තායි ජොයින්ට් එකක් කියලා කියපු ගමන් ඉතින් අපේ අයියලාගේ කට කණේ. හැබැයි මේ කියන්නේ ඒ විදියේ තායි ජොයින්ට් ගැන නෙවෙයි. මේ කියන්නේ නියම විදියේ තායි කෑම වේලක් කන්න නම් යන්න පුළුවන් තැන් කීපයක් ගැන. ඇත්තටම මේ වෙනකොට කොළඹ රටේ විතරක් නෙවෙයි, වෙනත් ප්‍රධාන නගර වලත් ඔය වෙනත් රටවල නියම රසයන් අරගෙන එන විදේශීය රෙස්ටුරන්ට් දකින්න ලැබෙනවා. එතකොට නියම ශ්‍රී ලංකන් රෙස්ටුරන්ට් වල පවා තියෙන මෙනු වල සමහර වෙලාවට ඔය තායි වගේ විදේශීය රටවල කෑම දකින්නත් ලැබෙනවා. හරි, කොහොම වුනත් මේ අපි කියන්න යන්නේ එහෙම ඒවා නෙවෙයි. කෙලින්ම ඔරිමජිනල් ඕතෙන්ටික් තායි කියන්න පුළුවන් රෙස්ටුරන්ට් කීපයක් ගැන. ඇත්තටම හිතලා බලනකොට කොළඹ රටේ දැන් තායි රෙස්ටුරන්ට් වැහි වැහැලා කියන්නත් පුළුවන්. ඒක නරක දේකුත් නෙවෙයි.
1. Quick Thai
ක්වික් තායි කියන්නේ අපි සෑහෙන්න කාලෙක ඉඳන්, ඉඳලා හිටලා තායි කෑමවේලක් රහ බලන්න ආස හිතුණහම යන තැනක්. වැඩේ කියන්නේ පටන් ගත්තු කාලේ වගේම තාම මේ අයගේ කෑම වල කොලිටිය නම් සුපිරියටම තියෙනවා. උස් නැති ලී බංකු සහ මේස එක්ක ක්වික් තායි ඩයිනින් ඒරියා එකත් හරි එක්සොටික් ෆීල් එකක් දෙන විදියට හදලා තියෙන්නේ. ක්වික් තායි මෙනු එක කියවන එකත් යුද්ධයක්. ඇපටයිසර්ස් වලින් පටන් ගත්තහම සැලඩ්, සුප්. රයිස් වර්ග, ෆ්‍රයිඩ් නූඩ්ල්ස් වර්ග, ග්‍රීන් කරි, රෙඩ් කරි, මසාමාන් කරි වල ඉඳලා ස්ටර් ෆ්‍රයි කරපු හෝ ස්ටීම් කරපු අයිටම්ස් බර ගාණක් දක්වා මෙනු එක යනවා. ඒ අතරේ සෙට් මෙනු අයිටම්ස් එහෙමත් වෙනමම තියෙනවා. මෙතන තියෙන අපේ ෆේවරිට් ඩිෂ් එකක් තමයි සීෆුඩ් පඩ් තායි නූඩ්ල්ස් එක.
2. Jack Tree
මීට දශකයකට එකහමාරකට ඉස්සර නම් ජැක් ට්‍රී කියන්නේ බොහොම සුඛෝපභෝගී තැනක් විදියට තමයි අපිට පෙනුනේ. ඒකට එක හේතුවක් වෙන්නේ, ජැක් ට්‍රී එකට කලින් අපි දැකපු මේ අයගේ සහෝදර ඉන්දියන් රෙස්ටුරන්ට් එක, මැංගෝ ට්‍රී එකත් සුඛෝපභෝගී අවන්හලක් වුණු නිසා වෙන්න ඇති. කොහොම වුනත්, කාලෙකට පස්සේ ජැක් ට්‍රී එකට පුරුදු වුනැයින් පස්සේ ඒක තායි කෑම කන්න පැල් බැඳගෙන යන ජොයින්ට් එකක් බවට පත් වුණා. දැන් නම් ජැක් ට්‍රී එකේ ඉස්සර රස පොඩ්ඩක් අඩු වෙලා වගේ. සමහර වෙලාවට ඒකට හේතුව අපි කාලෙකින් නොගියපු නිසාත් වෙන්න ඇති. කොහොම වුනත් ජැක් ට්‍රී ශ්‍රිම්ප් ටෝස්ට් එක නැතිනම් ලෙමන්ග්‍රාස් ලෑම්බ් එක නැතිනම් සීෆුඩ් පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් එක ෆේවරිට් වෙලා තියෙන අපිට කොළඹට මොන තායි රෙස්ටුරන්ට් ආවත් ජැක් ට්‍රී අමතක කරන්න බෑ.
3. Siam House
මෙන්න තවත් අපි දන්න කාලේ ඉඳලම කොළඹ තිබුණු තායි රෙස්ටුරන්ට් එකක්. ඇත්තටම 1993 තමයි සියම් හවුස් එක පටන් අරගෙන තියෙන්නේ. සියම් හවුස් එකේ කෑමත් අපි දන්න කාලේ ඉඳලම එකම විදියට තියෙනවා. ඒ වගේම තායි රෙඩ් කරි එකයි ග්‍රීන් කරි එකයි අපි අත්පොත් තිබ්බෙත් සියම් හවුස් එකෙන් තමයි. සියම් හවුස් එකේත් ඕතන්ටික් තායි ෆුඩ් තියෙන්නේ කිව්වට, සමහරු කියනවා සියම් හවුස් එකේ තායි කෑම පොඩි ශ්‍රී ලංකන් ටච් එකකුත් එක්ක තමයි එන්නේ කියලා. වෙන්නත් පුළුවන්. කොහොම කළත් පරණ පෙනුමට, ඒත් බොහොම ප්‍රිය වඩවන වටපිටාවකින් යුතුව තියෙන සියම් හවුස් එක, ඔය පවුලේ කට්ටිය එක්ක එහෙම ගිහිල්ලා තායි කෑමවේලක් කාලා එන්න කියාපු තැන.
4. Royal Thai
මේක ඇත්තටම සිනමන් ලේක්සයිඩ් හොටෙල් එකේ තියෙන එක රෙස්ටුරන්ට් එකක්. ඒ වගේම කොළඹ තියෙන තායි තානාපති කාර්යාලයෙන් නියම තායි රෙස්ටුරන්ට් එකක් කියන සහතිකය ලැබිලා තියෙන ලංකාවේ එකම තායි රෙස්ටුරන්ට් එකත් රෝයල් තායි කියලා තමයි මේ අය කියන්නේ. හැබැයි ඇත්තටම රෝයල් තායි එකෙන් එක දවසක් හරි කාලා තියෙන කෙනෙක්ට බය නැතුව කියන්න පුළුවන් මේක ඇත්තටම “රෝයල්” තායි අත්දැකීමක් තමයි කියලා. විශේෂ අවස්ථාවක් සමරන්න එහෙම දෙන්නත් එක්ක යන්න සුදුසුම රෙස්ටුරන්ට් එකක් කියලා රෝයල් තායි හඳුන්වන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ රෙස්ටුරන්ට් එකේ වටපිටාව එහෙමත් නියම රාජකීය ගතියෙන් යුක්තයි. අපි මෙතනින් කැමතිම කෑම ගැන කිවුවොත්, ඉස්සෝ සහ රටකජු එක්ක එකතු කරලා හදපු තායි පැපොල් සැලඩ් එක එකක්. සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකත් මරු. ඒකට ග්‍රීන් කරි එකත් එකතු කරගත්තහම බඩ පැලෙන්න කන්න පුළුවන්.
5. Nara Thai
නාරාවඩී ශ්‍රීකර්ණචානා කියන නම අහලා පුරුදුයිද? නැතුව ඇති නෙහ්? ඇත්තටම නාරා තායි එකට ඒ නම ලැබිලා තියෙන්නේ මෙයා නිසා. නාරා තායි එක පටන් ගත්තු පුරෝගාමියෙක් තමයි ඒ. ඇත්තටම නාරා තායි කියන්නේ ලංකාවේ රෙස්ටුරන්ට් එකක් නෙවෙයි. තායි රෙස්ටුරන්ට් ජාලයක ලංකාවේ තියෙන එක ශාඛාවක්. කොහොම වුනත් ඉතින් නියම තායි රස ටෙස්ට් කරලා බලන්න කැමති කෙනෙක් එක දවසක් හරි නාරා තායි එකටත් ගිහින් බැලුවට කමක් නෑ. විශේෂයෙන්ම බෝට් නූඩ්ල්ස් සහ වෙනත් නියම තායි ඩිෂ් වලට නාරා තායි විශේෂයි කියලා මේ අයගේ වෙබ්සයිට් එකේ තියෙනවා. කොහොම වුනත් නාරා තායි කෑම ගැන අපිට තියෙන්නේ මිශ්‍ර අදහස්. එක්කෙනෙක්ට හොඳ වෙනකොට තව කෙනෙක්ට අල්ලන්නෙ නෑ. කොහොම වුනත්, නාරා තායි එකට යනවා නම්, මේ අයගේ සීෆුඩ් ඩිෂ් එකක් මතක ඇතුව රහ බලන්න.
6. Krua Thai by Dao
සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන නියම තායි රෙස්ටුරන්ට් එකක් කියපු ගමන් අපේ ඔලුවට එන්නේ ගණන් වැඩි, සුඛෝපභෝගී පන්නයේ, ඉඩ කඩ තියෙන, තායි විදියට බැරි නං ඉන්දියන් විදියට හරි වටාපිටාව නිර්මාණය කරලා තියෙන රෙස්ටුරන්ට් එකක්නේ. හැබැයි පොඩි කඩ කෑල්ලක පෙනුම තියෙන ජොයින්ට් එකකත් නියම තායි කෑම තියෙන්න පුළුවන්ද? උත්තරේ ඔව්. උදාහරණේ තමයි Krua Thai by Dao. අපේ ඔෆිස් ඉස්සරහා තියෙන තේ කඩේකට වඩා හොඳ පෙනුමක් තියෙන, හැබැයි ඊට වඩා ඉඩකඩ නැති මේ ජොයින්ට් එකේ තියෙන්නේ නියම තායි ස්‍ට්‍රීට් ෆුඩ්. නියම තායි ෆුඩ් කියලා බය නැතුව කියන්න ඇහැකි, මෙතන කරන්නේ තායිලන්ත ජාතිකයෙක් නිසා. මේ කට්ටියගේ ඩම්ප්ලින්ග්ස් වලින් තමයි අපි වැඩේ පටන් ගත්තේ. ෆ්‍රයිඩ් ඩම්ප්ලින්ග්ස් එක අල්ලලා ගියපු පාර අපි කෙලින්ම ස්පයිසි ෆ්‍රයිඩ් රයිස් එකකටම බැස්සා. ෂහ්, මරේ මරු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ!
7. Thai Heritage food truck
අපි කලින් කරපු කොළඹ ෆුඩ් ට්‍රක් ආටිකල් එකෙත් අංක එකටම තිබුණු මේ ස්පොට් එක ගැන තායි කෑම ආටිකල් එක ඇතුළේ කතා නොකරම බැහැ. ඒ නිසා, මේක රෙස්ටුරන්ට් එකක් නොවී ෆුඩ් ට්‍රක් එකක් වුනත්, අපි මේ ලිස්ට් එකටත් Thai Heritage food truck එක ගන්නවා. හෙරිටේජ් හොටෙල් එකෙන් කරන ෆුඩ් ට්‍රක් එකක් වෙන මේ Thai Heritage food truck එකේ තායි කෑම හිතන්න බැරි තරම් සාධාරණ මිල ගණන් වලට තමයි අලෙවි වෙන්නේ. ඒ වගේම හොටෙල් එකකින් කරන නිසාම වෙන්න ඇති, කෑම වල කොලිටියත් ඉතාම හොඳින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි මේ අයගෙන් ගත්තු ප්‍රියතම අයිටම්ස් අතරේ තියෙනවා ග්‍රීන් කරි බීෆ් කොම්බෝ එක, බේසිල් කොළ දාපු කට්ල්ෆිෂ් කොම්බෝ එක සහ පඩ් තායි එක.
මේවලට ගිහින් තියෙන අයට ඕන නම් තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න පුළුවන්. එතකොට අපිටත් ඒ ගැන තව දැනුවත් වෙන්න පුළුවනිනේ.
Leave a Reply