නත්තලත් ලඟ ලඟම එනවා. මේ සීතල කාලෙට වගේම උත්සව කාලෙට විශේෂයෙන්ම කතෝලික ජනතාව අතර ප්‍රසිද්ධ වයින් වර්ග ටිකක් හදාගන්න හැටි කියලා දෙන්නම්. කල් යන්න යන්න රස වැඩි වෙන වයින් නත්තල ඇරුණු කොට මංගල උත්සව වලටත් ඕනෙ වෙනවා. ඒ වගේම ස්වයං රැකියාවක් විදිහටත් කරන්න පුළුවන්.
1. තැඹිලි වයින්
අවශ්‍ය ද්‍රව්‍ය
- තැඹිලි වතුර ලීටර් 3ක්
- සීනි කිලෝ 1 1/4
- කරදමුංගු 7-8
- කරාබුනැටි 7-8
- කුරුඳු පොතු
- ඊස්ට් තේ හැඳි 2 1/2
- දෙහි ගෙඩි 3ක යුෂ
- මුලින්ම කියන්න ඕනේ ස්ටීල් මිශ්‍ර භාජන නම් කොයිම වෙලාවකවත් පාවිච්චි කරන්න බෑ මේ වැඩේට.
- මුලින්ම ලා රස්නෙ වතුර මිලිලීටර් 200ක් වගේ අරගෙන ඒකට ඊස්ට් හා සීනි තේ හැඳි 3ක් කලවම් කරලා දිය කරලා පිපෙන්න තියන්න.
- තැඹිලි වතුර වලට සීනි කිලෝ 1ක් දියකරගන්න.
- තලාගත්තු කරදමුංගු, කරාබුනැටි, දෙහි යුෂ, ඊස්ට් එක්ක කලවම් කරලා තැඹිලි වතුරට දාගන්න. මැටි මුට්ටියකට මේ තැඹිලි වතුර ටික දාලා හොඳට රෙදි කෑල්ලකින් කට ගැට ගහලා සති 2ක් පැහෙන්න තියන්න.
සති 2කට පසු
- රෙදි කෑල්ලක් හරි ෆිල්ටර් පේපර් එකක් හරි පාවිච්චි කරලා පෙරාගන්න. ෆිල්ටර් පේපර්ස් නම් වඩාත් හොඳයි.
- දැන් මේක බෝතල් වලට දාලා හෙලවෙන්නෙ නැති වෙන්න සතියක් තියන්න. මන්ඩි අඩියට බැහැලා තියනවා පෙනෙයි. මන්ඩි මික්ස් නොවෙන්න ආයෙම පෙරාගන්න. දැන් පුනීලයකට පුළුන් හිර කරලා වරකට බිංදුවක් වගේ වැටෙන්න පෙරන්න දාන්න.දැන් සීනි ග්‍රෑම් 100ක් වගේ අරන් කැරමල් කරලා වයින් එකට දාගන්න. කැමති නම් තව පාරක් පෙරන්න. කල් යන්න යන්න තමයි සැර වැඩි වෙන්නෙ.
2. ලොවි වයින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලොවි ගෙඩි 50ක් පමණ
- සීනි
- කුරුඳු පොත්තක්
- කරදමුංගු 5-6
- ඊස්ට් තේ හැඳි 1
- වතුර කෝප්ප 4
- කැරමල් එකට සීනි ග්‍රෑම් 100
- ලොවි ගෙඩි ටික හොඳ හෝදලා අතින් පොඩි කරලා ඇට අයින් කරන්න. දැන් ලොවි ටික ආයෙම හෝදලා ඒ ටික වීදුරු බෝතලේකට හරි භාජනයකට හරි දාගන්න.
- මේකට තලාගත් කරදමුංගු, කුරුඳු පොතු කෑල්ලත් එකතු කරන්න.
- දැන් ඊස්ට් වලට සීනි තේ හැන්ඳක් දාලා ලා රස්නෙ වතුර ටිකක් දාලා පිපෙනකල් තියලා ඒක එකතු කරගන්න. වතුර කප් 4ත් එකතු කරගන්න.
- මේකට සීනි කෝප්පයකුත් එකතු කරන්න. දැන් මේක කලවම් කරලා සීනි රස බලන්න. මදි වගේ නම් තව සීනි ටිකක් දාගන්න.
- මේක හෙලවෙන්නෙ නැති වෙන්න දවස් 4ක් වහලා තියන්න. ඊලඟට දවස් 5ක් දවසෙ එකම වෙලාවක ඇරලා ලී හැන්ඳකින් කලවම් කරලා වහන්න. දවස් 10ක් වගේ යනකොට පැහෙන ගතිය අඩුවෙලා යනවා.
- ඊට පස්සෙ කැරමල් එක හදාගන්න. ඒකට සීනි ග්‍රෑම් 75ක් හොඳටම ඇති. දැන් වයින් ටික පෙරාගෙන සෙලවෙන්නෙ නැති වෙන්න තියලා මන්ඩි යටට බැස්සම පරිස්සමට කැරමල් දාපු බෝතල් වලට පූනිලයකින් පෙරාගන්න. දැන් මේක දවස් 21ක් තියල පාවිච්චි කරන්න පුළුවන්.
3. ඇපල් වයින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් ගෙඩි 6-7
- සීනි ග්‍රෑම් 500
- වතුර ලීටර් 1
- කරදමුංගු ඇට 6-7
- කරාබු නැටි 6-7
- දෙහි ගෙඩියක යුෂ
- ඊස්ට් තේ හැඳි 1
- ඇපල් පොතුත් එක්ක පොඩියට කපලා වතුර එකතු කරල ලිපේ තියලා උතුරවන්න.
- දැන් මේක නිවුනම දවස් 5ක් වීදුරු භාජනයක දාලා වහලා තියන්න.
දවස් 5කට පසු
- ඇපල් වයින් එකට සීනි, තලාගත් කරදමුංගු, කරාබුනැටි, දෙහි යුෂ සහ ඊස්ට් එකතු කරලා දාලා සතියක් පැහෙන්න තියන්න.
- සතියකට පස්සෙ පරිස්සමට පෙරාගන්න. මන්ඩි ටික යටට යන්න තව දවසක් වගේ හොලවන්නෙ නැතුව තියලා පුනීලයකට පුළුන් හිරකරලා පැහැදිලි ද්‍රාවණයක් එනකල් පෙරාගන්න. පාට මදි වගේ නම් සීනි ටිකක් කැරමල් කරලා දාගන්න. මාස 3-4ක් වෙනකොට තමා ඇපල් වයින් වල නියම සැර එන්න ගන්නෙ.
4. මිදි වයින්
අවශ්‍ය ද්‍රව්‍ය
- රතු හෝ කළු මිදි කිලෝ 1
- සීනි කිලෝ 1 1/2
- ඊස්ට් තේ හැඳි 4
- වතුර ලීටර් 3
- කුරුඳු පොතු කැබලි 4-5
- සාදික්කා ස්වල්පයක්
- මිදි වල ඇට අයින් කරලා පොත්ත පිටින්ම බ්ලෙන්ඩ් කරලා යුෂ අරගන්න. වතුර වලට සීනි දාලා දියකරලා උතුරවගෙන නිවෙන්න තියන්න.
- ඊස්ට් වලට සීනි මේස හැන්ඳක් දාලා ලා රස්නෙ වතුර කෝප්ප කාලක වගේ මිශ්‍ර කරලා පිපෙන්න තියන්න.
- මිදි යුෂ වලට සීනි ද්‍රාවණය එකතු කරලා කුරුඳු පොතු හා සාදික්කා එකතු කරන්න. දැන් මේකට ඊස්ට් ටිකත් දාලා මැටි භාජනයකට දාලා රෙදි කෑල්ලකින් කට ගැටගහලා සතියක් පැහෙන්න තියන්න.
- සතියකින් ඒක ඇරලා හැන්දකින් කලවම් කරලා ආයෙම වහලා දවස් 2ක් තියන්න. දැන් මේක ෆිල්ටර් පේපර් හෝ රෙදි කෑල්ලකින් පෙරලා කැරමල් කරන්න. තව ටිකක් පැහැදිලි වෙන්න පුනීලයකට පුළුන් පුරවලා බිංදුව බිංදුව වැටෙන්න වගේ පෙරන්න.
5. අන්නාසි වයින්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් අන්නාසි ග්‍රෑම් 500
- වතුර ලීටර් 1 1/2
- සීනි කිලෝ 1
- ඊස්ට් තේ හැඳි 2
- කරදමුංගු, කරාබුනැටි ඇට 5-6
- වතුරට සීනි කලවම් කරලා ඒක උතුරවලා නිවෙන්න තියන්න.
- අන්නාසි වලට ඊස්ට්, කරදමුංගු, කරාඹු නැටි තලලා සීනි ද්‍රාවණයට එකතු කරලා කලවම් කරගන්න.
- මැටි මුට්ටියක දාලා සති දෙකක් වහලා තියන්න. ඒ අතරතුර දවසකට සැරයක් ලී හැන්දකින් කලවම් කරන්න.
සති දෙකකට පසු
- අන්නාසි ද්‍රාවණය ෆිල්ටර් පේපර් එකකින් හෝ රෙදි කෑල්ලකින් පෙරාගන්න. අන්නාසි කෑලි පොඩි කර මිරිකීම අවශ්‍ය නෑ. දියරය විතරක් ඇති.
- දැන් පුනීලයකට පුළුන් දාලා පෙරලා මන්ඩි බහිනකල් දවසක් තියල බෝතල් වලට මන්ඩි බේරල දාගන්න.
Leave a Reply