විශේෂ බත් වර්ග 7 ක්

Special rice recipes

Lifie අද ඔයාලට රසම රස බත් වර්ග හතක් හදා ගන්න හැටි කියන්න යන්නේ. විවිධ රසයන්ගෙන් යුතු මේ බත් වර්ග 07 හදලා රස බලන්න කියල ඔයාලට ආරාධනා කරනවා.

01. චිකන් මක්ලුබා බත්

Special rice recipes

අවශ්‍ය ද්‍රව්‍ය:
සම ඉවත් කර ගත් කුකුල් මස් ග්‍රෑම් 750 ක්
වියලි දෙහි හෝ ලුණු දෙහි, හෝ නාරං ගෙඩි 1ක්
බාස්මතී හාල් ග්‍රෑම් 500ක්
රවුමට කපාගත් තරමක් ලොකු වම්බටු ගෙඩි 2 ක්
රවුමට කපාගත් අල ගෙඩි 2ක්
රවුමට කපාගත් තක්කාලි ගෙඩි 2ක්
රවුමට කපාගත් බෙල් පෙපර් 1 ක්
චොප් කරගත් සුදු ලූණු බික් 4-5 ක්
කුරුදු පොතු කැබලි 1ක්
බේ ලීෆ් 1
කහ තේ හැඳි 1/4
මිරිස් කුඩු තේ හැඳි 2 ක්
ලුණු හා ගම්මිරිස් තේ හැඳි 2ක්
තෙල්

චිකන් ස්ටොක් එකට අවශ්‍ය තුනපහ මිශ්‍රණය:
කොත්තමල්ලි මේස හැඳි 3
කුරුදු 2-3
කරාබු නැටි 2-3
සාදික්කා පොඩි ගෙඩි 1
සූදුරු තේ හැඳි 2
සියල්ල එකට ග්‍රයින්ඩ් කර තුනපහ මිශ්‍රණය සාදා ගන්න.

බාස්මතී හාල් විනාඩි 20 ක් පමණ පෙගෙන්න හරින්න.

පෑන් එකකට තෙල් මේස හැඳි දෙකක් පමණ දාලා ඒකට චොප් කරගත් සුදු ළූණු, කුරුදු පොතු, බේ ලීෆ්, මිරිස් කුඩු, සාදාගත් තුනපහ මිශ්‍රණය අස අනුව දාලා හොඳින් බැදෙන්න දෙන්න. එයට ලුණු, ගම්මිරිස්, දාගන්න. ඉන්පස්සේ ඒකට චිකන් ටික දාලා පොඩ්ඩක් පාට වෙනකම් බැදෙන්න දෙන්න. සියල්ල බැදුනු පසු වතුර එකතු කර ගන්න. චිකන් වැහෙන ප්‍රමාණයට වතුර දාන්න. ඒකටම වියළි දෙහි ගෙඩිය, කහ ස්වල්පයක් දමා ඉන්පසු සියල්ල මද ගින්නේ තම්බා ගන්න. චිකන් එක තැම්බුන පසු චිකන් කෑලි ටික බෝල් එකකට දාගන්න.ඉතිරි වන ස්ටොක් ටික වෙනම තියාගන්න.රවුමට කපාගත් වම්බටු, අල හොඳින් බැද ගන්න. ඉන්පසු උස පෑන් එකක් ලිප තියලා ඒකට තෙල් ස්වල්පයක් දාන්න.එහි පතුලටම බැදගත් වම්බටු, බැදගත් අලපොති, රවුමට කපාගත් බෙල් පෙපර්, රවුමට කපාගත් ළූණු, රවුමට කපා ගත් තක්කාලි තට්ටු විදිහට අතුරන්න. තම්බාගත් චිකන් අතුරන්න. චිකන් එක උඩින් හාල් දා ගන්න.ඉන්පසු නැවතත් හාල් තට්ටුව උඩින් චිකන්, අල පෙති, වම්බටු පෙති, තක්කාලි දමා ගන්න. නැවත ඉතිරි හාල් ටික දමා එයට චිකන් ස්ටොක් එක දා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ වතුර එකතු කරලා මද ගින්නේ බත් එක පිස ගන්න.මෙම බත් එකේ විශේෂත්වය නම් බත් එක අනික් පැත්ත හරවලා පිළිගන්වන්න ඕනි. ඒ නිසා රවුම් පැතලි පිගානකට බත් එක අනික් පැත්ත හරවලා පිට්ටුවක් වගේ තියන්න. ඔබට අවශ්‍ය නම් එය උඩන් රට කජු, වියළි මිදි, ආදිය දා ගන්නත් පුළුවන්.

02. පොංගල් බත්

Special rice recipes

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:
කැකුළු හාල් ග්‍රෑම් 500 ක්
මුං ඇට ග්‍රෑම් 250 ක්
හොඳින් දියකරගත් හකුරු ග්‍රෑම් 200 ක්
කජු මද ග්‍රෑම් 50 ක් පමණ
එළඟිතෙල් බෝතල් කාලක්
පොල් බෑයක කිරි
මුද්දරස්පලම් ග්‍රෑම් 100ක්
කුඩු කරගත් කරදමුංගු ස්වල්පයක්
අවශ්‍ය ප්‍රමාණයට ලුණු.
ග්‍රේට් කරගත් සාදික්කා කුඩු ස්වල්පයක්

මුං ඇට බැද පියලි කරගන්න. ඉන්පසුව මුට්ටියකට සහල් තැම්බෙන්නටත් එක්කම වතුර තියලා ඒකට එළගිතෙල් හැඳි 1 ක් ද දමා මුං ඇට පියලි මුලින්ම එකතු කර තැම්බාගන්න.මුං ඇට සාමාන්‍ය ප්‍රමාණයට තැම්බුන පසු එයට හාල් එකතු කර ගන්න.එළඟිතෙල් ටිකක් තාච්චියට දාලා කජු, මුද්දරස්පලම් ටික රන්වන් පාට වන තුරු බැද ගන්න.දිය කරගත් හකුරු එකට සාදික්කා කුඩු, කරදමුංගු, එකතු කර ගන්න. හාල් හා මුංඇට තැම්බී දිය සිදීගෙන එනවිට හකුරු, පොල්කිරි, බැදගත් කජු, මුද්දරස්පලම් සහ ඉතිරි එලඟිතෙල් යන සියල්ල දාලා හොඳින් මිශ්‍ර කරන්න.

03. සුල්තානා බත්

 

අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් කිලෝ 1
වියළි මිදි ග්‍රෑම් 500 (සුල්තානා)
බිත්තර 5
මස් හෝ වෙජිටබල් ස්ටොක්
චොප්කරගත් ඉගුරු තේ හැඳි 1
චොප්කරගත් සුදු ළූණු තේ හැඳි 1
සේර කැබැල්ලක්
කුරුදු කැබැල්ලක්
එනසාල් 2-3
කරාබු නැටි 2-3
රම්පෙ
කරපිංච
හීනියට ලියාගත් ළූනු ගෙඩි 1ක්
අවශ්‍ය ප්‍රමාණයට ලුණු

සාස්පානක් ලිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වන විට සුදු ළූණු, ඉගුරු, රම්පෙ, කරපිංචා, ළූණු, සේර, කුරුදු, එනසාල්, කරාබුනැටි, එකතු කර රන්වන් පැහැ වන ලෙස බැදගන්න.දැන් එයට හාල් ද සුල්තානා වලින් කොටසක්ද දමා විනාඩි 8ක් පමණ හොඳින් බැද ගන්න.ස්ටොක් ද එකතු කර පිසගන්න.ඉතිරි සුල්තානා ටික ද වෙනම බැද තම්බා ගත් බිත්තර කැබළි කර මෙයට මිශ්‍ර කරගන්න.

04. ස්පාඤ්ඤ බත්

 

 

අවශ්‍ය ද්‍රව්‍ය:
බාස්මති හාල් ග්‍රෑම් 500 යි
චිකන් / වෙජිටබල් ස්ටොක් කෝප්ප 1 යි
තෙල්

සෝස් එකට:
ලූණු ගෙඩි 1යි
තක්කාලි ගෙඩි 6 ක්
සුදු ළූණු බික් 2-3 ක්
ලුණු

සෝස් එක සාදා ගන්නා ආකාරය:
සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න.

බත් එක පිසගන්න හැකි ප්‍රමාණයේ පෑන් එකක් ලිප තියලා එයට තෙල් හැඳි 3-4 ක් දා ගන්න. තෙල් රත්වන කොට හාල් එකතු කරගන්න. හාල් රන්වන් පැහැ වෙනකම් හොඳින් බැද ගන්න. ඉන්පසු ඒකට සාදා ගත් සෝස් එක දා ගන්න. හොඳින් කලවම් කර එයට ස්ටොක් එක දා ගන්න. මිශ්‍ර කර මද ගින්නේ පිස ගන්න.

05. එළඟිතෙල් බත්

Special rice recipes

 

අවශ්‍ය ද්‍රව්‍ය:
හාල් කිලෝ 1 ක්
ලොකු ළූණු ගෙඩි 2ක්
කරදමුංගු කරල් 8 ක්
කරාබු නැටි 6 ක්
කහ ස්වල්පයක්
වියළි මිදි ග්‍රෑම් 200 ක්
එළඟිතෙල් ග්‍රෑම් 200 ක්
තලාගත් ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්
වතුර හෝ එළවළු ස්ටොක්

බත් එකක් පිස ගන්න පුළුවන් ප්‍රමාණයේ පෑන් එකකට එළඟිතෙල් දමා රත් වෙන්නට හරින්න. එයට ලියාගත් ළූණු ගෙඩි එකක්, තලාගත් ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි, සහ කහ එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න.ඉන්පසු එයට හාල් සහ අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර ගන්න. සියල්ල තෙම්පරාදු වෙන කොට වතුර හෝ ස්ටොක් අවශ්‍ය ප්‍රමාණයට දාගන්න.පෑන් එකකට තෙල් ස්වල්පයක් දාලා වියළි මිදි සහ රවුමට කපාගත් ළූණු ගෙඩි 1ක් හොඳින් බැද ගන්න. පිස අවසන් වූ බත් එකට බැද ගත් වියළි මිදි සහ ළූණු එකතු කර ගන්න.

06. කඩල පරිප්පු බත්

Special rice recipes

අවශ්‍ය ද්‍රව්‍ය:
කීරි සම්බා සහල් ග්‍රෑම් 250 ක්
කඩල පරිප්පු ග්‍රෑම් 250 ක්
රතු ළූණු 150
සුදු ළූණු 2-3
අමු මිරිස් 2
බටර්
තුනපහ තේ හැඳි බාගයයි
සූදුරු තේ හැඳි බාගයක්
කහ තේ හැඳි කාලයි
ලුණු
වතුර

පෑන් එකකට බටර් ටික දා ගන්න.රත්වන කොට සුදු ළූණු, අමු මිරිස්, රට ළූණු, කුඩු කරගත් සූදුරු, කහ, තුනපහ එකතු කර බැද ගන්න.එය⁣ට පරිප්පු, හාල් එකතු කර ගෙන හොඳින් බැද ගන්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කර පිස ගන්න.

07. මැලේ බත්

Special rice recipes

අවශ්‍ය ද්‍රව්‍ය:
එළු මස් හෝ හරක් මස් ග්‍රෑම් 700 ක්
කීරි සම්බා හාල් කිලෝ 1 ක්

මස් එක තම්බා ගැනීමට සඳහා අවශ්‍ය දේවල්:
කරදමුංගු කරල් 5ක් යම්තමට තලා ගන්න
කරාබු නැටි කරල් 4ක්
අඟල් දෙකක පමණ කුරුදු පොතු කැබැල්ලක්
කොත්තමල්ලි කොළ මිටක්
කහ කුඩු තේ හැඳි එකක්
ලුණුකුඩු තේ හැඳි එකක්
ගොරකා කැබලි දෙකක්
දෙකට පලාගත් අමුමිරිස් කරල් 5 ක්
ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
කොත්තමල්ලි කුඩු තේ හැඳි දෙකක්
සූදුරු කුඩු තේ හැඳි භාගයක්
හතරට කපා ගත් තක්කාලි ගෙඩි දෙකක්

බත් එක සාදා ගැනීමට අවශ්‍ය දේවල්:
මාගරින් කෝප්ප භාගයක්
කරදමුංගු දෙකක්
කරාබු නැටි එකක්
ලියාගත් ළූණු ගෙඩි දෙකක්
කරපිංචා කොළ දහයක්
කුරුඳු පොතු පොඩි කැබැල්ලක්
ලුණු කුඩු තේ හැදි තුන් කාලක්

ඩෙකරේට් කර ගැනීමට:
රන්වන් පාටට බැඳ ගත් ලුනු ටිකක්
රන්වන් පාටට බැදගත් කජු මද ටිකක්

මස් එක තම්බා ගන්න අවශ්‍ය දේවල් සියල්ල සාස්පානකට දමා වතුර කෝප්ප 4ක් දමා හොඳින් මිශ්‍ර කර මදගින්නේ තම්බා ගන්න. මස් තැම්බෙනකොට හරි රස සුවඳක් එනවා. ඒ සුවඳ එන වෙලාවට ලිපේ දැල්ල අඩු කරලා තියන්න.තම්බාගත් පසු මස් ටික වෙනම බෝල් එකකට දා ගන්න.ස්ටොක් එක වෙනමම තියා ගන්න.හාල් ටික හොඳින් සෝදා දිය බේරෙන්නට තියන්න.වෙනම බත් පිසින සාස්පානක් හෝ හෝ රයිස් කුකර් එක ලිප තියන්න.එයට මාගරින් ටික දමන්න.මාගරින් දිය වී ගෙන එද්දී එයට කරදමුංගු කරාබුනැටි කුරුඳුපොතු දමන්න.විනාඩික් පමණ සුවඳ එන්න බදින්න.පසුව ලියාගත් ළූණු ටික දමන්න. රන්වන් පාට එනකන් බැදගන්න.එයට කරපිංචා කොළ ටික දමන්න. තවත් විනාඩියක් විතර සුවඳ එන්න තෙම්පරාදු කරන්න.දැන් සෝදා ගත් හාල් ටික දමන්න. හොඳින් මාගරින් සමග මිශ්‍ර කරන්න. විනාඩියක් තෙම්පරාදු කරගන්න.ස්ටොක් එකත් හාල් එකට දමන්න. වතුර බලන්න.අවශ්‍ය නම් පමණක් වතුර ටිකක් දමන්න. මාගරිනුත් දැම්ම නිසා වතුර වැඩි කර ගන්න එපා. බත් එක පිස ගන්න.
පිස ගත් බත් එක බන්දේසියකට දාලා මස් කෑලි උඩින් දමන්න.ඊටත් උඩින් බැඳ ගත් ළූණු සහ කජු අතුරා ගන්න. රස්නේ පිටම පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *