දැන් ඇහෙන බොහොමයක් ගීතවල තියෙන්නේ හොටු පැකට් කිරීමේ කලාවක් නිසා එහෙම එකක් අහන එකෙන් මොන වගේ චින්තනයක් ද ඇතිවෙන්නේ වගේ ප්‍රශ්න අඩු වෙලා තියෙනවා. මොකද ඒවා ඇහුවම මනුස්සයෙක්ට තමන් ගාව තියන චින්තනයත් නැති වෙන නිසා. මෑතකාලීනව ආපු ඔය ඒකාකාරී ඈඬියාවල්වලින් විතරක් ලංකාවේ ගීත සාහිත්‍යය මනින්න නරකයි. ඒක පොඩ්ඩක් අධ්‍යයනය කරාම එක එක මාතෘකා අනුව ලියවුණු විවිධත්වයක් තියෙන කලාවක රහ මතු වෙනවා. ජීවිතය ගැන සුබවාදීව හිතන එකත් එහෙම මාතෘකාවක්.
1. පෙරුම් පුරාගෙන ආ සංසාරේ – සේනානායක වේරලියද්ද
මේක ලියන්නේ මහකනුමුල්ලේ වජිර හාමුදුරුවෝ. උන්වහන්සේ කෝච්චියක කොහෙට හෝ වඩින අතරමග කෝච්චිය එක පාරට නැවතිලා තියනවා. පස්සේ බැලින්නම් ප්‍රේමයේ මොකක්ම හරි වියෝවකට ජෝඩුවක් කෝච්චියට පැනලා. පරිස්සමට රැකගෙන ආපු ජීවිතේ ක්ෂණික තීරණයක් නිසා සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මැරෙන්න ඕනි කියලා කොයිවෙලෙත් හිතන, කියවන හාදයෙකුට ජිවිතේ තියන වටිනාකම ලස්සනට සරලව කියන මේ වගේ ගීතයක් නැති තරම්. “දිවිය මොන තරම් සුන්දර දෝ… දුකම කොයි තරම් සතුටක් දෝ” වගේ වචන බොක්කටම වදිනවා.
2. අවදිවන්න අවදිවන්න – සී ටී ප්‍රනාන්දු
හැමෝම අහලා තියෙන ගීතයක් වුණාට බොහෝ දෙනෙක් දන්නේ මේකේ මුල් කොටස විතරයි. ඒකත් පරක්කු වෙලා නැගිටින කාව හරි ඇහැරවන්න කියන පුංචි පේළි දෙකකට විතරක් සීමා වෙලා. ඒත් ගීතය ඇහුවම දැනෙන හැඟීම ගන්න නම් සම්පූර්ණ එකම අහන්න වෙනවා. අපේ ජීවිතේ මොකක්ම හරි අප්‍රසන්න දෙයක් සිද්ධ වෙනකොට ලෝකෙට ඒකෙ වරද පටවන්න අපි පුරුදු වෙලා තියනවා. ඒ මෝඩ පුරුද්දෙන් මිදිලා ජීවිතය ගැන අලුතින් හිතන්න, තමන් කෙරේ විශ්වාසය තියලා වැඩ කරන්න අපිට කියන නැවුම් ගීතයක්.
3. සිනහා වෙනු මැන වේදනා පිසදා – සුනිල් එදිරිසිංහ
ඇහුව ගමන් මේක තවත් එක ප්‍රේම ගීයක් කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ප්‍රේම ගීයකට වඩා ජීවිතය ගැන සුබවාදීව බලන්න තමන්ගේ ප්‍රේමවන්තියට කරන ආරාධනයක් විදියට මේ ගීය දකින්න පුළුවන්. සුනිල් එදිරිසිංහගේ ලයාන්විත හඬට වචන දුන්නේ ලංකාවේ විශිෂ්ටතම සම්භාව්‍ය ගීත රචකයා වන කේ. ඩී. කේ ධර්මවර්ධන. ජීවිතය ගැන මේ වගේ පුළුල් දැක්මක් තියෙන්න පුළුවන් ද කියන තැනට රසවිඳින්නාව පත් කරන මේ වගේ ගීත නිතර අහන්න ලැබෙනවා නම් කොච්චර හොඳ ද?
4. සුවඳ දැනී දැනී දැනෙනවා – රූකාන්ත ගුණතිලක
සප්ත කන්‍යා චිත්‍රපටයේ පසුබිමින් ඇහෙන මේ ගීතය නිතරම මුමුණන්න හිතෙන රස වෑහෙන ගීතයක් වගේම ඒකෙත් සෑහෙන හොඳ ගතයුත්තක් තියනවා. බොහෝ දෙනෙක් මොහොතක සතුටක් ගන්න ගීතයක් ඇහුවට ගීතයේ පරමාර්ථය ඒක නෙවෙයි. ආදරය වගේ සංකල්පයක් ගාවගෙන හැදෙන තරමක් නිර්මාණ සෘණාත්මකයි. මේ ගීතයේ ජීවිතය ගැන සුබවාදී බලාපොරොත්තුව ආදරයත් එක්ක මුසු කරලා බලාපොරොත්තු ගැන කතන්දරයක් කියනවා. ගීතය කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් හොඳම ගීත රචනයට හිමි සරසවි සම්මානය අජන්තා රණසිංහත්, හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා රෝහණ වීරසිංහත්, හොඳම ගායකයාට හිමි සම්මානය රූකාන්ත ගුණතිලකත් හිමි කර ගන්නවා.
5. මල් යහනාවකි ලෝකේ – එම්. එස්. ප්‍රනාන්දු
බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දු සිංගප්පූරු චාලි චිත්‍රපටයට ගැයූ ගීතයයි මේ. සමහරවිට අපිව දුකට පත් කරවන හැමදේටම හේතුව හෙට දවස ගැන තියන අනියත බිය, එහෙමත් නැත්නම් ඕනවට වඩා හැමදෙයක් ගැනම හිතන්න යන එක. මේ මොහොතේ ජීවත්වෙන්න, සතුටින් ඉන්න මිනිස්සුන්ට අමතක වෙනවා එතකොට. මේ වගේ අදහසක් මුල් කරගෙන මේ ගීතය ලියන්නේ කරුණාරත්න අබේසේකර.
6. පියඹා යනවා මා ආකාසයේ – ක්ලැරන්ස් විජේවර්ධන
ආදරයකින් පැරදුනාම අද තමයි අහන ගමන් විඳවන්න ගීත තියෙන්නේ. ඒවායේ ගායකයොත් අඬනවා. රූප රචනයේ ඉන්න එව්වොත් අඬනවා. ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කරන මේ ගීයෙන් පරාජිත ප්‍රේමවන්තයෙක් ඒක දරාගන්න විදිය සුබවාදී විදියකට ඉදිරිපත් කරලා තියෙනවා. විරහ ගීතයක් කියලා කියන්න බැරි තරමට, ඇහුවම නටන්නමයි හිතෙන්නේ.
7. ඉපදී ලොවේ – එච් ආර් ජෝතිපාල / ග්‍රේෂන් ආනන්ද
මමයි රජා චිත්‍රපටයේ එන එක් ගීතයක්. දුක කියන්නේ හැමදාමත් ජිවිතයේ රැඳෙන දෙයක් නෙවෙයි. හැබැයි සතුටත් ඒ වගේමයි. මේ දෙකේ තියෙන අවිනිශ්චිතබව එක්ක තමයි ජීවත් වෙන්න ඕනි. අල්ලලා නතර කරන්න බැරි කාලයට යන්න ඉඩ දීලා ජිවිතයේ ඕනෑම දේකට මුහුණ දෙන්න කියන පණිවිඩය තමයි මේ ගීතයෙන් කියන්නේ. ගායකයන්ගේ හඬ පෞරුෂය ගීතයේ අර්ථය හැම අතින්ම සාධාරණීකරණය කරනවා. ගීතයේ පද රචනය හේමසිරි හල්පිටගේ.
මේ වගේ තවත් ගීත ඔබත් දන්නවා නම් අපිත් එක්ක බෙදාගන්න…
Cover Image Source – certell.org
Leave a Reply