ලෝකය පුරා ජනප්‍රියතම සහ ගෞරවනීයම සිනමා සම්මාන උළෙල විදිහට ඔස්කාර් සම්මාන උලෙළ හඳුන්වන්න පුළුවන්. මේ සම්මාන උළෙල එක්තරා විදියකට ඇමරිකානු, වඩාත් නිවැරදිව කිවහොත් ඉංග්‍රීසි කතා කරන සමාජය තුළ ඉහළම පිළිගැනීම ලැබෙන සංස්කෘතික උත්සවයක් විදිහට සැලකෙනවා. විවිධ අවස්ථාවල මෙම සම්මාන උළෙලේ සම්මාන වගේම සම්මාන උළෙල තුළ ඇතිවුණු විවිධ සිදුවීම් අතිශයින් ආන්දෝලනයට ලක් වෙලා තියෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි ආන්දෝලනාත්මක සිදුවීම් කීපයක් පිළිබඳව.
1. ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු කළු ජාතික කාන්තාවට සිදු වූ අසාධාරණය
‘ගෝන් විත් ද වින්ඩ්’ චිත්‍රපටයේ සිදු කළ රඟපෑම වෙනුවෙන් හැටී මැක්ඩැනියෙල් හට හොඳම සහය නිළියට හිමි ඔස්කාර් සම්මානය ලැබුණා. මෙම සිදුවීම ඓතිහාසික අවස්ථාවක් වන්නේ ඔස්කාර් සම්මානයක් පළමුවරට කළු ජාතික කාන්තාවකට ලැබුණු අවස්ථාව වීම නිසායි. නමුත් සම්මාන උළෙලේදී ඇයට තම සහෝදර නළු නිළියන් සමග එකම මේසයක වාඩි වීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ එවකට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පැවති වර්ණභේදවාදී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදිහටයි. කෙසේ වෙතත් ඇය මෙම සිදුවීම නිසා තම සතුට නැති කර ගත්තේ නැහැ. ඔස්කාර් සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරනු ලැබූ කතාවේදී පවා තමාට සිදු වූ මදිපුංචිකමක් ගැන නොව තමන්ට ලැබුණු අසීමිත සන්තෝෂය පිළිබඳව මහත් උද්‍යෝගයෙන් කථා කළා. වඩාත් කණගාටුවට කරුණ වන්නේ ඇය මිය යද්දී තමන්ව හොලිවුඩයේ සුසාන භූමියේ භූමිදාන කරනු ඇතැයි බලාපොරොත්තු වුවත් එය සිදුකිරීමට බලධාරීන් අවස්ථාව ලබා දුන්නේ නැති වීමයි. ඊට බලපෑවේ ද ඉහත කී ප්‍රතිපත්තිමයි.
2. මාලන් බ්‍රැන්ඩෝගේ ප්‍රතික්ෂේප කිරීම
‘ද ගෝඩ් ෆාදර්’ චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ මාලන් බ්‍රැන්ඩෝ ඒ වෙනුවට ඇමරිකානු ආදීවාසි ජනතාවගේ නියෝජිතවරියක් සම්මාන වේදිකාවට එවනු ලැබුවා. ඇය විසින් මාලන් බ්‍රැන්ඩෝගේ ප්‍රකාශයක් කියවනු ලැබූ අතර ඒ මගින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඇමරිකානු චිත්‍රපට කර්මාන්තය තුළ ඇමෙරිකානු ආදිවාසීන්ට සිදුවන අසාධාරණයට විරෝධය පෑමක් සිදුවුණා.
3. සම්මාන වේදිකාවේ නිරුවතින් දිවයෑම
46 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී ඩේවිඩ් නයිවෙන් විසින් තම සහෝදර නිළියක වන එළිසබෙත් ටේලර්ට වේදිකාවට ආරාධනය කරමින් සිටියා. ඒ ඇය විසින් පිරිනැමිය යුතු සම්මානයක් වෙතට ඊළඟට යොමු වීමට තිබූ නිසා. නමුත් සිදුවූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවුණු සිද්ධියක්. රොබට් ඕපල් නැමැත්තෙක් උපන් ඇඳුමින් වේදිකාව හරහා දිව ගියා. මේ සිදුවීම පිළිබඳව විවිධ අය විවිධ අදහස් පළ කළත් ඇතැම් අය ප්‍රකාශ කර සිටියේ ටේලර් සහ නයිවෙන් ප්‍රසිද්ධිය ලබා ගැනීම උදෙසා මෙම සිදුවීම සැලසුම්සහගතව සිදුකළ බවයි.
4. ජීවිතාන්තය දක්වා තහනම
1993 වසරේදී ඔස්කාර් වේදිකාව තුළ දේශපාලන කතා තුනක් ඇසුණා. රිචඩ් ගියර්, චීනය විසින් ටිබෙට් රට ආක්‍රමණය කිරීම පිළිබඳව විවේචනාත්මකව කතාවක් සිදුකළ අතර සුසාන් සැරන්ඩන් සහ ටිම් රොබින්ස්, ඒඩ්ස් රෝගයට ගොදුරු වුණු හයිටි ජනතාවට ප්‍රතිකාර කිරීම පිළිබඳව කතා කිරීම සිදු කළා. මෙයින් කෝපයට පත් ඔස්කාර් සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා මේ තිදෙනාටම ජීවිතාන්තය දක්වාම ඔස්කාර් සම්මාන උළෙල තහනම් බව දක්වමින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් පසුව මේ පුද්ගලයන් තිදෙනාටම ඒ සඳහා සහභාගි වීමටත් සම්මාන දිනා ගැනීමටත් අවස්ථාව ලැබුණා.
5. බිත්තර දැමීම
අයිස්ලන්ත තාරකාවක වන බියෝර්ක් (Bjork) ඉතිහාසගත වන්නේ ඔස්කා සම්මාන උලෙළ සඳහා ඇය තෝරාගත් ඇඳුම නිසාය. ඇය පසුව පවසා සිටි ආකාරයට එම සම්මාන උළෙල ඇයගේ පළමු ඔස්කාර් සම්මාන උළෙල නිසා සදානුස්මරණීය මතකයක් තබා යෑමට ඇයට අවශ්‍යව තිබෙනවා. මේ නිසා ඇය තෝරාගෙන ඇත්තේ හංසයෙකුගේ ස්වරූපයට සමාන ඇඳුමක්. ඊටත් එහා ගිය විශේෂත්වය වන්නේ රතු පලස මතදී ඇය බිත්තරයක්ද දැමීම නිසයි. ඒ අවස්ථාවේදී රතු පලස මතින් යමින් සිටී අනෙකුත් කලාකරුවන් ඇගේ අත්බෑගය හෝ වෙනත් යමක් වැටුණු බවට සිතා කලබලයට පත් වුවත් අවසානයේදී ඔවුන් සිදුවූ දේ වටහා ගත්තා.
6. පූරකයාව විනිශ්චය මණ්ඩලයට තෝරන්න බැරිවුණේ හොඳ වෙලාවට
2015 වසරේ දී ඔස්කා සම්මාන උළෙලේදී කිසිදු කළු ජාතික කලා ශිල්පියෙකුට සම්මානය හිමි වුණේ නැහැ. මේ පිළිබඳව බරපතළ විරෝධයක් ලෝකය පුරාම ඇතිවුණු අතර 2016 වසරේ දී මෙම සිදුවීමම සිදු වුණා. මෙයට විරෝධය පාමින් විල් ස්මිත් වැනි කලාකරුවන් ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කිරීමට කටයුතු කළා. එවර සම්මාන උළෙලේ පූරකයා ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් විනාඩි දහයක පමණ කතාවක් සිදු කරමින් ඔස්කාර් සම්මාන උළෙලේ මෙම ස්වභාවය පිළිබඳව විවේචනය කළා. එහිදී විනිශ්ච මණ්ඩලයට පූරකයාව තේරීමට නියමිතව තිබුණා නම් තමා හටත් මේ අවස්ථාව නොලැබෙන බව ඔහු සභාව සිනා ගන්වමින් ප්‍රකාශ කළා.
7. ලා ලා ලෑන්ඩ් ද මූන්ලයිට් ද?
2017 වසරේදී ඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසයේ සිදු වූ බරපතළම වැරැද්ද වාර්තා වුණා. එක් පූරකයෙකු විසින් ලා ලා ලෑන්ඩ් එවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන ඇති බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම චිත්‍රපට කණ්ඩායම තම ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට වේදිකාව වෙත පැමිණි අතර වෙනත් පූරකයෙකු තම මිතුරාට සිදුවී ඇත්තේ වැරැද්දක් බවත් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන ඇත්තේ ලා ලා ලෑන්ඩ් නොව මූන්ලයිට් බවත් ප්‍රකාශ කළා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා .
Leave a Reply