔයාව තනිකරම තනි කරලා දාන්නේ නෑ. ඒත් තුන්වැන්නා වෙන එකේ කට්ට රුධිර සංසරණ පද්ධතිය පුරාම දුවනවා.
2. මුසාවාදෙන් ජීවත් වීමට සිදු වීම

Source – twitter.com
ලව් කරන කෙල්ලෙකුට තියෙන හොඳම හයියක් කියනවනේ හොඳම යාළුවෙක් ඉන්න එක. දැන් ඔය ලව් කරන කෙල්ලගේ ගෙදරට එහෙන් මෙහෙන් එක එක දූසමාන ආරංචි කන වැකෙණකොට කෙලින්ම ඒ මිනිස්සු ඒ ගැන අහන්නේ තනිකඩ ඔබෙන්. ඒ වෙලාවට ඉතින් දිව පැටලි පැටලි හරි අමු කෙබ්බයක් ගහලා යාළුවාව බේරගන්න පුළුවන්. හැබැයි ඉතින් බත් කටක් හරි කාපු ගෙදරක ඈයොන්ට බොරුවක් කිව්වනේ කියලා පස්සේ පසුතැවීමක් ඇති වෙනවා.
3. දුක්ගන්නාරාළ වීම

Source – youtube.com
තනිකඩයෙක් වුණාම ඕනෑ තරම් වෙලාව තියෙනවනේ. බෝයියෙක් ඉන්න යාළුවා තරම් මේ ගැන දන්න කෙනෙක් තවත් නෑ. ඉතින් ඒ දෙන්නාගේ පවුල් ජීවිතේ හැම අංශුවකම වෙන කලහකාරී, ඝෝෂාකාරී, චිත්ත පීඩාව දනවන හැම රෙද්දටම ඇහුම්කන්න දෙන්න වෙන්නේ අහිංසක තනිකඩ කෙලීට. මාගල් වගේ රැයක් දවාලක් නැතුව එවන මැසේජස් බල බලා අතේ තියෙන පිච්චිය කපාගෙන ඒවට හිත සැනසෙන කතන්දර රිප්ලයි කරන එක තරම් එපා කරපු දෙයක් තියෙනවද?
4. විසිහතර පෑ විශේෂඥ සහය ලබා දීමට සිදු වීම

Source – youtube.com
ලව් කරන අය ඉතින් ඒක දිවා රෑ වෙනසක් නැතුව කරනවනේ. සාමාන්‍ය මිනිස්සු නිදියන වෙලාවට ලව් කරන ඈයෝ ඇහැරිලා ඉන්නේ. සමාජයේ වුණත් මතයක් තියෙනවා ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ තනිකඩ අය තමයි ලු ආදරය සම්බන්ධයෙන් හොඳම උපදෙස් දෙන්නේ. ඉතින් යාළුවා එයාගේ අහවලා එක්ක රණ්ඩු කරගන්න වෙලාවට විශේෂඥ සහය ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ තනිකඩ මිතුරියගෙන්. ඒක මහ එපා කරපු කම්මැලි වැඩක්.
5. භාණ්ඩ සහ සේවා හුවමාරුව

Source – pintarest.com
කටු කෑම කලාවක් නම් පෙම් කෙළින යහළුවන් ඇති තනිකඩයෝ තමයි ඒකේ පිකාසෝවරු. ඇයි ඉතින් තෑගි හුවමාරුව, ලියුම් කරදහි, එක එක පණිවිඩ දෙන්නා අතරේ හුවමාරු කරන සම්ප්‍රේක්ෂකයා වෙන්නේ එයාලා නිසා.
6. සිකුරුටි සහ නිරීක්ෂකයාගේ භූමිකාව
යාළුවයි කොල්ලයි අලගිය මුල්ගිය වැල් වගේ එතිලා ඉඳිද්දී පැත්තකට වෙලා ගාණක් නෑ වගේ ඉන්න තරම් ශක්තියක් තනිකඩ ගෑණු ළමයෙකුට තියෙනවා කියන්නේ ඉතින් ලොකු දෙයක්. උන් දෙන්නා පෙම් කෙළින විකාරේ බල බලා තනි රකින්න වෙන එක මළ අප්පිරියාවක් වෙන වෙලාවල් තියෙනවා. නිරීක්ෂකයා විදියට විතරක් නෙවෙයි අතුරු ආන්තරාවක් ඇති කරන්න පුළුවන් මොකක් හරි වැඩක් සිද්ධ වෙනකොට ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සහයෝගයක් දෙන්නෙත් තනිකඩ කෙල්ල.
7. පොටෝග්‍රැපර් තනතුර

Source – pintarest.com
බෝයිෆ්‍රෙන්ඩ් එක්ක පොටෝ කට්ටකට ඉන්න පුදුමාකාර ආසාවක් නෙව ඕනිම කෙල්ලෙකුට තියෙන්නේ. හැබැයි ඒ දෙන්නට විතරක් ඒක කරනවා නම් සෙල්ෆියකින් හිත හදාගන්න වෙනවා. ඒත් තනිකඩ යාළුවා ඉන්න තාක්කල් ඒ ප්‍රශ්නයෙන් හිත නිදහස්. ගස් බදාගෙන, අත් අල්ලගෙන, උඩ පැනගෙන දාන්න පුළුවන් සවුදම් පාලි ඔක්කොම දාලා යාළුවාට කියලා හිතේ හැටියට පින්තූර ගන්න පුළුවන්.
ඉතින් ඔයත් කටු කෑමට ම උපන් තනිකඩ යාළුවෙක් ද?
Cover Image Source – pixels.com
Leave a Reply