කවුරුත් යනව වගේ අපිත් ඇල්ල බලන්න ගියා. ගිහින් මතක ගොන්නක් එකතු කරගෙන ආවා. ඒ වගේම සොඳුරු ඇල්ල මත අපි ගැන මතකයන් රැසකුත් අපි පරිස්සමට තැන්පත් කලා. පරිසරයේ අලංකාරවත් බව, රමණීය බව, භයංකාර බව සහ ගුප්ත බව හොඳටම කියාදෙන තැනක් ඇල්ල. බණ්ඩාරවෙලට යන අතරමග ඇල්ල කියන සොඳුරු ග්‍රාමය (දැන්නම් හොඳටම නාගරීකරණය වෙලා) අපිට මුණගැහෙනවා. මොනවද ඇල්ලෙ බලන්න තියෙන්නෙ ඔච්චර..? අපි නම් කියන්නෙ මොනව නොබැලුවත් මේ මාර්ගය දෙපස තියෙන ඇඟ කිලිපොලා යන විදිහෙ දසුන් මවන බෑවුම් ටිකවත් බලල තියෙන්න ඕන ඔබ ලංකාවෙ කෙනෙක්නම්.
අපි ගියේ මාතර ඉඳන්. ගමනට නව දෙනෙක් හිටියා. යන්න එන්න වේදනා විඳින්න ඕන උනේ නෑ අපිට. අපි ගියේ පාරෙ බස් එකේ. මාතර ඉඳන් ඇල්ලට ටිකට් එක 250 යි. උදේ 4.45 ට බස් එකේ නැග්ග අපි ඇල්ලට ලඟා උනේ උදේ 10.30 ට විතර. අපි නැවතුණේ ඇල්ලෙන් කිලෝමීටර් තුනක් විතර එහා තියෙන සිසිල වීව් කියන නවාතැන් පොලේ.
අපි මුලින්ම ගියේ ඇල්ලෙ ඉඳල කිලෝමීටර් 10 ක් විතර එහායින් තිබුණ ‘බල්ලාකෙටුව’ කියන ගමේ තිබුණ පුංචි ඇල්ලක් බලන්න. බලන්න කිවුවට ගිනි ගහන අවු කාස්ටකේ මිනිහෙක් වතුර තියෙන තැනකට යන්නෙ නාන්න බව “මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි” කියල දන්න ඕන කෙනෙක් දන්නව. ‘බල්ලා කෙටුව’ නගරෙනුත් කිලෝමීටර් එක හමාරක් විතර දුර යද්දි තමයි අපිට ඒ තැන හමුවුණේ. පහල වගේම එතනින් ටිකක් අමාරුවෙන් උඩට ගියාමත් නාන්න තැනක් හම්බවෙනව. උඩ ටිකක් වතුර වැඩියි, ඒ වගේම සීතලත් වැඩියි වගේ. කොහොම උනත් අපි එතන පැය දෙකක් විතර කාලයක් ගත කළා. සොඳුරු ඡායාරූප ටිකකුත් කැමරා කාච වල තැන්පත් කරගන්න අමතක උනේ නෑ අපට. එතනම තියෙනව අත්තම්ම කෙනෙක්ගෙ රොටී කඩයක්. සම්බල් එක්ක රොටී කාලා ප්ලේන් ටී එකකුත් බිවුවම නෑම සම්පූර්ණ උනා වගේ දැණුනා. ඉන් පස්සෙ අපි නැවතත් ආවා නවතින තැනට.
අපි නැවතුණ තැනට දෙමෝදර ආරුක්කු නවයේ පාලම හොඳට පේනව වගේම බොහොම කෙටි දුරක් විතරයි එතෙන්ට තිබුණෙ. ඉතිං අපි හවස ගියා එතන බලන්න. අපූරු නිර්මාණයක්. ආරුක්කු නවය හදල තියෙන්නෙ තරමක් එලියට නැමුණු පාලමකට. සියල්ල ගල් වලින් කරල තියෙන්නෙ. සුද්දන්ගෙ වැඩ. මේකට අදහස දීල තියෙන්නෙ සිංහල මනුස්සයෙක් බවත් මේ අදහස නිසා සුද්දන්ට ඉතුරු වුණ මුදල ඒ මනුස්සයට ඉංග්‍රීසීන් විසින් පරිත්‍යාග කර ඇති බවත් අපිට පස්සෙ කිවුවෙ රාවණා ඇල්ල ලඟදි අපට මුණගැහුණු ඒ ප්‍රදේශය ගැන ටිකක් දැනුම් තේරුම් තිබ්බ වෙළඳ මහත්තයෙක්. හැන්දෑවෙ කවුරුත් බලං හිටියෙ එතනින් දුම්රියක් යනකන්. විදේශිකයො ස්වදේශිකයි හෑම දෙනාම එතෙන්ට වෙලා කැමෙරා මානගෙන හිටිය දුම්රියක් එනකං. අවසානයේ ආව නිල් පාට ටිකක් අලුත් පන්නයේ දුම්රියක්. කවුරුත් ඡායාරූප ගන්න යුහුසුළු උනා. දුම්රිය ගියා ආපු ඉක්මණින්ම. ඡායාරූප ටිකක් එකතු කරගෙන අපි ආපහු නවාතැනට ආව. ඒ තමයි පළමු දින ගමනේ නිමාව.
දෙවනි දවස ආරම්භ උනා. යන්නෙ කොහෙද බලන්නෙ කොහේද කියල නේක මතවාද තිබුණත් හෝටන් තැන්න බලන්න අපි කවුරුත් අවසානයට එකඟ උනා. ඉතිං අපි දුම්රියෙන් උදේ පාන්දර ඔහියට ගියා. සුන්දර ගමනක් ඒක. දෙපැත්තෙ පරිසරේ වගේම ඒ පැති වල ගෑණු ළමයිතුත් ලස්සනද කොහෙද. සීතලට හැදෙන හන්ද වෙන්න ඇති සමහරවිට. ඔන්න ඔහියෙ බැහැල කිලෝමීටර් 11 ක දුරක් අපි වාහනයක් අරගෙන ආව හෝටන් තැන්නට. පරීක්ශා කිරීම්, ප්‍රවේශ පත්‍ර ගැනීම් අවසානයේ අපි හිටියෙ හෝටන් තැන්න ගමනෙ මුල. ඊට පස්සෙ තිබුණෙ පයින් ගමනක්. මුලින්ම පුංචි ලෝකාන්තය, ඉන් පස්සෙ ලෝකාන්තය අපේ දර්ශන පත වලට පිළිවෙලින් අහුවුණා.
පල්ලෙහා හෙල ගොඩක් දේවල් හංගගෙන ඇති කියලනම් මට හිතුණ. ප්‍රේම කතාවල අවසානය මරණය කියල හිතපු ගොඩක් ප්‍රේමවන්තයින්ගෙ, ප්‍රේමවන්තියන්ගෙ පෙම් කතා පහල හැංගිලා ඇති. ඒ විතරක් නෙමෙයි මොන මොනව වෙන්න ඇද්ද අතීතයේ මේ තැන්වල. මෙතැනින් බැලුවම වටාපිටාවම පේනව. අනිවාර්‍යයෙන්ම රජ කාලෙ ඔත්තු බලන්න, සටන් වලදි ඈත සිදුවන දේවල් නිරීක්ශණය කරන්න මේ තැන භාවිතා වෙන්න ඇති කියල මට හිතුණ. පරීක්ශා කිරීම ඉතිං දැනුමැති පුද්ගලයින්ට භාරයි. ඉන් පස්සෙ ගිහිං ගිහිං අපි ආව බේකර්ස් ඇල්ලට. සිහිලැල් පරිසරයක් මැවුණ එතනදිනම්. ඊටත් පස්සෙ චිමිනි පොකුණත් පහුකරගෙන මහා දුරක් ඇවිදගෙන අපි ආව ආයිත් හෝටන් තැන්නෙ ආරම්භයට.
මතක් කරන්න ඕන හෝටන් තැන්න කියන්නෙ අතිශය සංවේදී පරිසර පද්ධතියක්. ගින්දර, අධික ශබ්දය, අපද්‍රව්‍ය ඒ වගේ තැන් වලට සුදුසු නෑ. ඒ වගේම දුම් වැට ගෙනියන්නත් එපා. ගිනි ගැනීම් ඇති වෙන්න මහා වෙලාවක් යන්නැති බවත්, ගින්නක් ඇති උනාම සිදු වන විනාශය අති විශාල එකක් බවත් 1989 වෙලා තියෙන ලැවු ගින්නෙන් සිද්ධ වෙලා තියෙන හානිය දැක්කම ඔබටම බලාගන්න පුලුවන් වේවි. හවස 3.30 ට විතර අපි හෝටන් තැන්න ආරම්භක තැනට ආව. අපේ වාහනය එනකං 4.15 විතර වෙනකං අපිට ඉන්න සිද්ධ උනා. ඒ පුංචි කාලය ඇතුලෙදි පරිසරය වෙනස් උනේ හිතාගන්නවත් බැරි විදිහට. තිබ්බ සෞම්‍ය කාලගුණය වෙනුවට සීතල පිරිච්ච අඳුරු කාලගුණයක් පරිසරය වහගත්ත. උහුලන්න බැරි සීතලක් ඒක. ආපු වාහනේ නැගල යද්දි වැස්ස බාධ කලා අපිට. අපි යමින් හිටියෙ විවෘත වාහනේක.ඒකෙ තිබ්බ ටෙන්ට් එකකින් ඔළු ආවරණය කරගෙන අධික සෙම්ප්‍රතිශ්‍යාවකින් බේරෙන්න අපිට පුලුවං උනා. ආයිත් දුම්රියේ ගමනකින් පස්සෙ අපි යලිත් නවාතැනට ආව. කකුල් වල වේදනාව අධික උනා. ඒ වගේම අත් තිබුණෙ ගල් ගැහිල. නවාතැනේ උණු වතුර ස්නාන පහසුකම් සපයල තිබුණ හින්දා සීතලෙන් මිදුණත් කකුල් නම් රිදෙන එක නතර උනේ නෑ.
තුන් වැනි දවස ආරම්භ උනා. කලින් දවසෙ අමාරුකම් හන්දා අපි නවාතැනින් පිටත් උනේ 9 ට විතර. ඒ වගේම අන්තිම දවස නිසා අපේ කරවල් වල ගමන් මලුත් තිබ්බ. නවාතැනින් දුන්නු විශිෂ්ට සේවයට ස්තූතියි කියල එතැනින් සමු අරන් අපි තුන්වැනි දවසෙ සංචාරය ඇරඹුව. මුලින්ම අපි ගියේ ඇල්ල රොක් නගින්න. කකුල් අමාරුව හන්දා අපි කීප දෙනෙක් ඒක උඩට නොනැග්ගත් අපේ කණ්ඩායමේ කීප දෙනෙක්ම කන්ද නැගලා ඡායාරූප මතක ගොන්නක් එකතු කරගෙන ආව ආයිත්. ඒ අසිරිය විඳින්න අපට බැරි උනත් දිවා ආහරය ඇල්ල නගරයෙන් අරගෙන අපි කවුරුත් ඊළඟට ගියා රාවණා ඇල්ල බලන්න. ඊට කලින් ඇල්ල නගරයෙන් කවුරු කවුරුත් තමන්ගෙ අයට සිහිවටන ගන්න අමතක කළේ නෑ. ඇල්ලෙ හොඳ තැන් කිහිපයක්ම තිබුණ ඒ වෙනුවෙන් වෙන් වෙච්ච. අපටත් වඩා ගොඩක් ඒවට ඇලුම් කළේ විදේශිකයන්.
ඇල්ලෙ ඉඳල වැල්ලවාය පැත්තට බස් රථයෙන් කිලෝමීටර් 4 ක් විතර එද්දි ඔබට රාවණා ඇල්ල කොමලිය මුණගැහෙනව. අතිශය රූමත් මේ රූමතිය ඔබට සිසිලස් චුම්බනයන් රැසක් වගේම අලංකාර ඡායාරූප මතකයක් රැසකුත් දෙන බවනම් විශ්වාසයි. පැයක් විතර එතන නෑව අපි. හොඳම ටික තමයි ටිකක් අමාරුවෙන් ලිස්සන ගල් මතින් පරිස්සමට ගිහිං අර වේගෙන් වැටෙන ඇල්ලෙ වතුරට ඇඟ අල්ලන එක. ඒකනං හරියට සම්භාහනයක් වගේ. තත්පරේට ලීටර් සිය ගාණකින් එන වතුර කඳක් ඇඟට වැටෙනව කියන්නෙ. හිතන්න පුලුවන්නෙ. ඒ වගේම මේ නාන තැන ආරක්ෂිතයි. බිම පුරා සම්පූර්ණයෙන්ම තියෙන්නෙ එකම ගලක්. ඒ උනාට මෙතන 34 දෙනෙක් මැරිල තියෙනවලු. ඒ ඇයි..? ගොඩක් අය මැරිල තියෙන්නෙ දිය ඇල්ලෙ උඩට නගින්න ගිහිල්ල වැටිලා. ඒ වගේම වතුර සැර කාලෙට ගහගෙනත් යන්න පුලුවංලු මෙතන. මේ කාලෙනම් වතුර අඩුයිලු. අන්න ඒකයි කියන්නෙ “හැමතැනදිම පරිස්සම් වෙන්න ඕන” කියලා. ඔබ උනත් මේ වගේ තැන් වලට ගියාම ජීවිතේ පරදුවට තියල පරීක්ෂා කිරීම් කරන්න අනවශ්‍ය තැන් වලට යන්නැතුව අවශ්‍ය දේ විතරක් ලබා ගෙන මතකයන් විතරක් එකතු කරගෙන එන්න. නාල ඉවරවෙලා එතන ඉඳගෙනම ඇඟ වේලෙනකම් සින්දුවක් දෙකක් කියන්නත් අපි අමතක කළේ නෑ.
ඉතිං ඊට පස්සෙ අපි එන්න ආව. මතකයන් රැසක් එකතු කරගෙන. ඇත්තටම හොඳ චාරිකාවක් ඒක. විශේෂයෙන්ම කාගෙවත් මග පෙන්වීමක් නැතුව කණ්ඩායමක් විදිහට යනවා කියන්නෙ ඒක අමුතුම අත්දැකීමක්. අපූරු අත්දැකීමක්.
විශ්වාස කරනවනම් විශ්වාස කරන්න ඔබ ඇල්ල නගරයට ෆාමසියක් නෑ. ඉතිං මේ එන දේශීය, විදේශීය සංචාරකයින්ට වගේම, මේ ගමේ මිනිස්සුන්ටත් බේතක් හේතක් ගන්න රජයෙන් හෝ ෆාමසි එකක් දාන්න පුළුවන් නම් එය වටින දෙයක් වෙනවා.
ඒ වගේම ඔබට බලන්න යන්න තව තැන් ගොඩක් ඇල්ල අවට තියෙනවා. රාවණා ගුහාව, රාවණා පන්සල, දෙමෝදර ජටාවක් ලෙස සැදි දුම්රිය මග බලන්න යන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ පරිසරයත් ඔබව සුවපත් කරාවි අමුතුවෙන් කොහේවත් බලන්න කියල නොගියත්.
සුන්දර චාරිකාවක් අවසානයේ 4.20 ට විතර ඇල්ලෙන් බස් එකට නැගල 8.30 ට මාතරට ලඟා වෙන්න අපට පුළුවන්කම ලැබුණා. යද්දි අපි ලඟ නොතිබුණ සොඳුරු මතක රැසක් එද්දි අපි අරගෙන ආව. ඒ හැම මතකයක්ම අපි ලඟ හැමදාටම තියේවි. ඉතින් ඔබත් යන්න ඇල්ල බලන්න ඊළඟ නිවාඩුවට. මතක රැසක් එක්කහු කරගෙන එන්න.
Cover Image Source – travelinceylon.wordpress.com /expeditions.lk
Leave a Reply