ලෝකේ තියෙන හරිම අමුතු විදිහේ අවන්හල් 7ක්

සාමාන්‍යයෙන් කෙනෙක් අවන්හලකට යන්නේ තමන් කැමති ආහාරයක් ගන්න හරි, එහෙමත් නැත්නම් ආහාර සම්බන්ධයෙන් අලුත් අත්දැකීමක් ලබන්න හරිනෙ. ඉතින් මේ මොහොත බොහොම නිදහසේ, නිස්කලංකේ වින්දනය කරන එක තමයි අවන්හලකට යන බොහොමයක් දෙනෙක්ගේ බලාපොරොත්තුව වෙන්නේ. හැබැයි මේ විදිහේ අවන්හල් අත්දැකීම්වල​ට අමුතුම මාදිලියේ වෙ​නස්කම් එක් කරන පිස්සු කොර වෙන විදිහේ අමුතු අවන්හල් ලෝකේ පුරා තියනවා. මේවයින් කෑම වේලක් ගන්න එක අමුතුම අත්දැකීමක් වේවි. අපි බලමු ඒ විදිහේ අවන්හල් 7ක් ගැන තොරතුරු.

 

1. හිරබත් කන්න දෙ​න යකාගෙ දූපතේ අවන්හල (Devil Island Prison Restaurant) – චීනය

කාල වරෙන්කො කිවුවලු! මේ අවන්හලට ගිය කෙනෙක්ට සලකන්නේ වැරදි කරලා හිරබත් කන්න නියම වුණු පුද්ගලයො ගාණටයි. මේකට ගි​ය ගමන්ම කරන්නේ අපේ ඇඟිලි සලකුණු ලබා ගන්න එකලු. ඊට පස්සේ හිරකරුවෙක් හැටියට අපිට ලබාදෙන අංකයක් එක්ක අපේ පොටෝ එකක් අරගෙන කෙලින්ම දානවලු හිර කූඩුවකට. අන්න ඒක​ට වෙලා හිරකාරයෙක් හැටියට තමයි අපි​ට මේ අවන්හලේ ආහාර ගන්න වෙන්නෙ. මේ විදිහෙ අමුතු තේමාවකින් මේ අවන්හල පවත්වගෙන යෑමේ අරමුණ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට වැරදි කිරීමේ ප්‍රතිඵල පෙන්නලා දෙන්න කියලයි කියන්නේ.

 

2. ඇමරිකාවේ හාට් ඇටෑක් ග්‍රිල් එක (Heart Attack Grill)

ඇමරිකාවේ ලාස් වේගාස්වල තියෙන මේ අවන්හලේ නමේ හැටියටම හාට් ඇටෑක් හැදෙන අධික කැලරි සහිත ආහාර වේල් තමයි විකුණන්නේ. බයිපාස් බර්ගර්ස් වගේ හාට් ඇටෑක් දෙන නම් වලින් තමයි මේ අවන්හලේ කෑම නම් කරලා තියෙන්නේ. අවන්හල් සේවිකාවන් සරාගී හෙදියන් විදිහට ඇඳ පැළඳගෙන තමයි ආහාර සංග්‍රහ කරන්නේ. ආහාර ගන්න එන උදවියට දෙනවා ලෙඩ්ඩුන්ට අඳින්න දෙන විදිහේ ඇඳුමක්. ආහාරයක් සඳහා කරන ඇනවුමක් හඳුන්වන්නේ බෙහෙත් වට්ටෝරුවක්, එහෙම නැත්නම් prescription එකක් කියලයි. තමන් මිලදීගත්ත අධික කැලරි සහිත ආහාරය ඉවර වෙනකම් කෑවෙ නැත්නම් ​මේකෙ ඉන්න වේටර්වරියකගෙන් පස්ස හරහා පිති ප්‍රහාරයක් එල්ල වෙනවලු (පසු​ව මේ පිත්ත මිලදී ගන්නත් පුළුවන් ඕනෙනම්). මේ අවන්හලේ කෑම අරගන්න එන්නේ වැඩිපුරම මේදය අධික ආහාර ගන්න කැමති තරබාරු උදවිය කියලයි කියන්නේ. සමහරුන්ට ඇත්තටම හාට් ඇටෑක් හැදිලත් තියනවලු මේ අවන්හලේ බරසාර ආහාර වේල් ගනිද්දි.

 

3. මළවුන් සමග තේ වේලක් රසවිඳිය හැකි අහමදාබාදයේ වාසනාවන්ත අවන්හල (New Lucky Restaurant – Ahmedabad)

ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ තියෙන මේ ලකී රෙස්ටූරන්ට් එකේ තේ සහ තවත් කැවිලි වර්ග එහෙම රස විඳින්න පුළුවන් තැනක්. මේ අවන්හල හදලා තියෙන්නේ සුසාන භූමියකයි. අවන්හල ඇතුළේ තියෙනවා මිනී වලවල් 12ක්. මේවා 16 වැනි සියවසේ ජීවත් වෙච්ච සාන්තුවරුන්ගේ මිනී වලවල් කියලයි විශ්වාසය. මේ මිනීවලවල් අසල පුටු මේස තියලයි කන බොන අයට ආහාර සංග්‍රහ කරන්නේ. හැබැයි එහෙම වුණාය කියලා කවුරුත් මෙතනට ඇවිත් තේකක් රස විඳලා කැවිල්ලක් කන්න පැකිලෙන්නෙ නැහැලු. මේ අවන්හලේ හිමිකාරයො කියන්නෙත් මේ මළවුන් නිසා තමන්ට දියුණුවක් මිසක් අවාසියක් නම් වෙලා නැහැ කියලයි.

 

4. තායිවානයේ කක්කි අවන්හල (Modern Toilet Restaurant)

කෑමත් එක්ක කොහෙත්ම ගැලපෙන්නෙ නැහැ කියල හිතෙන විදිහේ තේමාවක් වුණත් මේ අවන්හලත් තායිවානයේ තායිපේ වල හරි ජනප්‍රියයි කියලයි දැනගන්න ලැබෙන්නෙ.  වැසිකිලි පෝච්චි තමයි මේ අවන්හලේ ආසනවලට පාවිච්චි වෙන්නේ. ඒකක් උඩ ඉඳගෙන කෑමක් බීමක් ඇනවුම් කළාම ඒ බොහොමයක් කෑම බීම එන්නෙත් වැසිකිළි පෝච්චි හැඩැති බඳුන් වලට දාලයි. අශූචි වල හැඩයට හදපු අයිස්ක්‍රීම් එකකුත් මේ අවන්හලේ හරි ප්‍රසිද්ධයි. ඒ වගේම බීම වර්ග එන්නේ මුත්‍රා දමන පෝච්චියක් වගේ බඳුනකයි. මේ විදිහේ අමුතුම තේමාවකින් ආවට මොකද මේ තැන කෑම බීම රසයි සහ මිලත් සාධාරණයි කියල තමයි දැනගන්න ලැබෙන්නෙ.

 

5. බියර් නාන්න පුළුවන් චෙක් ජනරජ අවන්හල (Chodovar Brewery and Spa)

වචනාර්ථයෙන්​ම බියර් නාන්න යන්න පුළුවන් තැනක් තමයි චෙක් ජනරජයේ පිහිටි මේ අවන්හල. ​ලෝකයේ බියර්වලට වඩාත් ප්‍රසිද්ධම රට වෙන්නෙත් චෙක් ජනරජයම තමයි. මේ රටේ චොඩොවාර් බෘවරීස් මගින් පවත්වාගෙන යන අරුම පුදුම මේ අවන්හලට යන කෙනෙක්ට පුළුවන් බියර් බාත් එකක ස්නානය කරන්න. සුපිරිසිදු ජලය සහ ඩාර්ක් බියර් එක්කරල හදපු නාන බේසමකට බැහැල බියර් බාත් එකක් ගන්න ගමන් රසවත් පිල්ස්නර් බියර් වීදුරුවක් තොල ගාන්නත් අවස්ථාව තියෙනවා. බියර් බාත් එකෙන් පස්සෙත් තව බියර් වීදුරුවක් තොල ගාන්නට අවස්ථාව හම්බුවෙනවා. නරකම නැහැ නේද අත්දැකීම?

 

6. කළුවරේ ජරමරේ! – Dans Le Noir – එංගලන්තය

එංගලන්ත​යේ තියෙන මේ අපූරු අවන්හලේ තනිකර කළුවරේ තමයි කෑම බීම ගන්න තියෙන්නෙ. අවන්හල ඇතු​ළේ එකම විදුලි බුබුලක්වත් දැල්වෙන්නේ නැහැ. ආලෝකය පතුරුවන්න උපකාරී වෙන ජංගම දුරකථන, ලයිටර්, සිගරට්, ගිනිපෙට්ටි ආදී කිසිම දෙයක් මේ අවන්හල ඇතුළට ගෙනියන්න ඉඩ ලැබෙන්නේ නැහැ. එකිනෙකා​ගේ අත් අල්ලගෙන, වේටර්වරුන්ගේ උදවුවෙන් තමයි ආසනයක් හොයාගෙන, ආහාර ඇනවුම් කරලා කන්න බොන්න තියෙන්නේ. මේ අවන්හලේ වේටර්වරුන් හැටියට සේවය කරන්නෙත් දෘෂ්‍යාබාධිත පුද්ගලයොයි. අන්ධකාරේ අතපත ගාලා කන බො​න එක තරමක් අමාරු කාරි​යක් වුණත් මේ අත්දැකීම මරු කියලයි මේ අවන්හලට ගොඩවැදුණු උදවිය නම් කියන්නෙ.

 

7. වේටර්ලා නැති ජර්මනියේ S baggers අවන්හල

මේක ලෝකයේ තියෙන දුර්ලභ ග​ණයේ ෆුලි ඔටෝමැටික් අවන්හලක්. මේකේ විශේෂත්වය තමයි වේටර්වරු මේ අවන්හලේ නැති එක. ආහාර ගන්න යන පුද්ගලයන්ට තියෙන්නේ මේසය මත තියන ස්පර්ෂ තිරය හරහා ආහාර ඇනවුම් කරන්නයි. ඊට පස්සේ ඒ ඇනවුම මුළුතැන්ගෙට ගිහිල්ලා, ආහාරය පිළියෙල වුණාට පස්සේ ඒක යාන්ත්‍රිකව​ම අදාළ මේසයට එවන්න වෙනමම මාර්ග පද්ධතියකුත් සකස් කරලා තියනවා. හරිම පුදුමයි නේද?