ලංකාව හතර කොණ සොයා ඇදෙන කෝච්චි ගමන්

සුද්දෝ ලංකාව හූරගෙන කෑව කියල සමහරු කියනවා. එහෙම හූරං කද්දි කොළඹ ඉඳලා ටිකක් දුර පළාත් හූරන් කන්න දුම්රිය මාර්ග පද්ධතිය පාවිච්චි කළා. සුද්දෝ එයාලගේ උවමනාවට දුම්රිය සේවය, මාර්ග පද්ධතිය බිහි කළා. ඇත්තනෙ ඉතින්, රටක් දියුණු කරලා ඒක වාණිජමය වශයෙන් ඉහළට ගන්න ඕනිම රජයක් කරන්න ඕනි දෙයක් තමයි ප්‍රවාහන පහසුව දියුණු කිරීම. ඒ කාලෙට සාපේක්ෂව සුද්දෝ ඒක ගාණට තිතට කළා. මේ සුද්දා හදපු යකඩ පාරවල්වල දුවන කෝච්චි අද වෙද්දි මුලු ලෝකේම සංචාරකයින් ලංකාවට ගෙන්වාගන්න සමත් වෙලා. ලංකාවට ආසන්න, ලංකාව වගේම දේශගුණය තියෙන රටවල් ගොඩක් තියෙනවා. ඉන්දුනීසියාව, තායිලන්තය, දකුණු ඉන්දියාව, මියන්මාරය, මැලේසියාව ආදී රටවල් දේශගුණයෙන් ලංකාවට සමානයි. ඒත් ලංකාවේ තියෙන සුපිරි දුම්රිය අත්දැකීම ඒ රටවල නැහැ.

 

1. යාල් දේවී

Image Source – youtube.com

උතුරු දුම්රිය මාර්ගය උතුරට තියෙන ප්‍රබලම පිවිසුම් මාර්ගයක්. කොළඹ ඉඳන් කිලෝමීටර දෙසීයකට එහා පැත්තේ තියෙන කිලිනොච්චි, යාපනේ, කන්කසන්තුරය වගේ නගර යා කරන්නේ උතුරු දුම්රිය මාර්ගයයි. මේ උතුරු මාර්ගය වැටී තියෙන්නේ සමතලා බිමක් හරහා. යාපනය කිට්ටුව කලපු පරිසරය උඩින් තමයි දුම්රිය මාර්ගය හැදිලා තියෙන්නේ. වව්නියාවෙන් ඉහළට දුම්රිය පැයට කිලෝමීටර සීයකට ආසන්න වේගෙන් යනවා අලුත හදපු පාර නිසා. කෝච්චියෙන් යාපනේට යෑම කියන්නේ ජීවිතේ එක් වරක් හෝ ගත යුතු අත්දැකීමක්.

 

2. කවදත් තද කැළණිවැලිය

Image Source – e.wikipedia.org

කැළණිවැලි දුම්රිය මාර්ගය කියන්නේ බලධාරීන් හරි හැටි වැදගත්කම අවබෝධ කරගත්තේ නැති මාර්ගයක්. මේ දුම්රිය මාර්ගයේ අතරමග කොළඹ ගොල්ෆ් පිටිය හමුවෙනවා. ගොල්ෆ් පිටිය මැදින් දුම්රිය යද්දි මේ කොළඹද කියලා හිතෙන තරමට නිස්කලංකයි. නාරාහේන්පිට, නුගේගොඩ, කොට්ටාව, පාදුක්ක හරහා අවිස්සාවේල්ලට තියෙන මේ දුම්රිය මග ඉස්සර රත්නපුරයටම තිබිලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් ආරක්ෂා වී ඇති ස්වල්පයක් වූ වන පියස මැදින් මේ දුම්රිය මාර්ගය ගමන් කරනවා. කොළඹ ඇති මුඩුක්කු ජීවිත, ගොල්ෆ් පිටිය සහ ටිකක් පාදුක්ක දිහාට ගියාම කොළඹ පළාතේ සශ්‍රීක කොළපාට භූමිභාග කැළණිවැලි දුම්රියට හමු වෙනවා.

 

3. මූදුබඩ මග

Image Source – Amila Chaturanga

දුම්රිය මාර්ගයක් ඒ තරම්ම මූදට කිට්ටුවෙන් හැදුවේ ඇයි? මේකට හරි උත්තරයක් නෑ. සමහර විට රට ඇතුළට වඩා මූදුකරය ජනාකීර්ණ නිසා එහෙම හදන්නට ඇති. මූදුබඩ මාර්ගයේ යද්දි තවමත් රා මදින්නන් විසින් පොල් ගස් එක්කර තැනූ අතුර සහ අතුරේ යන අය දකින්නට හැකියි. වෙරළ පරිසරයේ තියෙන කඩොලාන, කළපු, මෝය කට ආදියත් මුහුදුබඩ දුම්රියේදි මුණගැහෙනවා. සමාජ අධ්‍යනය පාඩමේ වෙරළබඩ ගැන තියෙන සෑහෙන දේවල් ටිකක් මූදුබඩ දුම්රිය ගමනේදී බලාගන්නට ලැබෙනවා. ගාල්ලෙන් පස්සේ රිවස් එකට යන මූදුබඩ දුම්රිය දැන් මාගම්පුරයට දික්වෙන්න අරං බෙලිඅත්තටත් ගිහින් තියෙනවා.

 

4. උඩරට දුම්රිය මාර්ගය

Image Source – youtube.com

ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තියෙන පාර තමයි උඩරට මාර්ගය. කොළඹ නුවර නම් බස් එකට කලින් දුම්රියෙන් ගමන යනවා. ඒත් බදුල්ලට කොළඹ ඉඳල යන කෙනෙක් දැන් දුම්රියෙන් යනවා අඩුයි දුම්රිය ගමන සෙමෙන් නිසා. මේ සෙමෙන් යන කඳුකර දුම්රිය ගමන සංචාරකයින්ට නම් මාරම ආතල් එකක් දෙන්නේ. ලංකාවේ කඳුකරය මොන තරම් සුන්දරද කියලා බලාගන්න මහ පාන්දරම බදුල්ලේ ඉඳලා කෝච්චියේ නැගලා එන්නට ඕනි. මීදුම් දුමාරය අස්සෙන් ගුප්ත අඳුරු තංගලමලේ අභයභූමිය හරහා කෝච්චිය ඇදෙන්නේ හරියට හොල්මන් දුම්රියක් වගේ.

 

5. හලාවත පුත්තලම පාර

Image Source – elakiri.com

පාන්දරම පුත්තලන් යන කෝච්චියට කොළඹින් නගින්න ඕනි. ජා ඇල, සීදූව, මීගමුව දිහායින් කොළඹ බිල්ඩින් සහිත නාගරික ගතිය අඩුවෙනවා. ඉන් පස්සේ තියෙන්නේ කුරුල්ලන් පියාඹලා යන වගුරු පරිසරයක්. මේ වගුරු බිම් වල කාලයක් මිනිස්සු කසිප්පු පෙරුවා. එක්තරා යුගයක මුලු දුම්රියම කොච්චිකඩේ වගේ සමහර තැන්වල නවත්වලා රියදුරු ඇතුළු පිරිස කසිප්පු ටිකකින් සප්පායම් වෙලා ගියා කියලාත් සමහර පුරාවෘත්තවල සඳහන් වෙනවා.

 

6. පොළොන්නරුව මඩකලපු දුම්රිය මාර්ගය

Image Source – en.wikipedia.org

නිතර අලි ගැටෙන මේ දුම්රිය මාර්ගය ප්‍රධාන මාර්ගයෙන් වෙන්වන්නේ මහවින් සහ ගල් ඔය හංදියෙන්. ඇත්තටම අලි ඉන්න පුළුවන් වනාන්තර කොටස් දුම්රිය ගමනේදි හමු වෙනවා. පායන කාලෙට නම් කාශ්ඨක පරිසරයට උචිත විදියට කටු ගැහිලා නාටුවෙලා තියෙන කැලය වැස්සට කොළපාට වෙනවා. පොළොන්නරු මඩකලපු පාරේ දුම්රියෙන් යද්දි කාලෙකට එළවලු, පළතුරු අරගෙන වෙළෙන්දෝ එනවා. කොළඹ එළවලු පන්සීයක් ගන්න ගාණට ඒ සංචාරක වෙළෙන්දන්ගෙන් එළවලු මල්ලක්ම ගත හැකි. ඊට අමතරව තම්බපු රටකජු, ඉරිඟු එහෙමත් තම්බගෙන, දුම් දමාගෙන දුම්රියට ගේනවා. උඩරට පාරේ වගේ ලොකු කලබලයක් නැති මේ පාරේ කෝච්චි සීට් එකක් පහසුවෙන් අල්ලාගන්න පුළුවන්.

 

7. ත්‍රිකුණාමල දුම්රිය මාර්ගය

Image Source – en.wikipedia.org

පොළොන්නරුව, මඩකලපු යන මගීන් දුම්රිය පසුපස මැදිරි වලත්, ත්‍රිකුණාමලය යන මගීන් දුම්රිය ඉදිරිපස මැදිරි තුළත් රැඳී ඉන්න කියලා කොටුවෙන් රෑ 9.30ට යන නයිට් මේල් දුම්රිය යන්න කලින් එනවුන්ස් කරනවා. ඉස්සරම කාලේ දැන් වගේ දුම්රිය එක එක පළාතට වෙන වෙනම නැහැල්ලු. හංදි වලින් බැහැලා මාරුවෙන්න ඕනලු. ට්‍රින්කො කියන්නේ සුපිරි වැකේශන් ඩෙස්ටිනේශන් එකක්. සංචාරකයො කී දාහක් ආවත් ට්‍රින්කො වල තියන පළල් බීච් එක පුරවන්න ලේසි නැහැ. නිලාවැලි, අරසිමලේ, ඉරක්කන්ඩි ආදී මුහුදු වෙරළ ගණනාවක් ට්‍රින්කො වල තියෙනවා. දුම්රියෙන් ට්‍රින්කො ගියොත් මහන්සිය අඩු නිසා චාරිකාව බොහොම සුව පහසු එකක් කරගන්නට අපිට අවස්ථාව ලැබෙනවා.

 

දුම්රිය සහ සංචාරක සේවාවන්

Image Source – Amila Chaturanga

මේ ගැන අපිම මීට කලින් කියලා ඇති. තවත් අයත් කියලා ඇති. ඒත් ආදායම ගැන, සේවාව ගැන කිසිම හැඟීමක් නැති නිළධාරී, බලධාරී ටිකක් ඉන්න දුම්රිය සේවාව වෙනස් වෙන්නෙ නැහැ. අනුරාධපුර ස්ටේශමේ කෝච්චියේ යන්න සෙනඟ පොදි ගැහිලා ඉද්දි යාපනේ ඉඳලා එන ඉන්ටසිටි එක්ස්ප්‍රස් දුම්රිය ආසන නිකං තියාගෙන කොළඹ යනවා. කොටුවේ නුවර සංචාරකයෝ සිය ගාණක් බදුලු දුම්රියට පොරකද්දි ඒ අයට අලුත් දුම්රියක්, හොඳ සුපිරි සේවාවක් ලැබෙන්නේ නැහැ. සුන්දර ලංකාවක් බලන්න මෙහෙ කෝච්චි හොයාගෙන එන සුද්දන්ට වෙන්නේ අපි එක්ක ඇඹරිලා, තෙරපිලා, ජැක් ගහගෙන නුවර ඉඳන් ඇල්ලට යන්න.

 

රටක් විදියට අපිට ලැජ්ජ හිතෙන සේවා කොලිටිය මොනවා වුනත් සුද්දා දීපු ඒ දායාදය ලාංකික අපිට ආභරණයක්. අතිශය සුන්දර කඳුකර මාර්ගය වගේම අනෙක් පළාත්වලට ඇදෙන දුම්රිය ගමනුත් එකක් දෙකක් ට්‍රයි කරලා බලන්න. විශේෂිත දුම්රිය අත්දැකීමක් ඔයාලට ඒවා තුළිනුත් හමු වේවි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *