සෝෂල් නෙට්වර්ක් නිර්මාණය වෙන්නේ අපේ විවේක කාලය ගෙවාදමන නූතන ක්‍රමවේදයක් විදියට. එදා ජනයා, අපි අද සෝෂල් නෙට්වර්ක් වල ඉන්න කාලෙත් ප්‍රයෝජනවත් වැඩ ගොඩාක් කරලා රොබෝ වගේ හිටියා කියලා හිතන්න අමාරුයි. ඒ කාලෙත් ගෑණු අය නම් ළිඳ ළඟ සංගමේ, පිරිමි නම් ඔය කඩ මණ්ඩියේ වගේ පොඩි චැට් එකක් දාගෙන, විස්තරයක් ෂෙයා කරගෙන, නයෙක් ඇරගෙන පාඩුවේ උන්නු බවක් ඒ කාලේ ගැන ලියවුනු සිංදු කවි කතා ඇසුරෙන් අපිට සිතාගන්නට හැකියි. ලංකාවේ නම් කුමක් හෝ වෙනසක් හදාගෙන එකිනෙකාට මඩ ෂෙයා කරගැනීම සෝෂල් මීඩියා වල තියෙන සුපිරිම ආතල් එකක්. පළාත්, ජාතීන්, ආගම්, ඉස්කෝල, උගත් මට්ටම්, යූනියන් විතරක් නෙමෙයි, එන කෝච්චිය අනුවත් කට්ටිය බෙදිලා එකිනෙකාට කමෙන්ට් දාගෙන, රී පෝස්ට් කරගෙන ඇරගැනීම සෝෂල් මීඩියා වල සාමාන්‍ය දෙයක් වෙලා.
නැට්ට කියන්නේ මිනිස්සු වානරයාගෙන් වෙනස් වෙන ප්‍රධානතම බාහිර සාධකයක්. නැට්ටත් මිනිස්සු පිරිසකට හැළිලා, පිරිසකට ඉතුරු වුනානම් මොනා වෙයිද? ඉතිං නැට්ටක් (වලිගයක් ) මිනිස්සු කණ්ඩායමකට විතරක් තිබුන නම් මොනවද ෆේස්බුක් තියෙන්න පුලුවන් පෝස්ට් කියලා අපි බලමු.
1. නැට්ටේ ඉතිහාසය උඹලා දන්නවාද?
“නැට්ට මිනිසුන්ට පැමිණියේ බුද්ධි මට්ටම අනුව බව පුරාණ පොත් පත් වලද සඳහන් වෙනවා. නැටි නැති අයටත් වැඩියෙන් සමහර නැටි ඇති අයම නැට්ට අවමානයට පත් කරන්නට පටන් ගෙන ඇති මේ කාලයේ නැට්ටේ ඉතිහාසයත් සමහර අයට අමතක වෙලා. නැට්ට කියන්නේ බුද්ධිමත් බවේ සංකේතයක් බව විද්‍යාඥයනුත් කිහිප විටක්ම ප්‍රකාශ කරලා තිබෙනවා. කොඳු ඇට පේළියේ දිගුවක් විදියට පවතින නැට්ට මගින් සුසුම්නාවේ දිග වැඩිවෙන නිසා, ඒ අය බුද්ධිමත් බවින් වැඩියි කියලා තමයි ඇමරිකානු තාරකා විද්‍යාඥයෝ පවා ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ කොහොම වුනත්, නැට්ට ගැන කොච්චර පෞරාණික උරුමයන් තිබුනත් අද නැට්ට සඟවාගෙන යෑමට ඇතැම් අය පෙළඹිලා…”
ආදී ලෙසින් නැට්ටේ ඉතිහාසය වර්ණනා කරන පිරිසක් නැටි කණ්ඩායමේ සිටීවි. ඒ වගේම නැට්ට පිහිටීම බුද්ධිමතුන්ට උරුම වෙන දෙයක් බවත්, නැට්ට යනු විශිෂ්ටයන්ගේ ලකුණක් බවත්, ලෝකය වෙනස් කලේ නැට්ට ඇති පිරිස බවත් පවසන්නට ඔවුන් මැලි වෙන එකක් නැහැ.
2. නැට්ට ලස්සන කරගන්නා ආකාරය
“නැට්ට කියන්නේ තවත් එක ශරීර අංගයක් නෙමෙයි. නැට්ටේ අගය දන්නේ නැට්ටක් තිබෙන අයමයි කියලා කතාවක් තිබෙනවා. අපි අද අපේ යාලුවන්ට කියන්නට යන්නේ නැට්ට ලස්සනට තියාගන්න ක්‍රම ගැන. හැමෝටම තිබුනාට හැම කෙනාගෙම නැටි එක වගේ නැහැ. ඒවාට ආවේණික තෙත, වියළි සහ කුඩුකේඩු ආදී මතුපිට ස්වභාවය අනුව නැටි වර්ග වෙනවා. ඒ ඒ නැට්ටට අදාළ ලෝශන් එක පාවිච්චි කලේ නැතිනම් නැට්ට ලස්සනට තබාගන්නට ටිකක් අමාරුයි. උත්සවයකට යද්දි විතරක් නැට්ටට සාත්තු කරලා හරියන්නේ නැහැ. නැට්ට හැඩට වැඩට තියාගන්න හැමදාම නිතර සාත්තුව වැදගත්. අපේ පුරාණ ආයුර්වේද සෘෂිවරු වගේම නූතන විද්‍යාත්මකවත් නැට්ට හැඩට තියාගන්න ක්‍රම සහ විදි කියාදීල තියෙනවා. යාලුවනේ මෙන්න මේ ක්‍රීම් එක ඒ විදියට විද්‍යාත්මකව නැට්ට හැඩට තියාගන්න කියාපු ක්‍රමයක්. අනික් යාලුවන්ටත් පේන්න මේ නැට්ට හැඩට තියාගන්න ක්‍රීම් එක ගැන විස්තරය ඔයාල සෙයා කරගෙනම යන්න.”
ඒ නැට්ටාලංකාරය ගැන සැලකිලිමත් වුණු, නැටි බියුටි කල්චර් සර්විස් එකක අක්කෙක් තමුන්ගේ බියුටි සැලුන් එකේ නැට්ටට තිබෙන සත්කාර පිලිබඳ දැමූ පෝස්ට් එකක්. මේක අක්කිලා නංගිලා විතරක් නෙමෙයි, මල්ලිලා අයියලාත් ‘අනේ හරිම වැදගත් පෝස්ට් එකක්’ කියලා ෂෙයා කරන්න පටන් ගනීවි.
3. නැට්ට තිබෙන කෙනෙක් පාර්ලිමේන්තු යවමු!
නැට්ටට සිදුවන කෙනහිලිකම් දවසින් දවසම වැඩිවෙද්දි, නැට්ට කපාගන්න තරම් සමහර නැටි ජනයා පෙළඹිලා. නැටි ඇති අයට සිදුවන මේ කෙනහිලිකම් නැටි තිබෙන රජෙකු පත්කරගන්නා තෙක් විසඳාගන්න අමාරුයි. අපි හැමදාම නැටි නැති අය අපේ ප්‍රශ්න විසඳයි කියලා බලාගෙන උන්නා. ඒත් මිත්‍රවරුනි බලන්න මේ නැටි නැති අය අපේ ප්‍රශ්න විසඳනවාද? නෑ නේද?
ඒ නැටි ඇති කණ්ඩායමේ අයෙකු රජකරගන්නට වෑයම් කරන පිරිසේ එක් පෝස්ටුවක්…
4. නැටි ඇනිවර්සරියට පෝස්ට් එකක්
නැට්ට හංගන් යන්න වෙලා තිබෙන කාලෙක, නැට්ට මුලු ලෝකෙටම පේන්න නැට්ටේ සෙල්ෆියක් ගහලා දාමුද යාලුවනේ? නැට්ට නැති අය කොර වෙලා ඇඹරිලා යන හැටි අපි බලමු. උන් කියාවි වැරදීමකින් ඉතුරු වුනු නැට්ටත් මුන් ලොකු කරගෙන කියලා… ඒත් සැලෙන්න එපා… ඒ උන්ට නැට්ට නැති එකේ ඉරිසියාවට කියන කතා. එහෙනම් යාලුවෝ හැමෝම නැට්ට එක්ක සෙල්ෆියක් ගහලා පෝස්ට් කරමු නේද?
5. මේවා නැටි ලේ බොලව්!
මේ යන විදියට නැටි තියෙන අය දිගටම ළමයි එක්කෙනා දෙන්න හැදුවොත් තව අවුරුදු 20-30කින් නැටි තියෙන අය ලොවෙන් අතුගෑවිලා යාවි. ඒ නිසා නැටි තියෙන අය වැඩියෙන් වැඩියෙන් ළමයි හදලා නැටි පරපුර බෝකරන්න ඕනි. කොච්චර නෑ කිව්වත් නැටි පරපුර වඳවෙන හැටි සංඛයාලේඛන වලින් පෙන්වනවා. මේවා නැටි ලේ බොලව්…! නැට්ටට ආදරේ නම් පුංචි නැට්ට රත්තරං කියලා සෙයා නොකර, මේ හැම පවුලම නැටි ළමයි තුන් දෙනෙක් වත් පවුලට දායාද කරව්…!
6. නැට්ට වනන නිවැරදි ආකාරය
නැටි සාස්තරය අනුව නැට්ට පිහිටීම සහ නැට්ට හැරවීම අනුව ඔහුගේ ජීවිතය කෙසේ වෙයිද කියා ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්රානුකූලවද යම් යම් මතවාද තිබෙනවා. එසේම බටහිර මනෝ විද්‍යාව අනුවත් නැට්ට එසවීමෙන්, නැට්ට වැනීමෙන් නිරූපණය වන ජීවිතයේ ස්වභාවය ගැන නැටි ඇති කණ්ඩායමේ විද්‍යාඥයින් පර්යේෂණ පවත්වා තිබෙනවා. ඒ අනුව නැට්ට නිවැරදිව හසුරුවන්නේ කෙසේද? වැදගත් සබාවකදී නැට්ට තබාගත යුත්තේ කෙසේද කියලා අපි මේ පේජ් එක හරහා ඉදිරියට දැනුවත් කරන්නට ඉන්නවා… නැට්ටට කැමති, නැට්ට වැදගත් විදියට තියාගන්න කැමති හැමෝම අපේ පේජ් එකට ලයික් කරලා සෙයා කරමු.
7. නැට්ටෙන් ගත හැකි මේ ප්‍රයෝජන ගැන දැනුවත්ද?
හනුමාගේ කාලයේ සිට විශේෂ පිරිසකට පමණක් උරුම වූ මේ නැට්ට, හැඩට වැඩට පමණක් තබා නොගෙන විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා අයුරු අපි බලමු.
නැට්ටට සවිකරගත් පන්දමක් මගින් හනුමාතුමා සහ එතුමාගේ හමුදාව රටක් ගිනිතැබූ හැටි අප අසා තිබෙනවා. නැට්ට සැබැවින්ම පන්දමකටත් වඩා බර දරාගත හැකි උපාංගයක්. කොස්සක් සවිකරගෙන නිවස අතුගාගන්නට, හැන්දක් සවිකර හොද්ද හැඳිගාගන්නට වගේ වැඩ කටයුතු රාශියකට නැට්ට හුරුකරගත හැකියි. බස්රිය වල තෙරපෙමින් යනවිට සහ ෆුට්බෝඩ් එකේ යනවිට අපේ නැටි කණ්ඩායම එයින් වැඩගන්නටත් දැන් දැන් හුරුව තිබේ. සිසුන්ට පිටුපා කළුලෑල්ලේ ලියන ගුරුවරුන්ට විහිළු කරන සිසුන්ට හොඳ පාඩමක් උගන්වන්නට නැටි ඇති ගුරුවරියක් ක්‍රියා කොට තිබුණි. ඇය හුණු කූරක් නැට්ටේ ගසා එයින් කළුලෑල්ලේ ලියන්නට පටන් ගත්තේලු. එවිට පන්තියට මුහුණ ලා පාඩම කරන ගමන්ම නැට්ටෙන් අදාළ චිත්‍ර ඇඳීමට හැකි නිසා, එය අධ්‍යාපනයට යොදාගත හැකි කදිම ක්‍රියාවලියක් ලෙස බලධාරින්ගේද අවධානය යොමු වී තිබේ. අනෙකාට නැට්ටෙන් ඇන ජෝක්ස් කිරීමෙන් එහාට නැට්ටෙන් වැඩ ගැනීමට මේ හරහා තරුණ පරපුරට හැකියාව ලැබී තිබේ. ඉතිං නැට්ට ඇති අයට පමණක් උරුම මේ විශේෂතා ගැන තවත් දැනගන්න, අපේ නැට්ටෙන් උතුම් පරපුරට ලයික් එකක් දාගෙනම යන්න.
නැට්ට ගැන මේ කතාව අපි කාටවත් පහර ගහන්නට කරපු දෙයක් නම් නෙමෙයි. ඒත් මේ මහා පෘථිවියේ ඉන්න දියුණුම ජීවින් විදියට අපි නාමිකව ජාතින් ආගම් විදියට බෙදිලා කරන මූලිකම දෙයක් තමයි එකිනෙකා ඇනකොටා ගැනීම. මනුෂ්‍යයින් විදියට පිටින් වෙන්කරගත් ජාති ආගම් බෙදීම් ඔස්සේ මරාගැනීම, මොළය විශාලතම ආයුධය කරගත් මනුෂ්‍ය සංහතියට ඇත්තටම ගැලපෙනවාද?
Cover Image Source – facebook.com
Leave a Reply