සාමාන්‍යයෙන් දැන් කාලේ ඔය යාලුමිත්‍රකම් වලට ජොබ් දෙනවට වැඩිය, හැකියාවන් වලට ජොබ් දෙන ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම පුද්ගලික අංශයේ රැකියා දෙනකොට එහෙමයි. ඒ කියන්නේ ජොබ් එක ලැබෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඊලඟ මාස කීපේ ඇතුළත වැඩ පෙන්නන්න ඕන. එහෙම නැතිනම් ඉතින් වෙන ජොබක් හොයාගන්න වෙනවා.
දැන් ඔය ජොබ් එකේ වැඩ පෙන්නනවා කියන්නේ ගොඩක්ම වෙලාවට ඔෆිස් එකක එහෙම නම්, තමන්ට දවසින් දවස නවීන වෙන ලෝකේ ජොබ් වලට හරියන කුසලතාවයන් තියෙනවා කියලා පෙන්නන්න වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දැන් කාලේ තියෙන ඔය ටෙක් පැත්තට බර වෘත්තීන් වල එහෙම නම්, ඔය ටීම් ස්පිරිට් අරව මේවා ඇරුණහම, ටෙක් කුසලතාවයන් එහෙමත් තියෙන්න වෙනවා. අපි මීට කලිනුත් කියලා තියෙනවා දැන් කාලේ වෘත්තිකයෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ඩිජිටල් කුසලතාවයන් කීපයක් ගැන. හැබැයි ඒ විතරක් මදි දැන් යන විදියට. එතනින් එහාට ගියහම අපි මේ අද කියන්න යන කුසලතාවයන්, හැකියාවන් එහෙමත් තියෙන්න ඕන. ඒ නිසා ජොබ් එකක් හොයනවා නම් විතරක් නෙවෙයි, ටෙක් පැත්තට වැඩි බරක් තියෙන ජොබ් එකක ඉන්නවා නම් වුණත්, මේ කියන ටෙක් කුසලතාවයන් තමන් ගාව තියෙනවද කියලා බලලා, නැතිනම් ඉගෙන ගන්න එක හොඳයි. ආන්න එතකොට තමන්ගේ වෘත්තිය ජීවිතේ හිතන විදියටම උඩට යන්න පුළුවන්.
1. ඩිජිටල් මාකටින්
දැන් කාලේ හැම ආයතනයක්ම වගේ ගත්තොත් ඩිජිටල් මාකටින් මත සෑහෙන්න යැපෙනවා. ආන්න ඒ නිසා ඩිජිටල් මාකටින් නැතිනම් ඉන්ටර්නෙට් එක මත පදනම් වුණු මාකටින් ක්‍රම සහ විධි ගැන ඉගෙනගෙන ඉන්න එකත්, ඒ ඔස්සේ සන්නිවේදනය කරන්නේ කොහොමද කියන එක දැනගෙන සිටීමත්, විවිධ ඔන්ලයින් ප්ලැට්ෆෝම් ගැන හොඳ අදහසක් තිබීමත් වටිනවා. හැබැයි මතක තියාගන්න, ඩිජිටල් මාකටින් කිව්වහම දන්නේ ෆේස්බුක් විතරක් නම්, ආන්න ඒක ප්‍රශ්නයක්.
මෙතනදී පොඩ්ඩක් ඩිජිටල් මාකටින් වලට ගැලපෙන්න ලියන්න කියන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේම මූලික ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ ප්‍රඩක්ෂන්, SEO optimization, ඩේටා විශ්ලේෂණ හැකියාව, කොන්ටෙන්ට් මැනේජ්මන්ට් වගේ දේවල් ඉගෙන ගෙන තියන එක හොඳයි. මෙතනදී මේ දේවල් වලට ඒ ඒ ක්ෂේත්‍ර වල ටැලන්ට් එක තියෙන මිනිස්සු ගත්තත්, තමන්ට ඇත්තටම අවශ්‍ය දේ ඒ එක්ස්පර්ට්ලට කියලා කරව ගන්න නම් තමන්ටත් ඒ හැකියාව තියෙන්නම ඕනෑ.
2. ඩේටාබේස් මැනේජ්මන්ට්
ගොඩක් වෙලාවට ටෙක් පැත්තටම බර නැති සමාගම් වල වුණත්, ඩේටාබේස් මැනේජ්මන්ට් කියන්නේ සෑහෙන්න භාරදූර කාර්යයක්. අන්න ඒ නිසා, පොඩ්ඩක් ඒ පැත්ත දැනගෙන ඉන්න එක ඉතාම වටිනවා. මෙහෙම කියනකොට ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ මයික්‍රොසොෆ්ට් එක්සෙල්. ඔව්. එක්සෙල් වල වැඩ කරන්න දැනගෙන ඉන්න එක වටිනවා. හැබැයි ඩේටාබේස් මැනේජ්මන්ට් කියන්නේ එක්සෙල් නෙවෙයි. ඊට වඩා දැනගෙන ඉන්න ඕන ප්ලැට්ෆෝම්ස් තියෙනවා. MySQL, Microsoft SQL Server සහ Oracle ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම දැන් කාලේ සෑහෙන්න භාවිතා වෙන Salesforce Audience Studio, MediaMath, Adobe Audience Manager, Adform, HubSpot, Mobilewalla වගේ ප්ලැට්ෆෝම් වල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක වටිනවා. හැබැයි මේ එක එක ප්ලැට්ෆෝම් අදාළ වෙන්නේ එක එක විදියේ වැඩකටයුතු වලට. ඒ නිසා, තමන්ගේ ක්ෂේත්රයට අදාළ වෙන ප්ලැට්ෆෝම් ගැන දැනගෙන හිටියහම ඇති.
3. ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්
මේකත් ඇත්තටම දැන් කාලේ විදියට ටෙක් කුසලතාවයන් පැත්තට තමයි දාන්න වෙන්නේ. හැබැයි මේක ටෙක් ස්කිල් එකක් වගේම සොෆ්ට් ස්කිල් එකකුත් වෙනවා. මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල හැකියාවන් ගැන කියනකොට මූල්‍ය ආකෘතිකරණය, ටීම් එකේ පර්ෆෝමන්ස් ට්‍රැක් කිරීම, ප්‍රොජෙක්ට්ස් සඳහා නියමිත විදියට කාලසටහන් නිර්මාණය කිරීම, මෘදුකාංග භාවිතයෙන් වඩාත් කාර්යක්ෂමව විසඳුම් සෙවීම, කාල කළමනාකරණය, කණ්ඩායම් මෙහෙයවීම වගේ සෑහෙන්න හැකියාවන් ඒකට අදාළ වෙනවා. කොටින්ම කියනවා නම්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් හැකියාවන් තියුණු වෙන්න තමන් හොඳ නායකයෙක් වීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ හැකියාව අවශ්‍ය වෙන්නේ, තමන්ට කරන්න තියෙන ප්‍රොජෙක්ට්ස්, සාර්ථකව, කාලය පරක්කු කරන්නෙ නැතුව ඩිලිවර් කරන්න තමයි.
4. සයිබර් සෙකියුරිටි
ඉස්සර නං ඔෆිස් එකක සයිබර් සෙකියුරිටි බැලුවේ අයිටී කරන මල්ලි. ආයෙ පාස්වර්ඩ් එක වෙනස් කරගන්නත් අයිටී මල්ලිට තමයි කතා කරන්නේ. හැබැයි ඒක අද කාලේ වෙනකොට සාර්ථක දෙයක් නෙවෙයි. හරි, ඔෆිස් එකක සමස්ත සයිබර් ආරක්ෂාව ගැන වගකීම ගන්නෙත්, ඒ සම්බන්ධයෙන් වැඩ කරන්නෙත් අයිටී ඔෆිසර් තමයි. හැබැයි අද කාලේ වෙනකොට ඔෆිස් එකක සයිබර් සෙකියුරිටි ගැන අපිටත් සෑහෙන්න වගකීමක් තියෙනවා. ඒකට සරලම උදාහරණය තමයි ෆෝන් එකේ වට්ස්ඇප් එකේ හරි ෆේස්බුක් එකේ හරි ඉඳන් ඊමේල් සේවාව දක්වා two step authentication සක්‍රීය කරගැනීම. මොකද, අද හැම ජොබ් එකකම වගේ අදාළ දේවල් කතා කරන්න වට්ස්ඇප් වගේ සේවාවන් භාවිතා වෙනවා. අන්න ඒ නිසා තමන්ට ෆුල් හැකින් ස්කිල්ස් නැතුවට කමක් නෑ. සරලවම තමන් කොහොමද සයිබර් ස්පේස් එකේ ආරක්ෂා වෙන්නේ කියන එක ගැන හොඳ දැනුමක් තිබිය යුතුමයි.
5. කොමියුනිකේෂන්ස්
මේක ආයෙ කොහොමද ටෙක් ස්කිල් එකක් වෙන්නේ කියලා දැන් කෙනෙක් අහයි. ඇත්ත. ඔෆිස් එකක ජොබ් එකකට යනකොට කොහොමත් හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්න ඕනනේ. ආයෙ එහෙම නැතුව කොහොමද ජොබ් එක කරන්නේ? හැබැයි අපි මේ කියන්නේ සමස්තයක් විදියට ගත්තහම තියෙන සන්නිවේදන හැකියාවන් ගැන නෙවෙයි. අපි මේ කියන්නේ ඩිජිටල් බිස්නස් කොමියුනිකේෂන් ගැන. උදාහරණ විදියට ගත්තොත්, ඔෆිස් එක ඇතුළේ සන්නිවේදනය සඳහා තියෙන ඊමේල් හරියට පාවිච්චි කරන්නේ කොහොමද, ටීම්ස් හරි ස්ලැක් හරි වගේ සේවාවක් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන තැන ඉඳලා, ආයතනයේ ගනුදෙනුකාරයෝ එක්ක ඩිජිටල් කමියුනිකේෂන් පවත්වාගෙන යන්නේ කොහොමද කියන තැන දක්වා හොඳ දැනුමක් තියෙන්න ඕන. වෙන එකක් තියා, හරියට කොම්පැණියේ ෆේස්බුක් පේජ් එකට එන මැසේජ් වලට උත්තර දෙන්නේ කොහොමද කියන එක දක්වා හොඳ දැනුමක් තියෙන්න ඕන!
6. වෙබ් ඩිවලොප්මන්ට්
මේක සාමාන්‍යයෙන් වෙබ් ඩිවලොප්මන්ට් නොවෙන ජොබ් එකකට ගන්නකොට තරයේ සළකා බලන කාරණාවක් නෙවෙයි. හැබැයි ඔෆිස් එකක හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න නම්, පොඩ්ඩක් හරි වෙබ් ඩිවලොප්මන්ට් පැත්තේ හැකියාවන් තියෙන එක වටිනවා. ඒ කියන්නේ ඔය HTML මූලික දේවල් දැනගෙන ඉඳීම, CSS කියන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් තිබීම, UX වල මූලිකාංග දැනගෙන සිටීම, UI වගේ දේවල් ගැන අවබෝධයක් ඇතිකර ගැනීම වැදගත්. එතකොට වෙබ් සයිට් එකක මූලික කාරණා, මෙටාඩේටා කියන්නේ මොනවද, මෙටා ඩිස්ක්රිප්ෂන් එකක් ලියාගන්නේ කොහොමද, SEO කියන්නේ මොනවද වගේ කාරණා දැනගෙන ඉන්න එක වටිනවා. ඒ වගේම ඔය ඔන්ලයින් ටූල් එකක් පාවිච්චි කරලා මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට හදිසියට ලෑන්ඩින් පේජ් එකක් එහෙම හදාගන්නේ කොහොමද වගේ දේවල් දැනගෙන ඉන්න එකත් ඉතාම වටිනවා!
7. කොම්පියුටර් 101
ඒ වගේම මුලින්ම කියන්න ඕන වෙලා තිබුණු දේකුත් අපි අන්තිමට කියනවා. ගොඩක් වෙලාවට දැකලා තියෙනවද ඔෆිස් වල කම්පියුටර් එක ස්ටක් වුණහමත් අයිටී මල්ලිව හොයාගෙන යන සේවකයෝ? ඉස්සර නම් ඒවගේ දේවල් ලොකු අවුලක් නෑ. හැබැයි දැන් කාලේ ඒක සෑහෙන්න අවුල්. මොකද, දැන් කාලේ සමාගමක අයිටී ඩිවිෂන් එක තියෙන්නේ සෑහෙන්න ලොකු දේවල් වලට සහ සමස්ත මේන්ටෙනන්ස් වලට මිසක්, කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක් විසඳන්න එතනටයි මෙතනටයි යන්න නෙවෙයි. ආන්න ඒ නිසා, දැන් කාලේ ටෙක් පැත්තේ ජොබ් එකක් තියා ටෙක් නොවෙන ජොබ් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක් වුණත්, පරිගණක සහ තාක්ෂණ මූලිකාංග ඉගෙන ගන්න ඕන. තමන්ට වයි-ෆයි පාස්වර්ඩ් එක දුන්නහම ඔෆිස් එකේ වයි-ෆයි එකට ලොග් වෙන්න දන්නෙ නැති නම්, ප්‍රින්ටර් එක අතපත ගාලා කොහොමද ප්‍රින්ට්අවුට් එකක් දාගන්නේ කියලා දන්නෙ නැතිනම්, ආන්න එව්වා ප්‍රශ්න. ඒ නිසා, තාක්ෂණයේ මූලික කාරණා දැනගෙන ඉන්න එකත් මේකටම අපි දානවා.
දැන් ඇත්තටම මේවා ඉගෙන ගන්නේ කොහෙන්ද? ආන්න ඒක තමයි මෙතන තියෙන හොඳම කාරණාව. මේ ටෙක් කුසලතාවයන් ඉගෙන ගන්න, වැඩිදියුණු කරගන්න පංති හොයන්න ඕන නෑ. අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ ඉගෙනගැනීමේ ආසාව තියෙනවා නම්, ගෙදරම ඉඳන්, නොමිලේ මේවා ඉගෙන ගන්න පුළුවන්. මතකද අපි එක පාරක් කිව්වා වටිනා කියන දේවල් නොමිලේම ඉගෙන ගන්න අන්තර්ජාලයේ තියෙන තැන් ගැන? ආන්න එතනින් පටන් ගත්තා නං හරි!
Leave a Reply