ණය තුරුස් ඉවර කරලා ධනවත් වෙන්න කැමතිද? එහෙමනම් මෙන්න ඩේව් රැම්සේගේ පියවර 7 ක බේබි ස්ටෙප්ස් ප්ලෑන් එක!

දැන් ඔය පුද්ගලික ආර්ථික සැලසුම්කරණය කියන්නේ අහපු ගමන් බර සීන් එකක් වගේ දැනුනට, ඇත්තටම එහෙම නෑ. එතකොට මේ ඩේව් රැම්සේගේ ආර්ථික සැලසුම්කරණයේ පියවර 7 ක බේබි ස්ටෙප්ස් ප්ලෑන් එක කියලා කියන්නේ තමන්ගේ ණය තුරුස් ගෙවලා ඉවර කරලා, ධනවත් වීම කරා පුද්ගලික ආර්ථිකය සැලසුම් කරගැනීම සම්බන්ධයෙන් පියවර හතක ප්ලෑන් එකක් ගැන. දැන් කවුද මේ ඩේව් රැම්සේ කියන්නේ? ඇමරිකාවේ ඉන්න පුද්ගලික ආර්ථික සැලසුම් සම්බන්ධ එක්ස්පර්ට් කෙනෙක්. එයා ඔය සම්බන්ධයෙන් සෑහෙන්න පොත් එහෙමත් ලියලා තියෙනවා. ඉතින් එයා මේ බේබි ස්ටෙප්ස් ප්ලෑන් එක හඳුන්වලා දුන්නා සාමාන්‍යයෙන් කෙනෙක්ට තමන්ගේ පුද්ගලික ආර්ථිකය හරියට කළමනාකරණය කරගෙන, සුරක්ෂිත කරගන්න ක්‍රමයක් වශයෙන්. අපි බලමු මොනවද මේ බේබි ස්ටෙප්ස් ප්ලෑන් එකේ තියෙන්නේ කියලා!

 

01. Step 1: ඩොලර් 1,000ක් හදිසි අරමුදලකට ඉතුරු කරමු.

මේ කියන්නේ අපිට හදිසි අරමුදලක් තියෙන්න ඕන කියන එක. ඒ කියන්නේ හදිසියේ සපත්තු දෙකක් ගන්න ගියහම සල්ලි මදි වුණා වගේ වැඩ වලට පාවිච්චි කරන හදිසි අරමුදලක් නෙවෙයි. මේ අරමුදල තියෙන්නේ බලාපොරොත්තු නොවෙන ජීවිතේ ගැටළුවකදී ප්‍රයෝජනයට ගන්න. දැන් අපි නොහිතන විදියේ දේවල් ජීවිතේට සිද්ධ වෙන්න පුලුවනිනේ. උදාහරණයක් විදියට ලොකු අසනීපයක්. ඒ වගේ දේකට මුදල් යනවා. එහෙම නැතිනම් ලොකු ධන හානියක් වුණු මොහොතක. අන්න ඒ වගේ ජීවිතේ එන දැඩි ගැටළුවකදී ආර්ථිකමය අතින් හයියක් හදාගන්න තමයි මේ ඩොලර් 1,000 අරමුදල තියෙන්නේ. විශේෂයෙන්ම එහෙම ගැටළුවක් ආපු වෙලාවකදී, තවත් ණය වෙන්න සිද්ධ වෙන්නෙ නෑ මෙහෙම අරමුදලක් තිබුණහම. හැබැයි එහෙම දැඩි ජීවන ගැටළුවකදී මේ අරමුදල හරි ඒකෙන් කොටසක් හරි වියදම් වුණොත්, ආයෙමත් හම්බු කරන සල්ලි වලින් ඒ අරමුදල සම්පූර්ණ කරලා තියන්න ඕන.   

 

02. Step 2: ණය ටික ගෙවමු.

ඊලඟට කරන්න ඕන දේ තමයි තමන්ගේ ණය තුරුස් සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කරන එක. ඒ කියන්නේ ඔය යාළුවන්ගෙන් ගත්ත ණය එහෙම, බැංකු වලින් ගත්තු පර්සනල් ලෝන්, එතකොට ක්‍රෙඩිට් කාඩ් ණය එහෙම ගෙවලා ඉවර කරන්න ඕන. හැබැයි  මේ කියන්නේ ඔය ලීසින්, නිවාස ණය වගේ දැවැන්ත ලෙවල් එකේ ණය වර්ග නෙවෙයි. ඒ ගැන අපි පස්සෙ කතා කරනවා. දැන් ඔහොම පොඩි පොඩි ණය තුරුස් සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කරන්න ඕන. දැන් සමහර විට ඔය යාලුවෙක්ගෙන් ගත්තු ණය වලට පොලී ගෙවන්න ඕන නැහැනේ. හැබැයි එහෙමයි කියලා ඒ ණය ඉතුරු කරගන්න එපා. ගෙවලා ඉවරයක් කරන්න. මෙහෙම ණය ගෙවනකොට කරන්න පුලුවන් හොඳ උපක්‍රමයක් තියෙනවා. මතක තියාගන්න අපිට ඕන කරන්නේ ණය එකින් එක ගෙවලා ඉවර කරන්නයි කියන එක. දැන් මුලින්ම අඩුම ණයෙන් පටන් ගන්න. ඒක සම්පූර්ණයෙන් ගෙවලා ඉවර කරන්න ෆෝකස් කරන්න. එතකල් අනික් ණය මුදල් අවම වාරිකය බැගින් ගෙවාගෙන යන්න. දැන් අඩුම ණය ඉවරයක් කළාට පස්සේ, ඊලඟට තියෙන අඩුම ණය ඉවර කරගන්න ෆෝකස් කරන්න. ඔන්න ඔය විදියට අපිට සම්පූර්ණයෙන්ම කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ණය තුරුස් ගෙවලා ඉවර කරන්න පුලුවන්. මේකට කියන්නේ debt snowball ක්‍රමය කියලා.

 

03. Step 3: එදිනෙදා හදිසි අරමුදලක් හදමු.

දැන් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ණය ටික සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවරයි. අපි පටන් ගන්නකොට ඩොලර් 1000 ක අරමුදලක් හැදුවනේ. ඒක තියෙනවා. හැබැයි අපිට තව අරමුදලක් ඕන. ඒ කියන්නේ ඔය එදිනෙදා හදිසියකට ගන්න පුලුවන් අරමුදලක්. සමහර විටක අපි කියමු හදිසියේ ජොබ් එක නැති වුණා කියලා. එතකොට, තව ජොබ් එකක් හොයාගන්නකල් අපිට ඕන කරනවා අපේ වියදම් කවර් කරගන්න මුදලක්. එහෙම නැතිනම් හිතමු ඉන්ෂුවරන්ස් එකෙන් කවර් කරන්න බැරි විදියේ පසුබිමක වාහනේ හැප්පුනා කියලා. එතකොට ඒකට දාන්න මුදලක් ඕන. ආන්න ඒ වගේ හදිසි අවස්ථා වලට තමයි අපි මේ හදිසි අරමුදල හදන්නේ. මතක තියාගන්න, අර මුලින් හදපු අරමුදලයි මේකයි පටලවා ගන්න එපා. මේ එදිනෙදා හදිසි අරමුදල හදන්න කලින් අපි ගණන් හදලා බලන්න ඕන අපේ සාමාන්‍ය මාසික වියදම් කොහොමද කියලා. අන්න ඊට පස්සේ ඒ වගේ මාස තුනත් හයත් අතර ගණනක වියදම මේ අරමුදලේ ඉතුරු කරන්න ඕන. දැන් ඔහොම හදපු මේ එදිනෙදා හදිසි අරමුදල ඔය හදිසියකදී වියදම් වුණොත්, ආයෙමත් ඒ අරමුදල ගොඩනංවන්න ඕන ඊලඟට.

 

04. Step 4: විශ්‍රාම ගැනීමට 15% ක් ආයෝජනය කරමු.

දැන් කුඩා සහ මධ්‍යම ණය ගෙවලා ඉවරයි. හදිසි අවස්ථා සඳහා අරමුදල් දෙකකුත් තියෙනවා. දැන් හිතන්න ඕන විශ්‍රාමය ගැන. අපි හැමෝම එක වයසකට පස්සේ ජොබ් කරන එක නවත්තලා රිටයර් වෙනවනේ. හරි, සමහරු ඉන්නවා විශ්‍රාම යන වයස පැන්නට පස්සෙත්, අවුරුදු හැට හැත්තෑව වුණත් වැඩ කරන අය. ඒක හරි. වයස්ගත කාලෙට අපි වැඩ කරන්නේ අපි ආස හින්දා, අපිට ඕන හින්දා නම් කමක් නෑ. හැබැයි වයස් ගත වෙලත් අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ මිල මුදල් අහේනි නිසා නම්, අන්න ඒක ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මේ අරමුදල අවශ්‍ය වෙන්නේ. සරලවම, මාසිකව අපි උපයන මුදලින් 15% ක් අයින් කරන්න විශ්‍රාම අරමුදලකට. එතකොට ආදායමෙන් මාසික වියදම කවර් කරලා, 15%ක් විශ්‍රාම අරමුදලටත් අයින් කළහම කීයක් වත් ඉතුරු වෙන්නෙ නැති නම්, ආදායම වැඩි කරගන්න ක්‍රම හොයාගන්න ඕන.

 

05. Step 5: ළමයින්ගේ ඉගෙනීමට වෙනම අරමුදලක් හදමු.

මේ ස්ටෙප් එක අදාළ වෙන්නේ දරුමල්ලෝ ඉන්න අයට. දැන් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ණය ගෙවලා ඉවර කරලා, හදිසි අරමුදල් දෙකකටත් සල්ලි අයින් කරලා, විශ්‍රාම ආයෝජනයක් ඉතුරු කරන්නත් පටන් අරගෙන නම් ඉන්නේ, ඉතුරු ටික සැපේ ඉන්න පුලුවන්ද? තාම බෑ. දරුමල්ලොගෙ ඉගෙනීම ගැන හිතන්න ඕන. ඇත්තටම දරුමල්ලොන්ට උරුම හදන්න සල්ලි ඉතුරු කරනවට වඩා, හැම දෙමාපියෙක්ම කළ යුතු දේ තමයි ඒ අයට උපරිම ඉගෙනීමක් ලබාදෙන එක. එතනින් එහාට ජීවිතේ ඒ ගොල්ලෝ හදාගන්න ඕන. අන්න ඒ නිසා, මේ ස්ටෙප් එකේදී ළමයින්ට කොලේජ් ෆන්ඩ් එකක් හදන්න ඕන. ඒ කියන්නේ ලංකාවේ වගේ නම් නිදහස් අධ්‍යාපනය තිබ්බට, ඉගෙනීමට කොහොමත් යන වියදම් තියෙනවා. එතකොට උසස් අධ්‍යාපනය රජයේ විශ්වවිද්‍යාලයකින් ගන්නෙ නැති නම්, එතනත් වියදම් තියෙනවා. ආන්න ඒකටත් තව අරමුදලක් හදන්න ඕන.

 

06. Step 6: නිවාස ණය, වාහන ලීසින් ඉවර කරමු.

හරි, දැන් ජීවිතේ මූල්‍ය කළමනාකරණයෙන් සැලකිය යුතු කොටසක් අවසානයි. දැන් මේ වෙනකොට අරමුදල් කීපයක් නිර්මාණය වෙලා, විශ්‍රාම කාලෙටත් අරමුදලක් නිර්මාණය වෙමින් තියෙන්නේ. දැන් අර කලින් අරමුදල් වලට ඉතුරු කරපු සල්ලි තියෙනවනේ. ආන්න ඒවෑයින් තමන්ගේ තියෙන ලොකු ණය ටික ගෙවන්න ඕන. ඒ කියන්නේ අර මේ තරම් කාලයක් මිනිමම් පේමන්ට් එක ගෙවමින් සර්විස් කරපු නිවාස ණය, වාහන ලීසින් වගේ එව්වා. ඒ කියන්නේ විශේෂයෙන්ම අඩු වෙන පොලියට ගත්තු නිවාස ණය එහෙම තියෙනවා නම්, වැඩි ගණන් වලින් ගෙවන්න පටන් ගන්න. එතකොට මාසිකව සමානව කැපෙන ලීසින් එහෙම තියෙනවා නම්, ඉතුරු වෙන වැඩිමනත් මුදලත් ඒකට දාලා, නියමිත කාලෙට කලින් ණය ඉවර කරගන්න ට්‍රයි කරන්න. ඒකෙන් කොහොම කළත් අපිට ඉතුරුවක් වෙන්න ඕන පොතේ හැටියට.

 

07. Step 7: එතනින් එහාට ධනවත් වෙමින් අනෙක් අයටත් උදව් කරමු!

දැන් හිතන්න, කුඩා ණය, මධ්‍යම ණය සහ ලොකු ලොකු ණය අනං මනං ඔක්කොම ගෙවලා ඉවරයි. ළමයින්ගේ අධ්‍යාපනයට වියදම ගැන බයවෙන්න දේකුත් නෑ. ජීවිතේ සීරියස් හදිසි අවස්ථා සහ එදිනෙදා හදිසි අවස්ථා වලටත් කවර් කරගන්න අරමුදල් දෙකක් තියෙනවා. එතකොට විශ්‍රාම අරමුදලෙත් මේ වෙනකොට සෑහෙන්න ගාණක් එකතු වෙලා, ඉදිරියටත් එකතු වෙමින් තියෙනවා. එතකොට මාසිකව යන වියදම හැරුණහම තව මුදලකුත් ඉතුරු වෙන්න ඕන හරියට ප්ලෑන් කරලා ආදායම උපයනවා නම්. දැන් ඊලඟට මොකද කරන්නේ? ඇත්තටම සම්පූර්ණයෙන්ම කොහේටවත් ණය නැති මනුස්සයෙක්ට තමන් හිතන ඕනම දෙයක් කරන්න පුලුවන්! අන්න ඒක තමයි ලස්සනම කෑල්ල. මෙතනින් එහාට මුදල් ෂුවර් දේවල් වලට ආයෝජනය කරන්න පුලුවන්. එතකොට, ලෝකෙට දෙයක් කරන්න මුදල් යොදවන්න පුලුවන්. ඒ කියන්නේ පිනට දෙන්න කියන එක නෙවෙයි. තමන් වගේම මිනිස්සුන්ට අත හිත දෙන්න පුලුවන් වැඩසටහන් පටන් ගන්න, සුභසාධන කටයුතු පවත්වාගෙන යන්න වගේ දේවල් කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත් තමනුත් ධනවත් වෙමින් ලෝකේ අනික් මිනිස්සුන්ටත් උදව් කරන්න පුලුවන්!

 

දැන් මේ ප්ලෑන් එක දිහා බැලූ බැල්මටම පේනවා, මේක හදලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට නෙවෙයි, ඇමරිකාවේ මිනිස්සුන්ට කියලා. ලංකාවේ වැඩි දෙනෙක්ට ඩොලර් වලින් පඩි ගෙවන්නෙ නැහැනේ. හැබැයි අපිට පුලුවන් මේ ප්ලෑන් එක ලංකාවේ අපිට ගැලපෙන විදියට සීරු මාරු කරගන්න. ලංකාවේ උද්ධමනය දරුණුවට යන මේ දවස් වලදී රුපියල් වලින් අරමුදල් තියාගන්න එක නම් කොච්චර ප්‍රායෝගිකද කියන එකත් හිතන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා ඉතින් මේ ක්‍රමයේ. මේක ලංකාවේ අපිට කොයි තරම් සාර්ථක ක්‍රමයක් වෙයිද? හැමෝටම මේ ක්‍රමය ගැලපෙයිද? තමන්ගේ ආර්ථික නිදහස ලඟා කරගන්න මේක හරියන ක්‍රමයක්ද? ඒ ගැන ලෝකේ තවත් ගොඩක් අය අදහස් දක්වනවා පක්ෂව සහ විපක්ෂව. ඉතින් මේ ඩේව් රැම්සේගේ ආර්ථික සැලසුම්කරණයේ පියවර 7 ක බේබි ස්ටෙප්ස් ප්ලෑන් එක හරියන එකක්ද නැතිද කියන එක ගැන ඔයාලගේ අදහසුත් ඔහොම්මම කියාගෙන යන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *