ලංකාවේ වේදිකා නාට්‍යයේ මංසලකුණු 

වේදිකා නාට්‍ය කියන්නේ කාලයක් අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ප්‍රබල භූමිකාවක් ඉෂ්ට කරපු තැනක්. වේදිකා නාට්‍යයට කවදාවත්  සිනමාව තර්ජනයක් වුණේ නැහැ. ඇතැම් වෙලාවට සිනමා නිර්මාණ සඳහා දායක වූ නළු නිළියන්ට ඒ සඳහා දොරටු විවර වුණේ වේදිකා නාට්‍ය හරහා. වේදිකා නාට්‍යවල තිබ්බ මෙම ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වෙන්න පටන් ගත්තේ රූපවාහිනියේ ආගමනයත් එක්ක. අද වෙනකොට වේදිකා නාට්‍ය නරඹන්න පෙළඹිලා ඉන්නේ ඒ සඳහාම උණක් තියෙන අය විතරයි. වේදිකා නාට්‍යවල වර්තමාන තත්ත්වය කතා කරන්න ගිහිල්ලා අපි මාතෘකාවෙන් පිට පැන්නද මන්දා. අපි අද ඔබට කියන්න යන්නේ ලංකාවේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ මං සලකුණු විදිහට සැලකෙන වේදිකා නාට්‍ය කීපයක් පිළිබඳව.

 

1. මනමේ 

පුරාතන නාඩගම් කලාවේ සුප්‍රකට නාඩගමක් ලෙස සැළකෙන මනමේ කතාව උපයෝගී කරගෙන ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් මනමේ නාට්‍යය වේදිකාගත කරනු ලැබුවා. ඒ හරහා ලංකාවේ වේදිකා නාට්‍ය කලාව විප්ලවීකරණයට ලක් වුණා. එදිරිවීර සරච්චන්ද්‍රව දැඩි ලෙස විවේචනය කළ චන්ද්‍රරත්න මානවසිංහ පවා මනමේ නාට්‍යය අතිශයින් අගය කරනු ලැබුවා. අද දක්වාම මනමේ අභිබවා යන්න පුළුවන් වෙනත් වේදිකා නාට්‍යයක් බිහි වුණාද කියන එක ප්‍රශ්නයක් .

 

2. සිංහබාහු 

මනමේ නාට්‍යයට යම්තම් හෝ අභියෝග කරන්න පුළුවන් අනිත් නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ගෙන ආවෙත් ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විසින්මයි. ඒ සඳහා ඔහු භාවිතා කළේ සිංහල ජාතියේ ඉතිහාසය හා සම්බන්ධ සිංහබාහු ප්‍රවාදයයි .නමුත් ඔහු හුදු ඉතිහාස කතාවක් කියනවට එහාට ගිහිල්ලා පිය පුතු ගැටුම සංවේදී ලෙස මෙම කතාවට එක් කිරීමට සමත් වුණා.

 

3. හුණුවටයේ කතාව 

උම්මග්ග ජාතකය තුළ සහ ශුද්ධ වූ බයිබලය තුළ තුළ මෙවැනි ම කථා පුවතක් මුණගැසෙන නිසා හුණුවටයේ කතාවට පාදක වූ මුල් කතාව අපේ රටේ ජනතාවට අතිශය සමීප කතාවක්. නමුත් හෙන්රි ජයසේන මහතා ප්‍රතිනිර්මාණය කළේ සුප්‍රකට ජර්මානු ජාතික නාට්‍යවේදී බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ “The Caucasian  Chalk Circle” නම් නාට්‍යයයි. හෙන්රි ජයසේන මහතාගේ මේ ව්‍යායාමය අතිශයින් සාර්ථක වූ අතර අද පවා හුණවටයේ කතාව නාට්‍යයේ ගීත රසිකයන් අතර ජනප්‍රියයි.

 

4. නරිබෑනා 

දයානන්ද ගුණවර්ධන මහතාගේ උත්සාහය වී තිබුණේ සිංහල නාට්‍ය සම්ප්‍රදායක් බිහි කර ගැනීමයි. ඒ සඳහා ඔහු සිදුකළ විශිෂ්ටතම පර්යේෂණය විදිහට නරි බෑනා නාට්‍යය හඳුන්වන්න පුළුවන්. සිංහල ගැමි කතාවක් ඇසුරෙන් නිර්මාණය කර මෙම නාට්‍ය සඳහා ඇතුළත් කළ ගීත සඳහාද තනුව නිර්මාණය කිරීමට භාවිතා කර තිබුණේ සිංහල ජන කවියේ සහ වන්නම්වල නාද මාලායි. එහි සම්පූර්ණ ගෞරවය සංගීතවේදී ලයනල් අල්ගම ශූරීන්ට හිමිවිය යුතුයි.

 

5. දුන්න දුනු ගමුවේ 

සිංහල වේදිකාවේ ආදරණීය ආඥාදායකයා ලෙස අභිෂේක ලද සුගතපාල ද සිල්වා, “බෝඩිංකාරයෝ”, “තට්ටු ගෙවල්” වැනි  වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ අමරණීය වේදිකා නිර්මාණ රාශියක් සිදු කළා. බොහෝ විචාරකයන් විශ්වාස කරන අන්දමට ඔහුගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය වන්නේ “දුන්න දුනු ගමුවේ” නාට්‍යයයි. 1971 කැරැල්ල  අවසාන භාගයේ දී නිර්මාණය වූ මෙම නිර්මාණයට දේශපාලනය, කලාව සහ වෙළඳ පන්තියේ ගැටුම  මනාව මුසු වී තිබුණා.

 

6. සුභ සහ යස 

සෑම විප්ලවයක්ම අවසාන වන්නේ ප්‍රතිවිප්ලවයකින් ද? යන ප්‍රශ්නය ප්‍රේක්ෂකයා වෙතින් විමසමින් “සුභ සහ යස” වේදිකා නාට්‍යය නිර්මාණය වුණේ සයිමන් නවගත්තේගම අතින්. විශිෂ්ට නවකතාකරුවෙකු සහ විචාරකයෙකු වූ සයිමන් රචනා කළ මෙම නාට්‍ය සඳහා පාදක කර ගැනුණේ මහාවංශයේ සඳහන් ඓතිහාසික පුවතක් වූ නමුත් පිටපත  මගින් එයට සර්වකාලීන අගයක් එකතු කොට තිබුණා.

 

7. ගුරු තරුව

ජයලත් මනෝරත්න මහතාගේ වේදිකා නාට්‍ය නිර්මාණ අතරින් විශිෂ්ටතම නිර්මාණය “තල මල පිපිලා” ද එසේත් නැතිනම් “ගුරු තරුව” ද යන්න පිළිබඳව විවාදයක් පවතිනවා. කෙසේ නමුත් අපි මෙම ලැයිස්තුව සඳහා ගුරු තරුව තෝරා ගත්තේ අද දක්වාම සමාජයක් ලෙස අපට මුහුණ දීමට සිදු වී තිබෙන සාහිත්‍යය මඟහැරීමේ ඛේදවාචකය පිළිබඳව මෙම වේදිකා නාට්‍ය නිර්මාණය හරහා සාකච්ඡාවට භාජනය වන නිසයි.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ලිපියට ඇතුළත් විය යුතු තවත් වේදිකා නාට්‍ය නිර්මාණ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. ඒ තොරතුරු මත මේ ලිපියේ දෙවැනි කොටසක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *