පුංචි බබෙක් එක්ක ගමනක් යනකොට බෑග් එක පැක් කරගන්නෙ කොහොමද?

පුංචි බබෙක් ඉපදුණු අලුතම, ඒ කියන්නෙ මුල් මාස තුනක් යනකන්ම බබාව ගෙදරින් එලියට අරගෙන යන පුරුද්දක් අපි අතරේ නැහැ. ඒක පරණ සම්ප්‍රදායට අනුව කරන දෙයක් උනත් ඇත්තටම පුංචි දරුවන්ගේ නොමේරූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බාහිර පරිසරයේ තියෙන විෂබීජ වලට ඔරොත්තු දෙන හැකියාව අඩුයි කියන වෛද්‍ය විද්‍යාත්මක කාරණය එක්ක බැලුවම මේ පුරුද්ද හොඳම හොඳ පුරුද්දක්. කොහොම උනත් දරුව ලැබෙන්න ඉන්න අන්තිම කාලෙත් දුර ගමන් බිමන් යන්න නොලැබුණ නිසා අලුත් අම්මලා, තාත්තලා ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්නේ මේ පැටියට වයස මාස තුනක් පිරෙනකන් බබාවත් අරන් ගමන් බිමන් යන්න. චාරිත්‍රානුකූලව ඉස්සෙල්ලාම ආගමික ස්ථානයකට ගෙනිච්චට පස්සෙ ඔන්න පැංචා එක්ක ගමන් යන්න තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් මේක හිතූ තරම්ම ලේසිත් නැහැ. ඉස්සර වගේ හිතුන ගමන් යන්න බැහැ පුංචි බබෙක් එක්ක ගමනක් යනකොට. හුඟක් කාරණා තියෙනවා ගමන් යන්න කලින් සලකා බලන්න. ඒ හුඟක් කාරණා අතරෙත් උඩින්ම තියෙන බබාගේ ගමන් මල්ල සකස් කරගන්න හැටි ගැන තමයි මේ කියන්න යන්නෙ. මාස තුනෙන් හෝ ඊටත් කලින් ඉඳලා අවුරුදු 4, 5 වෙනකන් ඕනම වයසක බබෙක් එක්ක ගමනක් යද්දී මේ කරුණු වැදගත් වෙයි අනිවාර්යයෙන්ම.

 

1. ඉඩකඩ ඇති මල්ලක්

ඔක්කොටම කලින් මේ වැඩේට හොඳට ඉඩ තියෙන බෑග් එකක් තෝරගන්න ඕන. ඒ කියන්නෙ අම්ම කොයි ගමනටත් ගෙනියන හෑන්ඩ් බෑග් එකේ නම් මේ බඩු ඔක්කොම පටවගෙන යන එක කරන්න බැහැ. ඒ නිසා බබා එක්ක ගමන් යන්න ඕනනම් හොඳට ඉඩකඩ තියෙන, ඒ වගේම වැඩේට උචිත විදිහට පොකට් වෙන් කරලා තියෙන වගේම බරින් අඩු බෑග් එකක් තෝරගන්න ඕන. තෙතමනයට එහෙම ඔරොත්තු දෙන බෑග් එකක්නම් වඩා හොඳයි. 

 

2. බබාගේ ඇඳුම්

ඊළඟට තමයි බබාගේ ඇඳුම් පැක් කරන්න තියෙන්නෙ. පුංචි බබෙක් කියන්නෙ ඉතින් ගෙදර හිටියත් දවසකට චූ, කක්කා දදා ඇඳුම් සෑහෙන්න ප්‍රමාණයක් මාරු කරන්න වෙන කෙනෙක්නෙ. ගමනක් ගියා කියලත් ඕක වෙනසක් වෙන්නෙ නැහැ. ඒ නිසා ගමන අනුව, ඒ කියන්නෙ ඇඳුම් සෝදලා, වේලලා ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැත්තම් බබාට ඇති තරමට වඩා ටිකක් වැඩියෙනුත් ඇඳුම් ගෙනියන එක තමයි හොඳම වැඩේ. මේ ඔක්කොම ඇඳුම් කලින් හෝදලා, මැදලා, නමලා පිළිවෙලට අහුරලා තියාගන්න. 

 

3. Changing pack එකක්

මේක තමයි ඔක්කෝටම වඩා වැදගත්ම කාරණාව. කලිනුත් කිව්ව වගේ බබාලාගේ ඇඳුම් නිතරම මාරු කරන්න වෙනවනෙ. බබාට ඩයපර්ස් දැම්මත් සැරින් සැරේට මාරු කරන්න ඕන. ඉතින් ඒ ඔක්කොටම පහසු වෙන Changing pack එකක් මේ ගමන් මල්ලේ තියෙන්නම ඕන. ඒකට මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම ඇතුළත් වෙන්න ඕන.

  • වැඩිපුර ඩයපර්ස්.
  • බබාව පිහිදාන නැපි/ ටවල්.
  • ඩයපර්ස් මාරු කරන්න රබර් ෂීට් එකක්.
  • වෙට් වයිප්ස් / කොට්න් බෝල්ස්.
  • නැපි රෑෂ් ක්‍රීම්
  • බබාට ගාන වෙනත් ක්‍රීම්, පවුඩර් වර්ග
  • පොඩි වතුර බෝතලයක්.
  • පාවිච්චි කරපු නැපි/ ඩයපර්ස් දාන්න ෂොපින් බෑග්ස්

 

4. බබාගේ කෑම

ඊළඟට වැදගත් දේ මේකයි. අපි කන කෑම කන්න තරම් ලොකු නැති පුංචි බබෙක්නම් එයාගෙ කෑම වෙන වෙනම හදාගෙන යන්න වෙනවා. උදෙන්ම හදන කෑම නරක් වෙන්න පුළුවන් නිසා උණුසුම රැඳෙන භාජනවල දාගෙන යන්න පුළුවන්නම් ගොඩක්ම හොඳයි. අතරට දෙන්න බේබි රස්ක් එකක් වගේ සුළු දෙයක් අරගෙන යන්න. බබාගේ ෆෝමියුලා එකක් තියෙනවනම් ඒකත් එක්ක පොඩි ෆ්ලාස්ක් එකකට රස්නේ වතුරත් මතක ඇතුව අරගෙන යන්න. ටිකක් වැඩි වෙලාවක් යන ගමනක් නම් බබාලට දෙන බොට්ල් ෆුඩ්ස් සුපර්මාර්කට් එකකින් අරගෙන යන්න. 

ටිකක් ලොකු බබෙක්නම් අපේ කෑමම දෙන්න පුළුවන්. ඒත් අතරට එන පොඩි බඩගිනි වලට දෙන්න බිස්කට් පැකට් කිහිපයකුත් මතක ඇතුව අරගෙන යන්න. 

 

5. බබාට First Aid Kit එකක්

මේකත් පුංචි බබෙක් එක්ක යන ගමනකදී හරිම වැදගත්. පුංචිම බබෙකුට උනත් හදිස්සියේම උණක්, හෙම්බිරිස්සාවක් වගේ දෙයක් හරි හැදෙන්න පුළුවන්. දුවන පනින වයසක බබෙක්නම් වැටිල තුවාල වෙන්න පුළුවන්. ඒ කොයි දේටත් සූදානමක් දෙමව්පියන් ළඟ තියෙන්න ඕන. පොඩි බොක්ස් එකකට බබාගේ උණ කටුව, පැනඩෝල් සිරප් එක, වෙන බෙහෙත් වර්ග, විටමින් වර්ග, තුවාල බෙහෙත්, පුංචි කතුරක්, ප්ලාස්ටර් ටිකක් දාලා ලෑස්ති කරගන්න.

 

6. අමතර මුදලක්

පොඩි දරුවෙක් එක්ක ගමනක් යනව කියන්නෙ කලින් කියපු විදිහේ ලෙඩ රෝග අවදානම ටිකක් තියෙනවනේ. ඒ නිසා ගමනේ වියදමට අමතරව හදිස්සියක් උනොතින් පාවිච්චි කරන්න පුළුවන් පුංචි මුදලක් අතේ තියාගෙනම එලියට බහින එක හුඟක් වැදගත්. මොකද නන්නාඳුනන පළාතකදී හදිසි අවශ්‍යතාවයක් උනොත් ඉල්ලන්නවත් කෙනෙක් නැහැනේ. හැබැයි එහෙමයි කියලා දරුවා වෙනුවෙන් කෙරෙන්න ඕන දෙයක් නොකරත් බැහැනේ. ඒ නිසා ඒකටත් කලින්ම සූදානම් වෙලා අතේ වැඩිපුර මුදලක් තියාගන්න. හැබැයි නිතර වියදම් වෙන තැනක නැතුව තමන්ටත් හොරෙන් හංගල තියන්න පුළුවන් තැනක මේ මුදල තියාගන්න.

 

7. සෙල්ලම් බඩු

බබාලව ගමන් එක්කන් යන්න අපි ආස උනාට ඒකෙ රඟේ තේරෙන්නෙ ගමන කම්මැලි වෙලා බබා දඟලන්න ගන්නකොට. අපිට වගේ එයාලට ඉතින් එකම විදිහට වාඩිවෙලා වාහනේක යන එක කරන්න බැහැනේ. ඒ නිසා එයාට ගමන කම්මැලි නොවෙන්න එයා ආසම සෙල්ලම් බඩු දෙක තුනක්, කතන්දර පොතක් දෙකක් වගේ බෑග් එකට දාගන්නත් අමතක කරන්න එපා. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *