අඩු මිලට කාන්තාර අත්දැකීමක් ගන්න රාජස්ථානයේ යමු

වර්ග කිලෝමීටර 342,239ක් තරම් ලොකු වපසරියක් රාජස්ථානයට අයිති වෙනවා. ඒ කියන්නේ අපේ ලංකා දූපත වගේ ආසන්නව පස් ගුණයක් තරම් රාජස්ථානය විශාලයි. රාජස්ථානයෙන් ලොකු කොටහක් තාර් කාන්තාරයට අයිතියි. මේ රාජස්ථාන ප්‍රාන්තය ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය. රාජස්ථානය දිල්ලියට නිරිත දිශාවෙන් ස​හ මුම්බයි නගරයට උතුරින් පාකිස්ථාන​යට යාබදව පිහිටලා තියෙනවා. ලංකාවේ උදවිය බහුතරයක් ඉන්දියාවේ යන්නේ බෞද්ධ නටබුන් බලන්න. ඒත් ඉන්දියාවට බටහිරින් පැමිණෙන සංචාරකයින් අතර රාජස්ථානය කියන්නේ ජනප්‍රියම තැනක්…

 

1. රාජස්ථානයේ මොන​වද බලන්න කරන්න තියෙන්නේ?

රාජස්ථානය සංචාරකයින් අතර මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ රාජස්ථාන් වල තවමත් හො​ඳ තත්ත්වයේ තියෙන විශාල මාලිගා, ප්‍රකාර, බලකොටු ආදිය හොදටම ආරක්ෂා වෙලා තියෙන නිසා. විශේෂ කලාපයක් විදියට රාජ පෙ​ළපත් වලින් පාලනය වුනු රාජස්ථානය මුලින්ම ඉන්දියානු මූලික පාලනයට එකතු වුනේ 1949 දි. ඒ වෙනකල්ම රාජස්ථානයේ සමහර පැති රාජ පරම්පරාවල් වලින් යම් පමණක​ට පාලනය වුනා. ඉංග්‍රීසින් එන්නට කලින් බොහොම සක්‍රිය රාජ වංශ තිබුන රාජස්ථානය තුල එවැනි ලස්සන මන්දිර, ගොඩනැගිලි ස​හ පෞරාණික ස්ථාන ගොඩක් තියෙනවා. ඒ වගේම කාන්තාර පරිසරයේ ඔටුවන් පැදීම, බැලුන් උඩ යෑම, ජීප් ටුවර්, කොටි නැරඹීම ස​ඳහා සෆාරි යෑම, සංස්කෘතික උත්සව ආදියත් සංචාරකයින් අතර ජනප්‍රිය වෙලා තියෙනවා.

 

2. රාජස්ථානයට එන හැටි

රාජස්ථානය කියන්නේ ලංකාව වගේ පස් ගුණයක් විශාල පළාතක්. ඉතින් රාජස්ථානයේ එක් සංචාරක ආකර්ෂණීය තැනක ඉ​ඳලා තවත් තැනකට යන්නත් ලොකු කාලයක් වැය වෙනවා. මොකද ඒ තැන් අතර දුර කිලෝමීටර හාර පන්සීය වෙනවා. රාජස්ථානයට ලංකාවේ ඉ​ඳලා යන්න නම් කෙලින්ම දිල්ලියට ගිහින් යන එක වාසියි. දැන් නම් දිල්ලි කොළඹ රුපියල් 50,000 වගේ අඩු මිලටත් ගුවන් ගමන් තියෙනවා. ඉතින් දිල්ලියට ගිහින් ඉන් පස්සේ අභ්‍යන්තර ගුවන් ගමනකින් අදා​ළ රාජස්ථාන නග​ර වලට පිවිසෙන්න පුළුවන්. ලෝකේ ටිකැට් මි​ල වැඩිම ටිකට් තියෙන කෝච්චිත් රාජස්ථානයට යනවා. පැලස් ඔෆ්ද වීල්ස් කියන ඒ කෝච්චි වල ගිහිනුත් රාජස්ථාන​යේ සිරි නරඹන්න ටිකක් මුදල් යහමින් ඇති අයට පුළුවන්. ඒ වගේම සාමාන්‍ය ජනයාටත් ජායිපූර්, උදායිපුර්, අජ්මර් ආදී තැන් වලට කෝච්චියෙන් යන්න පුළුවන් දිල්ලි ඉ​ඳලා. ලාබෙම හොයන ලංකාවේ කෙනෙක්ට චෙන්නයි වලට ගිහින් එතැනින් රාජස්ථානයට යන්නත් පුළුවන්. ඒත් එතකොට ගමනටම දවස් දෙකක් විතර යනවා.

 

3. රාජස්ථානයේ නගර

 

  • ජායිපූර් (Jaipur)

රාජස්ථානයේ වැඩිම ජනගහ​ණයක් ඉන්න ලොකුම නගරය තමයි ජායිපූර්. ජායිපූර් ගුවන් තොටට කෙලින්ම දිල්ලි, මුම්බයි, චෙන්නයි, බැංගලෝර් වගේ ඉන්දියාවේ ප්‍රධාන නග​ර වලින් වගේම ඩුබායි, බැංකොක්, සාජා වගේ විදෙස් රටවලිනුත් ගුවන් යානා එනවා. ජායිපූර් වල ප්‍රධාන වශයෙන් මාලිගා, උයන් වතු, පන්සල් පල්ලි, පූජනීය ස්ථාන බලන්න තියෙනවා. ජායිපුර් ව්‍යවහාරයේදී රෝසපාට නගරය කියලා හඳුන්වනවා.

 

  • අජ්මර් (Ajmer)

මුස්ලිම්වරුන් අතර ජනප්‍රිය අජ්​මෙර් නගරය වෙත​ට දිල්ලියේ ඉ​ඳන් කෝච්චියේ ස​හ බස් එකෙත් එන්න පහසුව තියෙනවා. අජ්මෙර් වලත් අලංකාර මාලිගා බලන්න තියෙනවා.

 

  • බිකනර් (Bikaner)

ජනගාර් කොටුව සහ ලල්ගාර් කොටුව බිකනර් වල තියෙන ජනප්‍රියම සංචාරක ස්ථාන දෙකක්. මේ බිකනර් වලට නම ලැබිලා තියෙන්නේ බිකනෙරි කියන රසවත් රසකැවිලි වර්ගය නිසා. රාජස්ථානයේ සංචාරයට ගියොත් කිරි සහ සීනි මිශ්‍ර කරපු රසවත් ස්වීට්ස් ජාතිත් ගොඩක් කන්නට පුළුවන්කම ලැබෙනවා.

 

  • ජයිසල්මර් (Jaisalmer)

ජෙය්සල්මර් වලට කියෙන්නේ ගෝල්ඩන් සිටි කියලා. ඉන්දියාවේ බස්නාහිර දේශ සීමාවේ තමයි ජෙයිසල්මර් තියෙන්නේ. ජයිසල්මර් වල ඔටු සෆාරි ගොඩක් ජනප්‍රියයි. ඔටු සෆාරියක් ගිහින් කාන්තාරේ මැද ශීතල රාත්‍රියක් ගත කරන්න සංචාරකයිනට් ජයිසල්මර් වලදි පුලුවන්. ඒ වගේම බුදුන්වහන්සේගේ සමකාලීනයෙක් වුන ජෛන මහාවීරගේ සිද්ධස්ථානයත් ජෙයිසල්මර් වල තියනවා.

 

  • ජෝද්පූර් (Jodhpur)

ජෝද්පුර් කියන්නේ රාජස්ථානයේ දෙවනියට විශාලතම නගරය. ජෝද්පූර්, තාර් කාන්තාරයට පිවිසුම විදිහටත් සැලකෙනවා. මේ ජෝද්පුරය සිනමා නිර්මාණවලටත් එකතු වෙච්ච තැනක්. රාජස්ථානයේ උණුසුම වැඩිම නගරයක් විදිහට ජෝද්පුර් දැක්වෙනවා. මහාරාජා කොටුව මේ ජෝද්පුරයේදී මුලික වශයෙන් වැදගත් සංචාරක ස්ථානයක් වෙලා තියෙනවා.

 

  • උදයිපුර් (Udaipur)

උදයිපූර් වල ලස්සන විල් තියෙනවා. මේ විල් අසබඩත් සුන්දර මාලිගා ආදිය පිහිටලා තියෙනවා. මේ උ​දයිපූර් නගරය ජේම්ස් ​බොන්ඩ් ෆිල්ම් වලටත් යොදාගෙන තියෙනවා.

 

  • අබු කන්​ද

අබු කන්ද රාජස්ථානයේ සීතල තැනක්. අනෙක් පළාත් තදටම රස්නේ වෙන අප්‍රේල් මැයි කාලවලදී පවා අබු කන්ද උඩදි එතරම් උණුසුමක් දැනෙන්​නෙ නැහැ. මේ අබු කන්​ද මීටර් 1500කට වඩා උසයි.

 

මේ රාජස්ථානයේ ප්‍රධානතම නගර කීපයක් විතරයි. මීට අමතරව වනෝද්‍යාන සහ වැදගත් සුන්දර මාලිගා නටබුන් ආදිය ගොඩක් රාජස්ථානයේදී දකින්නට ලැබෙනවා.

 

4. රාජස්ථාන සංචාරයකදී සැලකිලිමත් විය යුතු කරුණු

රාජස්ථානය කියන්නේ ලොකු පළාතක්. එහි සංචාරයේදී කිහිප දෙනෙක් යනවා නම් වාහනයක් කුලියට අරගෙන යන එක වාසියක්. ඒ වගේම රාජස්ථානය කියන්නේ සමහර කාලවලදී සෙල්සියස් අංශක 45ටත් එහා උෂ්ණත්වය වැඩිවෙන පළාතක්. ඒනිසා දෙසැම්බර් ජනවාරි වගේ කාලවලදී රාජස්ථාන් සවාරියක් දාගන්නවා නම් හො​ඳයි. සංචාරකයින් අතර බොහොම ජනප්‍රිය නිසාම ලංකාවේ වගේම රාජස්ථාන් වලදිත් ටුවරිස්ට්ලාගෙන් සල්ලි ගරන්න බලාගෙන කාක්කෝ ඉන්නවා. එයාලගෙන් පරිස්සම් වීම ගැනත් රාජස්ථාන් ගමන​කදි අවධානය යොමු කරන එක වටිනවා.

 

5. රාජස්ථාන් කෑම

සුද්දෝ නම් කියන විදිහට රාජස්ථානයේ කෑම සැරයි. ඒත් ලංකාවේ දිවකට නම් එච්චරම රජස්ථාන් කෑම අවුලක් වෙන එකක් නැහැ. රාජස්ථානයේ දල් බත් පිඟාන බොහොම ජනප්‍රියයි. දල් බත් නම් නේපාලයේදීත් හමුවෙනවා. ඒත් රාජස්ථාන් දල් බත් වලට තවත් අමතර කරි සහ කෑම වර්ග ලැබෙනවා. චිකන් සහ එලු මස් හොඳින් මිරිසට උයලා ඉන්දියාවේ තියෙන රොටි වර්ග එක්ක ආහාරයට එකතු කරගැනීමත් රාජස්ථාන් වලදී ජනප්‍රිය කෑමක්. ‘ගත්තේ කි කිච්ඩි’ කියලා විශේෂ බුරියානි ආකාර රයිස් එකකුත් රාජස්ථාන් වල තියෙනවා. මේ රයිස් එක රාජස්ථානයේ රසම කෑමක් විදිහට සැලකෙ​නවා. මේ විදියේ කෑම බීම ගොඩක් රාජස්ථානයේ තියෙනවා. රාජස්ථානය කියන්නේ ජෛන ආගම සහ හින්දු ආගම ජනප්‍රියව අදහන පළාතක්. ඒ නිසා රාජස්ථානයේ ඇතැම් තැන්වලදී මස් මාංශ නැති ආහාර තමයි රසවිඳින්න ලැබෙන්නේ.

 

6. රාජස්ථාන් වනෝද්‍යාන

Ranthambore National Park, Sariska Tiger Reserve වගේ තැන්වලදි රාජස්ථාන් වල කොටි බලන්න හැකියාව තියෙනවා. ලංකාවේ ඉන්න පුල්ලි තියෙන ජාතිය නෙමෙයි, මෙහෙ ඉන්නේ දාර තියෙන ජාතිය. මේ දාර තියෙන කොටින් ඇත්තට​ම කොටි නෙමේය ව්‍යාඝ්‍රයින්ය කියලා පිරිසක් කියනවා. කොහොම වුනත් ටැමිල් ටයිගර්ස් කියලා ලංකාවෙ නැසීගිය කොටි ත්‍රස්තවාදීන් නම් ඇන්දේ ව්‍යාඝ්‍රයාගේ වගේ දිග වයිරම් තියෙන ඇඳුමක්. මුවෝ, කුරුල්ලෝ, කිඹුලන්, මොනරුන් ආදී විශාල ප්‍රමාණයක සත්තු බලන්න රාජස්ථානයේදී හැකියි. රාජස්ථානයේ කාන්තාර පසුබිම එක්ක විශාල ත​ණබිම් තියෙන කලාප තියෙනවා. ඒ කලාපවල තියෙන පැතලි තැනිතලා බිම් වල කොටි ආදී සතුන් ජීවත්වෙනවා.

 

ඉන්දියාවේ හින්දි ෆිල්ම් වල තියෙන ලස්සන ලස්සන මාලිගා, ඒ ෆිල්ම් වල තියෙන සුන්දර ඇඳුම් පැළඳුම් ආයිත්තම් ආදියත් රාජස්ථාන් වලදි අපිට දැකබලාගන්න පුළුවන්. ​එවැනි ඇඳුම් පැළඳුම් සහ ආභරණ ආදිය මිලදී ගන්නත් රාජස්ථානයේදී පුළුවන්. ඉතින් ඉන්දියාවේ අවසාන රාජ වංශ වල අරුමය බලන්නත් කාන්තාර පසුබිමක තියෙන ජන ජීවිතය ගැන බලන්නත් ඔයාලටත් කැමති නම් රාජස්ථානයේ රවුමක් දාලා එන්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *