ඔබ ඇසිය යුතුම සුභාවිත ගීතයේ වටිනා ගීත 7ක්

සංගීතය තියෙන්නේ අපේ විඩාබර මනස සුවපත් කරන්නයි. සුභාවිත ගීත සාහිත්‍යයේ ඇති ගීත අතලොස්ස අතුරින් එවැනි ඉතා අලංකාර ගීත රැසක් අපේ ගීත සාහිත්‍යය තුළ තිබෙනවා. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය තමයි එහි සංගීතය ඉතා මිහිරියි. සමහර වෙලාවට එවැනි ගීත ශ්‍රවණයෙන් රෝග පවා සුව කළ හැකි අවස්ථා උදා වෙලා තිබෙනවා. එවැනි සුභාවිත යැයි කිව හැකිවූ සංගීත සාහිත්‍ය ඉතිහාසයක් අප සතුයි. ඒ තුළ කිව යුතු ඕනෑම පුළුල් පරාසයක් වුවත් පද වැල් කිහිපයක් අතර ගොනු වන්නේ අතිශය සෞන්දර්යාත්මකවයි. ඇත්තටම සමහර තැන් වලදී නිර්මාපකයා විසින් ගෙන එන ශෘංගාරය පවා ව්‍යංගය තුළ සඟවා සොබාදහමේ ආදේශකයන් මත ඉදිරිපත් කරන්නේ අතිශය ආකර්ශනීය විදිහටයි. එවැනි ගීත අද පරම්පරාවේ මතකයෙන් ඈත් වෙලා තියන ආකාරය බොහෝ විට දැක ගන්න පුලුවන්. ඔබට ගෙන එන්නේ ඒ වගේ අති විශාල වූ ගී සයුරකින් ගත් පුන්චි උදාහරණ 07ක් පමණයි. අපි ඔබට යෝජනා කරනවා කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අතරතුර මේ වගේ ගීත අහලා යහපත් විවේකයක් උදා කරගන්නා ලෙස.

1. හිම දියවී හිමාලයේ

අමරසිරි පීරිස්ගේ සහ වසන්තා තිලකාංගනීගේ ගීයක් වන මෙය කණට ඉතා මිහිරි තනුවක් සහිත ගීතයක්. පද රචනය ධම්මික බණ්ඩාරගේ වන අතර සංගීතය ඩැනිස්ටර් පෙරේරාගේ යි. සදාතනික ආදරවන්තයන් වූ රාධා සහ ක්‍රිෂ්ණා යොදා ගනිමින් ප්‍රේමයේ හිනිපෙත්තටම නැග ශෘංගාරය පිළිබඳව ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කරනවා. රාධා සහ ක්‍රිෂ්ණා කියන්නේ ඉන්දියානු දේව සංකල්පයක්. මේ ගීතයට ඔබ හොඳින් සවන් දුන්නොත් චිත්ත රූප මවා ගත හැකි ආකර්ෂණීය පද පේළි රැසක් හමු වෙයි. එතරම් ජනතාව අතරට නොගියත් අර්ථ, භාව රසය ප්‍රිය කරනා රසිකයන්ගේ හද බැඳගත් ගීතයක් මේ.

2. දුරු කතර ගෙවාගෙන

කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ ආදරණීය කට හඬින් ගැයෙන මෙම ගීතය නම් ඔබට බොහෝ සමීප ඇති. මෙහි ප්‍රේමවන්තයා ජීවිත සටන ජය ගැනීම සඳහා ගමෙන් පිටමන් වී නගරයට පැමිණි අයෙක්. නමුත් තම පෙම්වතියගේ මතකයන් ඔහුගේ හද පාරවපු නිසා නැවත ගමට ඇය බැලීමට පැමිණෙන්න්නේ ඇයට ද නොකියායි. මේ අවස්ථාවේදී ඇයගේ නෝක්කාඩුව සමනය කරන්න ඔහු දරන ආදරණීය වෑයම ගැනයි මේ ගීතය පුරා කියවෙන්නේ. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දක්ෂ පද රචනයෙන් හා එච් එම් ජයවර්ධනයන්ගේ මියුරු සංගීතයෙන් මෙය හෑඩ වී තිබෙනවා.

3. මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

ප්‍රේමය සෑම විටම විවාහයෙන්ම කෙලවර වන්නේ නෑ. සමහර වෙලාවට නොහිතනා නොසිතනා තැන් වලදී පෙම්වතුන්ට වෙන් වී යන්නට සිදු වෙනවා. එවැනි වෙන් වීමක් හමුවේ විරහ වේදනාවෙන් පෙ‍ලෙන පෙම්වතෙකුගේ ආත්ම කථනයක් මෙයි දිග හැරෙනවා. ගීතය විටෙක වර්තමානය සමඟින්ද තවත් විටෙක අතීතාවර්ජනයක් ලෙසින් ද ලියවී තිබෙනවා. ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන්ද, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් මෙන්ම ගායනයෙන් ද අලංකෘත වූණු මෙම ගීතය ප්‍රේමයේ විරහ වේදනාව විඳි නොවිඳි සැම බෙහෙවින් ඇළුම් කරන්නක්.

4. දම් පාටින්

ආදරය නම් වූ සොඳුරු හැඟීමට පුලුවන් මිනිස්සුන්ගේ දෙනතට කඳුලක් එක් කරන්න. ආදරයේ වියෝගයෙන් ඇතිවන්නා වූ ශෝකය එහිදී ප්‍රබලව මතු වීම ඊට හේතුවයි. දීර්ඝ ගමනක් එකට අත් වැල් අල්ලා පැමිණි පෙම්වතුන් යුවළකගේ වෙන් වීමට පෙර අවසන් හමුවීමේදී එකිනෙකාගේ හැඟීම් බෙදාගන්නා ඉතාම සංවේදී සංසිද්ධියක් මෙහි දිග හැරෙනවා. ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන්ද, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයෙන් මෙන්ම මාලිනී බුලත්සිංහල හා ගුණදාස කපුගේ ගායනයෙන් ද අලංකෘත වූ මෙම ගීතය ප්‍රේමයේ විරහ වේදනාව විඳි නොවිඳි සෑම දෙනෙක්ම ඇළුම් කරන ගීතයක්.

5. නින්ද නැති රැයේ

ප්‍රථම ප්‍රේමයේ බොඳව ගිය සිහිනයට ඔබත් කඳුළු සලා ඇති. ඕනෑම මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතයේ අත්දකින විශේෂ අත්දැකීම් වලින් එකක් ලෙස ප්‍රථම ප්‍රේමය හදුන්වන්න පුළුවන්.
ගුණදාස කපුගේ ශිල්පියානන්ගේ තවත් එක අමරණීය ගීතයක් වන මෙය කිසි දිනක එක් නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කීපයක හැඟීම් මෙලෙස වචන කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසිනුයි. මෙම ගීතය එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා දෙවාරයකදී පටිගත කොට තිබෙනවා.

6. වියෝ වූ පසුවයි දැනෙන්නේ

ප්‍රේමය මනුස්සයෙක්ගේ ජීවිතයකට කෙතරම් මානසික හව්හරණක් ශක්තියක් අභිමානයක් වූවාදැයි දැනෙන්නේ එය විප්‍රයෝගයක් වූ පසුවයි. පෙම් කරන කාලයේ විඳි සිනාවේ සතුට කොයි තරම් නම් සිහිනයක් දැයි හදවතට දැනෙන්නේ ඇසට කඳුළු උනද්දියි. බන්දුල නානායක්කාරවසම්ගේ ප්‍රබල ගී පද රචනයෙන් රෝහණ වීරසිංහගේ ලයාන්විත සංගීතයෙන් හා සුනිල් එදිරිසිංහගේ භාවමය ගායනයෙන් මේ ගීතය හැඩ වී තිබෙනවා. ප්‍රේමයට මෙන්ම ජීවිතයේ සියළුම සබඳතාවයන්ටත් ද මේ යථාර්ථය එලෙසින්ම වලංගුයි.

7. මින්දද හී සර

ඩබ්ලිව් ඩී අමරදේව ශූරීන්ගේ නොමියෙන ගීතයක් වන මෙය සුන්දර ආදරය නිසාවෙන් ප්‍රේමවන්තයෙකු තුල ඇතිවන වේදනාව, ආදරයේ අවිනිශ්චිත හැඟීම මෙන්ම ආදරයේ ප්‍රාර්ථනාවන් ද පිළිඹිඹු කරනවා. මේ ගීය මඩවල එස් රත්නායකයන් විසින් රචනා කර ඇති අතර ආචාර්ය පන්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් හා ගායනය සුසංයෝග වූ අපූර්වතම ගීයක්. අවබෝධයෙන් ඇහුවොත් මෙය අතිශය සෞන්දර්‍යාත්මක හා සාහිත්‍යමය උපමා වලින් සුපෝෂිත වුණු ගීතයක් කියලා ඔබටම තේරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *