බෝ වෙන ලෙඩවලටත් වඩා ගිනිගෙඩි දෙන්නේ බෝ වෙන්නේ නැති ඒවා තමයි. අද කාලේ බෝ නොවෙන ලෙඩ සෙට් එකක් තියනවා ලංකාවේ අය අතර සෑහෙන ප්‍රසිද්ධ. ඒකක් හැදෙනවා කියන්නෙත් දැන් විලාසිතාවක් වගේ දෙයක්. කොලෙස්ටෙරෝල්, බ්ලඩ් ප්‍රෙෂර්, ෂුගර් වගේ කට කරකෝලා උල් කරලා කියන්න පුළුවන්නේ. ඒ අතරින් ගැස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආමාශයික ප්‍රදාහය කියන්නේ සෑහෙන අවුල් ලෙඩක්. මේකත් විලාසිතා පන්නයේ බෝ නොවෙන ලෙඩක්.
1. ගැස්ට්‍රයිටිස් යනු?
සරලවම කිව්වොත් ආමාශයේ අම්ල ගතිය වැඩි වීම නිසා ඇති වෙන සංකූලතා මේ විදියට හඳුන්වන්න පුළුවන්. මේ ආම්ලික ගතියත් එක්ක කෑම උගුරට එන එක, බඩ පුරවා දැමීම, හිස කැක්කුම වගේ අපහසුතා ඇති වෙනවා. ආමාශයේ තියන අම්ල ආහාර ජීර්ණයට උදව් වෙනවා. ආමාශයේ තියෙන බිත්තිවල මේ අම්ලය නොගෑවී පවතින්න ආරක්ෂක යාන්ත්‍රණයක් තියෙනවා. ඒ යාන්ත්‍රණය අප්සට් වෙලා ගියාම ඔන්න ඔයාටත් ගැස්ට්‍රයිටිස්. හදිසියේම හටගන්නා (Acute Gastritis) සහ කාලයක් තිස්සේ පවතින (Chronic Gastritis) විදියට ගැස්ට්‍රයිටිස් රෝගය කොටස් දෙකයි.
2. ගැස්ට්‍රයිටිස් ඇති වීමට හේතු
ආහාර රටාවේ තියෙන අක්‍රමවත්බව මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙනවා. මව්කිරි බීලා අහවර වුණ දා පටන් අපි ආහාර ගන්නා විදිය ගැන අපේ ශරීරය මීටරෙන් තමයි ඉන්නේ. එතකොට අපේ නිශ්චිත ආහාර වේලාවල් අල්ලලා ආමාශයේ අම්ල නිපැදෙනවා. කෑමක් බඩට වැටුණේ නැත්නම් කෑම නැතුවම අම්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ආමාශයේ බිත්තිවලට හානි සිදු වෙනවා. හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියාවත් ආමාශ බිත්ති ආසාදනය කරනවා. මීට අමතරව දුම්පානය සහ මත්පැන් භාවිතය, මානසික ආතතිය, ඖෂධ අධික ලෙස නොසැලකිලිමත්ව පාවිච්චි කිරීම යන කාරණා මේ සඳහා හේතු වෙනවා.
3. රෝග ලක්ෂණ
බඩ දැවිල්ල, බඩ පිපීම වගේ අපහසුතා ඉස්සෙල්ලාම ඇති වෙන්න ගන්නවා. ඔක්කොමත් හරි කෑම උගුරට එන එකයි, ඇඹුල් රහකින් උගුරෙන් පටන් අරන් කට පුරාම පැතිරිලා තියන එකයි තමයි ඉවසන්නම බැරි. ඒත් එක්කම වමනේ ගතියත් එනවා. තෙල් කෑම, මිරිස් කෑම ගත්තම ශරීරයට පුංචිම හරි අමාරුවක් දැනෙනවා නම් හේතුව ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. හාට් ඇටෑක් එකකදී එන්නෙත් පපුවේ දැවිල්ලක්. ගැස්ට්‍රයිටිස්වලදිත් පපුව රිදෙන්න ගන්නවා. මේ දෙක පටලවා ගන්නේ නැතුව ලිහාගන්නේ මෙන්න මෙහෙමයි. හාට් ඇටෑක් එකකදී රිදිල්ල බෙල්ලටයි වම් අතටයි විහිදෙනවා. හොඳ දාඩිය පාරකුත් දානවා. හැබැයි ගැස්ට්‍රයිටිස්වලදී මේ රිදිල්ලත් එක්ක උදරයේ ගෑස් ගතියක් ඇති වෙනවා පමණයි.
4. රෝගය වළක්වා ගැනීම සහ පාලනය
හරියට ආහාර වේල් ගැනීම තමයි ගැස්ට්‍රයිටිස් ඈතින් තියාගන්න හොඳම විදිය. ඒවා මග හැරෙනවා නම් කිරි වීදුරුවක් බොන්න, එහෙමත් නැත්තම් යෝගට් කෝප්පයක් හරි බඩට දාගන්න ඕනි. එහෙමයි කියලා තෙල් මිරිස් කෑම නම් කන්න එපා රජෝ. විශේෂයෙන්ම උදේ කෑමෙදී හිස් බඩට රෝල්ස් පැටිස් කෑවොත් පෝරියල් එක සෙට් වෙනවා. හොඳින් වතුර බීමත් මෙතෙනට සෙට් වෙන්නේ මෙන්න මේ නිසයි. කලින් කිව්ව ආමාශයේ ආම්ලික ගතිය අඩු වෙනවා වැඩිපුර වතුර පානය කරන එකෙන්. ඒ නිසා හොඳින් වතුර බොන්න. දුම්පානයෙන් සහ මත්වතුරෙන් ඈත් වෙන එක කොහොමත් ශරීර සෞඛ්‍යයට හොඳයි.
5. ගැස්ට්‍රයිටිස් සඳහා ඇති ප්‍රතිකාර
එදිනෙදා පාවිච්චියට වෛද්‍යවරු විසින්ම නිර්දේශ කරලා තියනවා උණට බොන පැරසිටමෝල් පෙත්ත සහ ආමාශය තුළ අම්ල නිෂ්ක්‍රීය කරවන ඩයිජීන් පෙත්ත. හැබැයි ඔය කොයි පෙත්ත ගහන්නත් කලින් වෛද්‍යවරයෙකු ළඟට යන එක තමයි වටින්නේ. පණ්ඩිතකමට එක එක නම් තියන බෙහෙත් පෙති ගිල්ලා වගේ නෙවෙයි. එන්ඩොස්කොපි පරික්ෂාවක් සඳහා යොමු වුණාම නිට්ටාවටම මේ ගැස්ට්‍රයිටිස් ද වෙන මොකක් හරි ද කියලා හිතාගන්න පුළුවන්.
6. ඖෂධ වර්ග ගැන දැනගනිමු
බඩේ ගෑස් ගතියට දෙන ඖෂධ නම් Domperidone සහ Metoclopramide වෙනවා. මේවායේ මාත්‍රාව වරකට මිලිග්‍රෑම් දහයයි. සුවර් එකටම ගැස්ට්‍රයිටිස් කියලා දැනගත්තට පස්සේ දෙන බෙහෙතුත් තියනවා. ගොඩක් වෙලාවට ආමාශය තුළ තියෙන ආම්ලික ගතිය අඩුකරන බෙහෙත් තමයි තියෙන්නේ. නම් වශයෙන් ගත්තොත් Omeprazole, Pantaprazole, Lansaprazole, Famotidine යනාදිය තමයි මේ. ඩයිජීන් පෙති වගේම සමහර සිරප් වර්ග අයත් වෙන්නේ Antacid ගණයටයි. ඒ කියන්නේ ආම්ලිකතාවයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන රසායනික සංයෝගවලින් හැදුණ ඒවා.
7. ලංකාවේ අපිට ගැස්ට්‍රයිටිස් ඈත් කරවන්න ගන්න පුළුවන් ආහාර
කැල්සියම් වැඩියෙන්ම තියෙන්නෙත් පුංචි මාළුවල කියනවනේ. ඉතින් කුඩා මාළු පුළුවන් තරම් ආහාරයට ගන්න. ඊට අමතරව එළකිරි වගේ ක්ෂීර ආහාරත් වටිනවා. තැඹිලි, කුරුම්බා වගේම පොල් වතුරත් අහක දාන්නේ නැතුව බොන්න. කව්පි, මුං ඇට වගේ ධාන්‍ය වර්ග, පළා, බතල, වට්ටක්කා වගේ දේවල් ආහාර වේලට එක් කරගන්නවා නම් හොඳයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් ආමාශයේ ආම්ලික ගතිය අඩු කරවන ඖෂධ රැසක් තියනවා. කෝමාරිකා පානය ඒ වගේ ඖෂධයක්. හැබැයි දකින දකින අල, කොළ, මල් කන්න යන්නේ නැතුව ආයුර්වේද වෛද්‍යවරයෙකු හම්බ වෙලා උපදෙස් ගන්න.
Cover Image Source – gtgoodtimes.com
Leave a Reply