ඒ කාලෙ නම් “බොමුද සීතල වතුර වීදුරුවක්?” කිව්වම මතක් වෙන්නෙ ගුරුලේත්තුව නැත්නම් මැටි කළයක්. දැන් ඉතින් ෆ්‍රිජ් එකක් නැති ගෙදරක් නැති තරම්. එදා එදා උයන එළවළු ටික, පළා ටික වත්තෙ පිටියෙන් කඩාගත්ත අතීතෙ වගේ නෙවෙයි, කාර්යබහුල ජීවන රටාවක් තියෙන අද කාලෙ. දවස් දෙක තුනකට එකපාර උයල ෆ්‍රිජ් එකේ දානව නැත්නම් සතියකටම ඕන එළවළු මස් මාළු උයන්න ලේසිවෙන්න ලෑස්ති කරල ෆ්‍රිජ් එකට දාගන්නවා.
හැබැයි ඉතින් මෙච්චර වැඩගන්න ෆ්‍රිජ් එක හරියට පාවිච්චි කරන්න දන්නෙ බොහොම සුළු පිරිසක්. හුඟක් අයගෙ ෆ්‍රිජ් එක ඇරියම බල්ලො බත් කන්නෙ නැති තත්ත්වයක් තියෙන්නෙ. පිරිසිදුකමක් නැතිකමයි පිළිවෙලක් නැතිකමයි නිසා ගෙදර මිනිස්සුන්ව ලෙඩ වෙනව විතරක් නෙවෙයි, කරන්ට් බිලත් අහස උසට යනව. ඒ වගේම පිළිවෙලක් නැති ෆ්‍රිජ් එකකින් බඩුවක් හොයාගන්න ගියාම පුදුම විදියට කාලය නාස්ති වෙනව.
ලයිෆි හැක්ස් වලින් අපි අද මේ කියන්න හදන්නෙ කාලය, මුදල වගේම සෞඛ්‍ය රැකගන්නත් ෆ්‍රිජ් එකක් පිළිවෙලකට තියාගන්නෙ කොහොමද කියලයි.
1. මුලින්ම පිරිසිදු කරගන්න
සේරටම කලින් ෆ්‍රිජ් එක ඕෆ් කරල, මුල ඉඳන්ම තට්ටු ගලවල සබන් දාල සෝදල පිරිසිදු කරගන්න. ෆ්‍රිජ් එක ඇතුළත් යන්තම් ඩිශ්වොශ් දාපු ස්පොන්ජ් එකකින් පිහිදල පිරිසිදු කරගන්න.
මෙහෙම පිරිසිදු කරගත්තට ෆ්‍රිජ් එක නිතරම අරින වහන පොඩි දරුවො අතින් වතුර බෝතලයක් වැදිල ඕකෙ තියෙන හොදි භාජනයක් පෙරලෙන්න හැලෙන්න ඉඩ තියෙනවා. ඉතින් කරන්න පුළුවන් හොඳම දේ තමා පිරිසිදු කරපු ෆ්‍රිජ් එකේ තට්ටු වලට ක්ලින්ග් රැප් හරි ප්ලාස්ටික් මැට්ස් හරි දාන එක. එහෙම මොනවහරි හැලුනොත් අයින් කරන්න තියෙන්නෙ ක්ලින්ග් රැප් එක විතරයි. මැට් එකක් නම් ඒක විතරක් අරන් සෝදන්න පහසුයි. සතියකට දෙකකට පාරක් ඒක කරන එක මුළු ෆ්‍රිජ් එකම සුද්ද කරනවට වඩා ලේසියි වගේම කාලය ඉතුරුයි.
2. ප්ලාස්ටික් භාජන
සතියකටම උයල ෆ්‍රිජ් එකට දාන කෙනෙක් හෝ නිතරම ගෙදර රෑට ඉතුරු වෙන හොදි මාළු පහුවදාට ගන්න ෆ්‍රිජ් එකට දාන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන් ප්ලාස්ටික් පෙට්ටි ටිකක් ඕන වෙනව. හොඳට වැහෙන හතරැස් පෙට්ටි ටිකක් ගන්න. අයිස්ක්‍රීම් පෙට්ටි වගේ හතරැස් පෙට්ටි අසුරන්න පහසුයි. සතියකටම උයන කෙනෙක් නම් මයික්‍රොවේව් බොක්සස් ගන්න එක වඩාත් පහසුයි. එහෙම්ම රත් කරගන්න පුළුවන්. පියන හොඳින් වැහෙන භාජන වල හොදි දාන එකෙන් ෆ්‍රිජ් එකේ හොදි සුවඳ රැඳෙන්නෙත් නැහැ වගේම කරන්ට් බිලත් ඉතුරු වෙලා, හොදි වල නැවුම් බවත් රැකෙනව.
3. අධිශීතකරණය මෝචරිය වගේද?
ගොඩක් ගෙවල් වලින් අයිස් කැට දාල වතුර එකක්, බීම එකක් බොන කොට එන්නෙ පිළී ගඳක්. ඒකට හේතුව ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එක නැත්නම් අධි ශීතකරණය පිළිවෙලකට නැතිකම. ෆ්‍රීසර් එක ඇරපු ගමන් මූණට එන ගඳ ගොඩක් ගෙවල් වල ෆ්‍රීසර් වලට පොදුයි.
කලින් වගේම මේකටත් ප්ලාස්ටික් පෙට්ටි ටිකක් තියාගන්න. නැත්නම් සිප් ලොක් බෑග් ටිකක් ගන්න. එක වේලකට හරියන මස් හෝ මාළු ප්‍රමාණය සෝදල වෙන් කරල පෙට්ටියකට හෝ බෑග් එකකට අසුරන්න. හොඳට සීල් වෙන්න පෙට්ටිය හෝ බෑග් එක වහල ෆ්‍රීසර් එකට දාන්න. ගේන ඔක්කොම මස් මාළු ටික දවස ගාණෙ එළියට අරන් අයිස් යන්න තියන්න ඕනත් නෑ, මස් මාළු වල වගේම ෆ්‍රීසර් එකේ නැවුම් බවත් තියාගන්න පුළුවන්.
4. සතියට පාරක් කුණු අයින් කරන්න
ෆ්‍රිජ් එකේ තියෙන්නෙ අවශ්‍යම දේවල් විතරයි කියල කොච්චර හිතුවත් සතියක් දෙකක් යනකොට ඕකෙ වැඩි හරියක් ඉතුරු වෙන්නෙ දවස් ගණන් පරණ පොල් කුඩුයි, ලුණු මිරිසුයි, ඉතුරු වෙච්ච හොදියි තමා. ඒ විතරක් නෙවෙයි නිතර පාවිච්චියක් නැති සෝස් වර්ග, කලරින් බෝතල් වගේ කල් ඉකුත් වෙච්ච පරණ බඩුත් ලංකාවෙ ෆ්‍රිජ් වල නම් නැත්තෙ නෑ. මේ අනවශ්‍ය දේවල් ගොඩ ගැහීමෙන් ෆ්‍රිජ් එකේ ඉඩ අඩු වෙනව විතරක් නෙවෙයි විදුලිය වැයවීමත් වැඩියි. තැලිච්ච තක්කලි, පරණ මාළු මිරිස්, කොළ වේලිලා කළු වෙච්ච කරපිංචා මිටි වගේ අනවශ්‍ය දේවලුත් සතියකට වතාවක්වත් ෆ්‍රිජ් එකෙන් අයින් කරන්න.
5. දැන් බලමු කොහොමද බඩු අසුරගන්නෙ කියල
දොරෙන් පටන් ගමු
ෆ්‍රිජ් එකේ දොරනෙ මුලින්ම අහුවෙන්නෙ. එතනින් පටන් ගමු. බිත්තර අසුරන්න ඉඩක් උඩින්ම තිබ්බට දැන් කියන විදියට ෆ්‍රිජ් එකේ දොරේ බිත්තර තියන එක බිත්තර වල කල්පැවැත්මට සුදුසු නැහැ. ෆ්‍රෙශ් මිල්ක්, චීස්, කිරි අඩංගු බීම, යෝගට් වගේ දේවලුත් ෆ්‍රිජ් එකේ දොරේ තියන එකෙන් නැවුම්ව වැඩි කාලයක් තියාගන්න බෑ. මේ දේවල් ෆ්‍රිජ් එකේ ඇතුළු තට්ටු වලින් තියන්න.
ෆ්‍රිජ් එකේ දොරේ තියන්න පුළුවන් දේවල් තමයි සෝස් වර්ග, බීම වර්ග, වතුර බෝතල් වගේ දේවල්.
එළවළු පළතුරු එකට දාන්න එපා
එළවළු දාන්න තියෙන බකට් එකේ පළතුරුත් දාන්න එපා. පළතුරු බකට් එකට උඩින් තට්ටුවේ අසුරන්න. එළවළු වෙන වෙනම සිප් ලොක් බෑග් වල හෝ පොලිතින් බෑග් වල අසුරගන්න. එක ගොඩේ සේරම එළවළු දාන එකෙන් එළවළු තැලිලා ඉක්මණින් නරක්වෙන්න බලනව.
ෆ්‍රිජ් එකක්ද ප්‍රයිවට් බස් එකක්ද?
ප්‍රයිවට් බස් වල සෙනඟ පටෝනව වගේ බඩු පැක් කරන්න එපා. ඒ කිව්වෙ එකට එකක් ඇලෙන්න තරම් ළං කරල බඩු ගොඩගහන්න එපා. අසුරන බඩු අතර සිසිල් වාතය ගලා යන්න ඉඩක් තියන්න. නැත්නම් ෆ්‍රිජ් එකේ දැම්ම කියල වැඩක් වෙන්නෙ නෑ දේවල් නරක් වෙනව ඉක්මණින්ම.
ඉක්මණට ගන්න දේවල් පේනමානයේ
ඉක්මණට පාවිච්චි කරල ඉවර කරන්න ඕන කිරි ආහාර, හොදි ජාති, වගේ දේවල් ෆ්‍රිජ් එක ඇරිය ගමන් පේන විදියට අසුරන්න නැත්නම් අමතක වෙලා ෆ්‍රිජ් එකේම නරක් වෙලා යනව. ඒකෙන් වෙන්නෙත් අනවශ්‍ය බඩු ගොඩ ගැහෙන එක.
6. කොච්චර සුද්ද කරත් ෆ්‍රිජ් එක අමුතු ගඳයිද?
නිතර පිරිසිදු කරල තියාගත්තත් සමහර වෙලාවට ෆ්‍රිජ් එකේ නැවුම් සුවඳ නැති වෙලා යන්න ඉඩ තියෙනව. මේකට පිළියමක් විදියට බේකින් සෝඩා හෝ කෝපි කුඩු පොඩි තැටියක දාල ෆ්‍රිජ් එක ඇතුළෙ කෙළවරකින් තියන්න. ෆ්‍රිජ් එකේ නැවුම් ගතිය හැමදාම රඳවගන්න පුළුවන්. ෆ්‍රීසර් එකේ පිළීගඳටත් මේක පිළියමක්.
7. මේ දේවල් ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන් කියල දැනන් හිටියද?
ෆ්‍රිජ් එකේ දානව කියල අපි වැඩි දෙනෙක් නොදන්න, හැබැයි දැම්මොත් වැඩි ප්‍රයෝජන ගන්න පුළුවන් දේවල් ටිකක් තමා මේ.
මොයිස්චරයිසර්
මොයිස්චරයිසර් කවුද ෆ්‍රිජ් එකේ දාන්නෙ කියල හිතුනද? රස්නෙට තෙල් වෙච්ච ක්රීම්නෙ ඉතින් ලංකාවෙ අපි වැඩි හරියක් ගාන්නෙ. හැබැයි ඔය ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ තියල ගානව නම් එහෙම වෙන්නෙ නෑ. ඒ වගේමයි රෑට වොශ් එකක් දාගෙන කූල්වෙච්ච ක්‍රීම් ටිකක් ඇඟේ ගෑවම රස්නෙ කාලෙක දැනෙන සහනය.
ඉටිපන්දම්
සමහරු නම් දන්නවත් ඇති මේක. ක්ලින්ග් රැප්/ පොලිතින් නැත්නම් ෆොයිල් වලින් ඉටිපන්දම් ඔතල ෆ්‍රිජ් එකේ තියන්න. වැඩි කාලයක් ඉටිපන්දම් දැල්විලා තියෙනව.
පිටි වර්ග
එකස්පයර් නොවීම පාන් පිටි වගේ පිටි වර්ග නරක් වෙන වෙලාවල් තියෙනව. හුළං වදින්නෙ නැතිවෙන්න හොඳට තදට වැහෙන භාජනේක දාල ෆ්‍රිජ් එකෙන් තියන්න. වැඩි කාලයක් නැවුම්ව තියාගන්න පුළුවන්.
ක්ෂණික කෝපි / චොකලට් පවුඩර්
ක්ෂණික කෝපි නැත්නම් හුඟක් අය පාවිච්චි කරන නෙස්කැෆේ වගේ කෝපි වර්ග ටික කාලයක් යන කොට බෝතලේ තියෙද්දිම හයි වෙලා යනව කියල පාවිච්චි කරන අය දන්නවනෙ. මයිලෝ වගේ චොකලට් පානයන් හදන පව්ඩර් උනත් එහෙමයි. මේවත් ෆ්‍රිජ් එකෙන් තියන්න. හයි වෙන්නෙ නැතුව කුඩු ගතියට නැවුම්ව තියාගන්න පුළුවන්.
නේල් පොලිශ්
“ෆ්‍රිජ් එකේ දැම්මොත් නේල් පොලිශ් ගල්වෙයි කියල හිතුවට ඇත්තටම නේල් පොලිශ් ගල් වෙන්නෙ රස්නෙට. ෆ්‍රිජ් එකේ දාල ඕන තරම් කල් තියාගන්න පුළුවන් ගල් වෙන්නෙ නැතුව.
ධාන්‍ය වර්ග
ආමන්ඩ්, රටකජු, කජු, කඩල, කව්පි වගේ ඇට වර්ග වාතය ඇතුල් නොවන බෝතල් වල දාල හොඳින් වහල ෆ්‍රිජ් එකේ තියන්න. සාමාන්‍යයෙන් එළියෙ තියාගන්න පුළුවන් කාලය මාස තුනයි නම් ෆ්‍රිජ් එකේ ඒ වගේ දෙගුණයක් කල් තියාගන්න පුළුවන්.
8. මේ දේවල් ෆ්‍රිජ් එකේ දාන්න එපා
මේ වෙලාවෙ මේ දේවල් වලින් කීයක් ඔයාලගෙ ෆ්‍රිජ් එකේ තියෙනවද බලන්න. මේව ෆ්‍රිජ් එකේ දාන්න ඕන දේවල් නෙවෙයි.
තක්කලි
එළවළු ගෙනාවම සේරම දාන්නෙ ෆ්‍රිජ් එකටනෙ. හැබැයි තක්කලි වල නියම රසය ගන්න නම් තක්කලි ෆ්‍රිජ් එකේ දාන්න එපා. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියන්න.
කෙසෙල්
කෙසෙල් ඉක්මණට කළු වෙලා යන නිසා වැඩි හොඳට සමහරු කෙසෙල් ෆ්‍රිජ් එකේ දානව. එහෙම දාන එකෙන් කෙසෙල් වල පෝෂණයට හානි වෙන්න පුළුවන්. හොඳින් ඉදිල නැති කෙසෙල් නම් ඉදෙන්නෙත් නැහැ.
මෙන්න මේ පළතුරුත් ෆ්‍රිජ් දාන්න එපා
කෙසෙල් වගේම අඹ, ඇපල්, පීච්, කිවී, කොමඩු වගේ පළතුරු ෆ්‍රිජ් එකේ දාන්න එපා කියන්නෙ ඒවාගේ පෝෂණයට හානි වෙන නිසයි. පළතුරු කන්නෙ රස වගේම පෝෂණය බලාපොරොත්තුවෙන් නිසා මේ ජාති ෆ්‍රිජ් එකේ දාන්න එපා. ඇපල් ගෙඩි භාගයක් වගේ කපපු කොටසක් ෆ්‍රිජ් එකේ දානව නම් හොඳට වැහෙන භාජනේක හරි පොලිතින් කවරෙක ඔතල හරි දාන්න.
අල
සමහරු කල් තියාගන්න කියල අනිත් එළවළු එක්කම අලත් ෆ්‍රිජ් එකට දානව. සීතලට අල වල ඇති කාබෝහයිඩ්රේට් ඉක්මණට ග්ලූකෝස් බවට පත්වෙනව. ඒක සෞඛ්‍යයට හිතකර නැහැ.
මී පැණි
මී පැණි බෝතලේට කූඹි වහනව කියල ඒක ෆ්‍රිජ් එකේ දාන්න එපා. මී පැණි ස්වභාවිකවම කල් පවතින ගුණය සහිත දෙයක්. හොඳම මී පැණි කවදාවත් නරක්වෙන්නෙ නැහැ කියලයි කියන්නෙ. මී පැණි ෆ්‍රිජ් එකට දාන එකෙන් මී පැණි වල අඩංගු ග්ලූකෝස් නිසා මී පැණි ටික හයි වෙන්න බලනව.
Leave a Reply