නවීන පන්නේ සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් වෙන්නේ මෙහෙමයි!

දැන් ඔක්කොටම කලින් ලිහාගන්න වෙන ප්‍රශ්නේ තමයි, කවුද ඇත්තටම සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් කියන්නේ කියන එකනේ. ඒක ලිහාගත්තට පස්සෙ තමයි එහෙම කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා දැනගන්න වෙන්නේ. හරි, අපි කියමු කොලින්ස් ශබ්දකෝෂේ තියෙන විදියට, සොෆිස්ටිකේටඩ් පිරිමියෙක් හෝ සොෆිස්ටිකේටඩ් ගැහැණියක් කියන්නේ, සමාජයේ විවිධ තැන් වලදී අපහසුවකට පත් වෙන්නෙ නැති, හොඳ සංස්කෘතික බවක් තියෙන, සමාජමය වශයෙන් වැදගත් කියලා සැලකෙන සංස්කෘතිය, විලාසිතා වගේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙන, ඒ නිසාම ආකර්ෂණීය වෙන කෙනෙක් කියලා. ඒ වගේම, මේකත් එක්කම කියවෙන දෙයක් තමයි, මේ සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් බුද්ධිමත් වගේම, සංකීර්ණ අවස්ථාවන් තේරුම් ගන්න පුළුවන් හැකියාවෙන් යුක්තයි කියන එක.

 

හරි, දැන් පැහැදිලියිනේ කවුද සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් කියන්නේ කියලා. ඊලඟට ප්‍රශ්නේ වෙන්නේ කොහොමද සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් වෙන්නේ කියන එක. ආන්න ඒ ගැන තමයි අපි මේ හොයාබලන්න යන්නේ!

 

 

1. භාෂාව හදාගමු

 

සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් වෙන්න මූලිකම අවශ්‍යතාවයක් තමයි පුළුල්, ලස්සන වාග්කෝෂයක් තියෙන එක. පැහැදිලි වුණේ නැද්ද? දැන් හිතලා බලන්න එක එක මිනිස්සු කතා කරන විදි ගැන. සාමාන්‍යයෙන් හොඳ දැනුවත් කමක්, උගත්කමක් තියෙන, බුද්ධිමත් භාවයක් තියෙන මනුස්සයෙක් කතා කරන විදියේ සහ ඒ තරම් බුද්ධි මට්ටමක නැති කෙනෙක් කතා කරන විදියේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා නේද? බුද්ධිමත් මනුස්සයෙක් කතා කරන වචන බොහොම සුමටයි. මොන භාෂාවෙන් කතා කළත්, එහෙම කෙනෙක්ට ඕන දෙයක් ගැන කියන්න පැහැදිලි, ලස්සන වචන තියෙනවා. ඒ කතා කරන භාෂාව බොහොම ආචාරශීලීයි, විනීතයි. ඒ වගේම, එහෙම කෙනෙක් සාමාන්‍ය කතාබහකදී අශ්ශීල හරි ග්‍රාම්‍ය හරි වචන පාවිච්චි කරන්නෙත් නෑ, ආන්න ඒ විදියට භාෂාව හදාගන්න එක තමයි මූලික කාරණාව. ඒකට ඉතින් හිතලා මතලා කතා කරන්න පුරුදු වෙන්න ඕන. කියවන්න, අලුත් වචන ඉගෙන ගන්න, භාෂාව ඉගෙන ගන්න ඕන.

 

 

2. දැනුම හදාගමු

 

සාමාන්‍යයෙන් සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් එක්ක මොන තලයකදී මොන දෙයක් ගැන කතා කළත්, ඒ ඕනම දෙයක් ගැන ව්‍යක්තව සහ දැනුවත්ව අදහස් දක්වන්න සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ට පුළුවන් කම තියෙනවා. ඒකට හේතුව සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් රටේ ලෝකේ බොහොමයක් දේවල් ගැන දැනුවත්ව හිඳීම. මෙතනදී අපිට මේ ලෝකේ තියෙන හැමදෙයක්ම ඉගෙන ගන්න බෑ. ඒකට අපිට කාලෙකුත් නෑ. හැබැයි අපිට පුළුවන් රටේ ලෝකේ සිද්ධ වෙන දේවල් හොයලා බලලා ඒ ගැන අප්ඩේට් වෙලා ඉන්න සහ ඒවා ගැන අවශ්‍ය පසුබිම් දැනුම ලබාගන්න. ඒකට හොඳ ක්‍රමයක් තමයි නිව්ස්, පත්තර, නිව්ස් වෙබ්ස් එහෙම බලන එක. ඒ වගේම, අදාළ දේවල් ගැන ඔන්ලයින් හරි විස්තර හොයලා කරලා දැනගෙන ඉන්න එක.

 

 

3. සාවධාන වෙමු

 

සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් ඇත්තටම කාමරේක කතාවෙන හැම මාතෘකාවටම අදාළව දේවල් දැනගෙන ඉන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් කවදාවත් පැන පැන කතා කරන්න, වෙන කතා කරන කෙනෙක්ට බාධා කරන්න, තමන්ට අවධානය ගන්න මහ හයියෙන් කෑ ගහන්න යන්නෙ නෑ. සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් ගොඩක් වෙලාවට සාවධානව ඇහුම්කන් දෙනවා. ඊට පස්සේ තමන්ට කතා කරන්න අවශ්‍ය තැනදී අනික් කෙනා කතා කරලා ඉවර වුණහම ආචාරශීලීව අවස්ථාව ඉල්ලගෙන, තමන්ගේ අදහස් කෙටියෙන් සහ රසවත්ව ඉදිරිපත් කරනවා. සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් ඔහේ මයික් එක අහුවුණු මයික් ටයිසන් කෙනෙක් වගේ තමන්ම කතා කරමින් ඉන්නෙත් නෑ කියන එක තමයි ඒ කිව්වේ. තමන් කතා නොකරන වෙලාවට බොහොම සාවධානව අනික් කෙනාට ඇහුම්කන් දෙන හැකියාවත් සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ට හොඳටම තියෙනවා.

 

 

 

4. සෝෂල් ස්කිල්ස් පුරුදු වෙමු

 

ඇත්තටම උඩ කියපු කතාබහකදී සාවධානව ඇහුම්කන් දීම, ආචාරශීලී වීම, තමන්ට කතා කරන්න අවස්ථාව ආචාරශීලීව ලබාගැනීම වගේ දේවල් සෝෂල් ස්කිල්ස්. ඒ ඇරෙන්න තව සෝෂල් ස්කිල්ස් තියෙනවා. කෙනෙක් එක්ක කතා කරනකොට හැසිරෙන, ඇස් දිහා බලන විදිය. විරුද්ධ ලිංගිකයෙක්ට ආචාරශීලීව සලකන ආකාරය, තමන්ට විනයානුකූල හැසිරීමක් තිබීම, තමන්ගේ ගමන බිමන, හිටගෙන ඉන්න විදිය, ඉඳගෙන ඉන්න විදිය වගේ දේවල් මනා කොට තිබීම, හොඳ සිනහවක් වගේ ගොඩක් දේවල් සෝෂල් ස්කිල්ස් ඔස්සේ හදාගන්න පුළුවන්. ඇත්තටම මේ දේවල් හදාගන්න පුළුවන් තමන්ටම තමයි. ඒවා ප්‍රැක්ටිස් කරන්න හොඳ විදියක් තමයි කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන්ම ඒ දේවල් කරලා කරලා හදාගැනීම. අන්තිමට ඒක පුරුද්දක් වෙනකල්ම ප්‍රැක්ටිස් කරන්න.

 

 

5. සෝෂල් ගේම්ස් පුරුදු වෙමු

 

සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ට මෙන්න මේ කියන සෝෂල් ගේම්ස් එකක් දෙකක් හරි පුළුවන් වීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔය චෙස් වගේ ක්‍රීඩාවක්, කාඩ් කුට්ටමෙන් කරන පෝකර්, බ්ලැක්ජැක් වගේ ජනප්‍රිය ක්‍රීඩාවක් දෙකක් එහෙම දැනගෙන හිටියට වරදක් නෑ. කාඩ් කුට්ටමෙන් හත්වාසි බලන්න, ඕමි ගහන්න එහෙම නං ගොඩක් අය දන්නවනේ. ඒවගේ කාඩ් ක්‍රීඩා වුණත් දැනගෙන ඉන්න එක වටිනවා. වෙන එකක් තියා සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ට කාඩ් ට්‍රික්ස් කීපයක් වුණත් දැනගෙන ඉන්න එක වටිනවා. ඇත්තටම මේ විදියේ සෝෂල් ගේම්ස් වල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඕන වෙන්නේ අදාළ මොහොතක තවත් අය එක්ක සෙල්ලම් කරන්න මේ ගේම්ස් වල මූලිකාංග සහ මූලික උපායයන් දැනගෙන ඉන්න එක තමයි.

 

 

6. තමන්ගේ බජට් එක ඇතුළේ කොලිටි වෙමු

 

ඇත්තටම සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ට තමන් අඳින පළඳින විදියේ වැදගත්කමත් හොඳට තේරෙනවා. අන්න ඒ නිසා, එහෙම සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් තැනට සුදුසු විදියට අඳින්න පළඳින්න දන්නවා. ඒ වගේම, තමන්ගේ බජට් එක ඇතුළේ පුළුවන් උපරිම කොලිටියක් එක්ක ඇඳුම් පැළඳුම් සහ තමන් පාවිච්චි කරන අනික් දේවල් හසුරුවා ගන්නත් සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් දන්නවා. උදාහරණයක් විදියට ගත්තොත්, කොලිටියෙන් අඩු බ්‍රෑන්ඩඩ් නැති ඇඳුම් පහක් ගන්නවට වඩා, කොලිටිය හොඳ බ්‍රෑන්ඩඩ් එක ඇඳුමක් ගන්න එක වටිනවා කියලා සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් දන්නවා. ඒ වගේම, සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් තමන්ගේම කියලා ඉමේජ් එකකුත් ඒ කොලිටිය ඇතුලේම නිර්මාණය කරගන්නවා. ආන්න එතකොට සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ට බොහොම ආත්ම විශ්වාසයකින් සමාජයේ හැසිරෙන්නත් පුළුවන් වෙනවා.

 

 

7. මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්ත වෙමු

 

මෙන්න මේක සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ගෙන් දකින්න පුළුවන් බොහොම වැදගත් ගුණාංගයක්. මේක බුදුහාමුදුරුවොත් කියපු දෙයක්. ඒ තමයි, මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න කියන එක. සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක් කට්ටිය බොන්න සෙට් වෙන තැනකදී වුණත්, තමන්ගේ කොන්ට්‍රෝල් එක තියාගන්න පුළුවන් මධ්‍යම ප්‍රමාණයෙන් එහාට අම්මා මුත්තා කිව්වත් බොන්නෙ නෑ. කන්න ගියහම වුණත් සාගත කාරයෙක් වගේ පිස්සුවෙන් කන්නෙ නෑ. කතා කරන්න ගියහම වුණත් මද පමණට කතා කරනවා මිසක් කැඩිච්ච රේඩියෝ එකක් වගේ කියෝ කියෝ ඉන්නෙ නෑ. එතකොට අඩු තරමින් හිනාවෙන්න ගියහම පවා සිත් ගන්නා සුළු විදියට මඳ පමණට මිසක්, හක හක ගගා හිනාවෙන්නෙ නෑ. ඇත්තටම සොෆිස්ටිකේටඩ් මනුස්සයෙක්ගේ තියෙන මේ මධ්‍යම ප්‍රතිපදා ගුණය වගේම, ස්වයං පාලනයෙන් යුක්ත වීමත් බොහොම සිත් ගන්නා සුළුයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *