නවතම චිත්‍රපට – දෙසැම්බර් පළමු සතිය

Latest movies December 2017

ඔන්න අපි අරගෙන ආවා දෙසැම්බර් මාසේ පලවෙනි සතියේ එකිදක්වන හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට ගැන සටහනක්. මේ සතියේ හින්දි චිත්‍රපට නම් මහා ගොඩක් එලි දකින්න නියමිතව නැහැ. නත්තල් කාලය නිසා මේ මාසේ ඉංග්‍රීසි චිත්‍රපට නම් බහුලව එළිදකින්න නියමිතව තියෙනවා. අපි බලමු මේ මොනවාද කියලා.

 

– හින්දි –

1. Fukrey Returns

මේක කලින් ආපු Fukrey චිත්‍රපටයේ දෙවැන්න ලෙස හඳුන්වන්න පුළුවන්. මේකත් හාස්‍ය ගණයේ චිත්‍රපටයක්. කොල්ලෝ හතරදෙනෙක් සම්බන්ධව දිවෙන මේ කතාවේ ඔවුන්ගේ එදිනෙදා ගැටළු ගැන හාස්‍යමය මුහුණුවරකින් අවධානය යොමු කරනවා. පුල්කිත් සම්රට්, අලි ෆසාල්, මන්ජෝත් සිං වගේ තරුණ නවක නළුවන් වගේම ප්‍රියා ආනන්ද්, විශාකා සිං වගේ නවක නිළියොත් මෙහි රංගන කාර්යයේ නිරත වෙනවා. සංගීතය රාම් සම්පත් ගෙන්.

අධ්‍යක්ෂණය : මිර්දීප් සිං ලම්බා

නිකුත් වන දිනය : දෙසැම්බර් 08

 

– ඉංග්‍රීසි –

 

1. 24 Hours to Live

මේකනම් වෙනස් ගණයේ ක්‍රියාදාම මාදිලියේ චිත්‍රපටයක් බලාපොරොත්තුවෙන් හිටපු ඔබට හොඳ අත්දැකීමක් ලබා දෙන බවට විශ්වාසයි. සටනකදී මියගිය හේවායෙකුට සැත්කමකින් පසුව නැවත ඉපදීමක් ලැබෙනවා. ඒත් ඔහුට ඒ ඉපදීමෙන් ජීවත් වෙන්න ලැබෙන්නේ පැය 24 යි. ඒ පැය විසි හතරට පසුත් ජීවත් වෙන්නනම් ඔහුට යම් කෙනෙක්ව ඝාතනය කිරීමට සිද්ධ වෙනවා. ඒ අභිප්‍රාය ඉෂ්ට කරගන්න ඔහු කරන ක්‍රියාන්විතය ගැනයි මේ චිත්‍රපටය දිග හැරෙන්නේ. ඊතන් හෝක් ගේ සුපිරි ක්‍රියාදාම රංගනයෙනුත් ටයිලර් බේට්ස් ගේ විශිෂ්ට සංගිතයෙනුත් මේ සිනෙමා පටය හැඩ වේවි.

අධ්‍යක්ෂණය : බ්‍රයන් ස්මර්ස්

නිකුත් වන දිනය : දෙසැම්බර් 01

 

2. The Disaster Artist

 

මේක හාස්‍යමය චරිතාපදානයක්. 1998 දී බොලිවුඩයට ඇතුල් වීමේ සිහින සහිතව එකට රංගන පංති වලට සහභාගී වන මිතුරන් දෙදෙනෙක් තම සිහින වලට ලඟා වීම ගැනත් ඔවුන්ගේ නොබිඳුණු මිතුදම ගැනත් මේ චිත්‍රපටයේ කතා බහට ලක්වෙනවා. මේක චිත්‍රපටය කරන්නේ ටොමී විසූ සහ ග්‍රෙග් සෙස්ටෙරෝ කියන මිතුරන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතය අලලා ලියූ කෘතිය ඇසුරෙන්. ජේම්ස් ෆ්රෑන්කෝ සහ ඩේව් ෆ්රෑන්කෝ කියන විශිෂ්ට චරිතාංග නළුවන් මෙහි රංගනයේ යෙදෙනවා. විචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වුණු චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය.

අධ්‍යක්ෂණය : ජේම්ස් ෆ්රෑන්කෝ

නිකුත් වන දිනය : දෙසැම්බර් 01

 

3. Love Beats Rhymes

 

හිප් හොප් තරුවක් වීමේ සිහිනයකින් පසුවන තරුණියකගේ කතාව මේ චිත්‍රපටයෙන් ඔබට ගෙන එනවා. දෙමවුපියන්ගේ සහ පාසලෙන් එල්ල වන විරෝධතා හමුවේ සිය අරමුණ කරා ඇය පියමං කරන ආකාරය අපූරු සංගීතමය මුහුණුවරකින් මේ චිත්‍රපටයේදී ඔබට ලං කරනවා. ඇසෙලියා බැන්ක්ස් කියන නිළිය මෙහි ප්‍රධාන චරිතය අපුරුවට රඟපානවා. රිචඩ් ගිබ්ස් ගේ සංගීතයත් ඊට නොමඳ සහයක් ලබා දෙනවා. කලින් චිත්‍රපටය වගේම මේ චිත්‍රපටයත් විචාරක පැසසුමට නොමදව ලක් වුණු චිත්‍රපටයක්.

අධ්‍යක්ෂණය : RZA

නිකුත් වන දිනය : දෙසැම්බර් 01

 

4. November Criminals

 

තරුණයෙක් සහ තරුණියක් එක්ව සිය මිතුරෙකුගේ රහසිගත ඝාතනයක් විසඳන ආකාරය දැක්වෙන චිත්‍රපටයක් මෙය. මෙනමින්ම ඇති කෘතියකින් උපුටා ගත් කතාවක් ඇසුරින් මෙම සිනෙරුව නිමැවී තිබෙනවා. අපරාධ ගනයේ සිනෙමා පටයක් ලෙස මෙය හැඳින්විය හැකියි. ඇන්සෙල් එල්ගොට් ගේ සහ කලෝ ග්‍රේස් මොරෙට්ස් ගේ විශිෂ්ට රංගනයෙන් හැඩ වන මේ චිත්‍රපටය සංගීතවත් වෙන්නේ ඩේවිඩ් නෝලන්ඩ් අතින්.

අධ්‍යක්ෂණය : සාචා ගැවසී

නිකුත් වන දිනය : දෙසැම්බර් 08

 

මීට අමතරව

Psychopaths

The Shape of Water

Just Getting Started

Brotherhood of Blades II: The Infernal Battlefield

 

යන චිත්‍රපටද මේ සතියේ නිකුත් වීමට නියමිතයි.

එහෙමනම් මේ ලිපිය බලලා ඔබේ රසවින්දනයට ගැලපෙන චිත්‍රපටි තෝරාගෙන යාලුවන්ටත් පෙන්න ලිපිය Share කරන්න.

 
Cover Image Source – fimfare.com/ youtube.com/ behance
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *