පෝලිම් වල ඉන්නවා නම්, අමතක නොකර පිළිපදින්න ඕන සෞඛ්‍ය උපදෙස්!

දැන් ජනාධිපතිත් අලුතින් පත් වෙලා, හිටපු ලොක්කත් යන්න ගිහින්, රටේ සෑහෙන්න වෙනසක් සිද්ධ වෙයි කියලනේ අපි හැමෝම හිතාගෙන ඉන්නේ. ඒක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්, අපි දන්නෙ නෑ. හැබැයි රටේ දේශපාලන බල වෙනසත් එක්ක පෝලිම් නම් දැන්මම ඉවර වෙයි කියලා හිතන්න කිසිසේත්ම පුළුවන් කමක් නෑ. උදාහරණයක් විදියට කිව්වොත්, අද වෙනකොට ඉන්ධන බෙදාහැරීමට යම් කිසි ක්‍රමවේදයක් හදලා තිබුණත්, තාමත් ඉන්ධන පෝලිම් තියෙනවා. දැන් ඔය පෝලිම් ගත්තහම, ඉන්ධන පෝලිම් වල සෑහෙන්න මරණ එහෙමත් වාර්තා වුණානේ. අන්න ඒ නිසා, අපිට හිතන්න වෙනවා පෝලිමේ ඉන්නවා නම්, තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම ගැනත්. ඒ නිසා, අපි හිතුවා පෝලිම් වල ඉන්නකොට තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම ගැන ටිප්ස් ටිකක් ලබාදෙන්න.

1. එකම විදියට වාඩි වෙලා ඉන්න එපා

ගොඩක් වෙලාවට තෙල් පෝලිමක ඉන්නකොට කට්ටිය වාහනේ ඇතුළේ වාඩි වෙලා පැය ගණන් ඉන්නවනේ. ආන්න ඒක නොකරන්නම ඕන දෙයක්. සාමාන්‍යයෙන් අපි ඔෆිස් පුටුවේ වාඩි වෙලා වැඩ කරනකොට වුණත් කියන්නේ පැය බාගෙකට සැරයක් වත් නැගිටලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න කියලනේ. ඉතින් තෙල් පෝලිමේ ඉන්නකොටත් එච්චා තමයි. පැය බාගෙකට වඩා එකම විදියට වාඩි වෙලා ඉන්න එක කිසිසේත්ම හොඳ නෑ. එහෙම ඉන්නකොට ලේ සැපයුම ක්‍රමානුකූලව සිද්ධ නොවීමත්, ලේ කැටි ගැහීමට හැකියාව වැඩි වීමත් නිසා විවිධ ආබාධ ඇතිවෙන්න පුලුවන් කියල වෛද්‍යවරු කියනවා. ගොඩක් වෙලාවට තෙල් පෝලිම් වල සිද්ධ වෙන මරණ වලටත් මේක ලොකු හේතුවක් ලු. අන්න ඒ නිසා, විනාඩි තිහකට සැරයක් ඉන්න තැනින් නැගිටින්න. පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදින්න. කකුල් වලට පොඩ්ඩක් ව්‍යායාම ලබාදෙන්න.

2. වතුර ඇති තරම්

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. විශේෂයෙන්ම මේ රස්නෙ කාලෙදී වුණත් හෙවණක්වත් නැතුව පෝලිමක ඉන්නවා කියන්නේ අතිශය පහසුවෙන් විජලනයට ලක් වෙනවා කියන එක තමයි. ඒ නැතුව හෙවණකට වෙලා හිටියත්, තමන්ට එච්චර එහෙමට වතුර තිබහක් දැනෙන්නෙ නැති වුණත්, වතුර නැතුව ගොඩක් වෙලා ඉන්න එක නුවණට හුරු වැඩක් නෙවෙයි. සමහර විටකදී ලේ කැටි ගැහෙන්නත් වතුර ශරීරයට නොමැති වීම හේතුවක් වෙන්න පුලුවන් කියලා වෛද්‍යවරු කියනවා. ඒ නිසා, පෝලිමකට යන්නේ පැයකට දෙකකට වුණත්, වතුර බෝතලයක් අරගෙන යන එක, විටින් විටේ ප්‍රමාණවත් තරමින් වතුර බොන එක අත්‍යවශ්‍යයි. සමහරු හිතලම වතුර බොන්නෙ නැහැ ඊට පස්සේ චූ බරක් ආවම මොකද කරන්නෙ කියලා හිතලා. ඒකට මොකක් හරි පිළියමක් කරගන්න පුලුවන්, හැබැයි වතුර නොබී ඉඳලා සෞඛ්‍ය ගැටළු ඇති වුණහම ඒක ඔක්කොටම වඩා වාතයි.

3. බඩගින්නෙ ඉඳලත් හරියන්නෙ නෑ

වතුර වගේම ඉතින් බඩගින්නේ ඉන්න එකත් හරියන්නෙ නැහැ කියලා අමුතුවෙන් කියන්න ඕනැද. විශේෂයෙන්ම ගිනිගහන අව්වේ පෝලිමක ඉන්නකොට වැඩියෙන් බඩගින්න ඇතිවෙන්නත් පුලුවන්. එහෙම නැති වුණත් ඒ තෙහෙට්ටුවත් එක්කත් ශරීරයට ආහාර නියම වෙලාවට වුවමනා වෙනවා. අන්න ඒ නිසා, පෝලිමක ඉන්නවා නම්, මොනවා හරි කාලා බීලා ඉන්න එක හොඳයි. දැන් පෝලිමට සෙට් වෙන්න යනකොට බත් මුල් ඔතාගෙන යන්න බැහැ තමයි. එතනදී හොඳ විකල්පයක් තමයි, ගෙදරින් යනකොට සමබල ආහාර වේලක් අරගෙන යන එක. සාමාන්‍යයෙන් හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් එක්ක කෑමක් ගත්තහම සෑහෙන්න වෙලාවක් අල්ලගෙන ඉන්න පුලුවන්. එහෙම බැරි වෙන අවස්ථාවකදී බිස්කට් පැකට් එකක් හරි අතේ තියෙන එක හොඳයි.

4. පහසු ඇඳුමක්

අපි උඩ කියපු ගොඩක් දේවල් වලින් පැහැදිලියිනේ ශරීරයට අපහසුතාවයක් නොවීම තමයි පෝලිමක ඉන්නකොට ප්‍රමුඛ වෙන්න ඕන කියලා. එක තැන නොඉන්න ඕන, පොඩ්ඩක් ශරීරයට ව්‍යායාමයක් ලැබෙන්න ඕන වගේම, ශරීරය පහසුවෙන් තියාගන්න පුලුවන් වෙන්නත් ඕන. ආන්න ඒ නිසා, තෙල් පෝලිමකට හරි භූමිතෙල් පෝලිමකට හරි ගෑස් පෝලිමකට හරි සෙට් වෙන්න යනකොට, ඒ යන්නේ වෙඩින් එකකට නෙවෙයි කියලා මතක තියාගන්නම ඕන. ඒ නිසා හැකිතාක් සැහැල්ලු ඇඳුමකින් සැරසිලා යන එක තමයි වටින්නේ. විශේෂයෙන්ම මේ රස්නෙ කාලෙදිත් ඇඳුම් ගොඩක් පටලවා ගෙන ඉන්න එක හරිම අමාරුයි.

5. හෙවණක විවේකය

සාමාන්‍යයෙන් ඉතින් පෝලිමක් සෙට් වෙන්නෙම ගස් හෙවණක නෙවෙයිනේ. සමහර විට පාර දිගට කිලෝමීටර් දෙක තුන ඈතට පෝලිම යනවා. දැන් මේ දවස් වල ඉඳලා හිටලා ඔය පොඩි වැහි ඇල්ලක් වැටුණත්, බොහෝම වෙලාවට තියෙන්නේ කට්ට අවුව. රස්නෙත් වැඩියි මේ දවස් වල. අන්න ඒ නිසා, එහෙම ගිනි ගහන රස්නේ පෝලිමක වාහනයක් ඇතුළේ හරි ඉන්නවා කියන එක ලේසි නෑ. තෙල් නැතුව පෝලිමේ ඉන්නකොට ඒසී දාගෙන ඉන්න එකත් ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, පුලුවන් තරම් විටින් විටේ හරි හෙවණකට ගිහින් පොඩ්ඩක් විවේක ගන්න. එක දිගට අවු කූටකේ ඉන්න එකෙන් ඔළුව කැක්කුම එහෙම බොහොම පහසුවෙන් හැදෙන්න පුලුවන්. ඊටත් අපි බොහොම පහසුවෙන් විජලනයට ලක් වෙන්නත් පුලුවන්.

6. මොකක් හරි වැඩක්

දැන් අපි තෙල් පෝලිමක හරි ගෑස් පෝලිමක හරි ඉඳගෙන මොකද කරන්නේ? සාමාන්‍යයෙන් නම් වෙන්නේ එක්කෝ පෝලිමේ දෙන්න තුන්දෙනා සෙට් වෙලා රටේ පාලකයින්ට අම්මමෝ නැතුව බැණ බැණ ඉන්න එක. එහෙම නැතිනම් දෙන්න තුන්දෙනා සෙට් වෙලා පොඩ්ඩක් අනුමත වෙන ගමන් ඡන්දෙන් පත් වුණු පත් නොවුණු දේසපාලකයෝ ඔක්කොටම අම්මමෝ නැතුව බණින එක. හරි, මිතුරු සමාගමයත් හොඳයි තමයි. හැබැයි ඉතින් දවස් දෙකක් තෙල් පෝලිමේ ඉන්නවා නම්, ඔය සම්පූර්ණ පැය ගාණම ඔහේ මනෝ ගහගෙන ඉන්න හරි, එකතු වෙලා සෙට් එක පිටින් වල් පල් කතා කරන්න හරි වැය කරන එක අපරාදේ. ඒ නිසා ඒ වෙලාව මොකක් හරි ප්‍රයෝජනවත් වැඩකට යොදාගන්න. පොතක් කියවන එක උදාහරණයක්. හැබැයි එකක්, එහෙම වැඩ කරනවා කියලා එක දිගටම එක තැනකට වෙලා ඉන්නත් එපා. අපි අංක එක කාරණාවෙදී කියපු දේවල් මතක තියාගන්න.

7. බෙහෙත් අමතක කරන්න එපා

මේක ඇත්තටම අදාළ වෙන්නේ මොකක් හරි රෝගී තත්වයකට බෙහෙත් ගනිමින් ඉන්න අයට තමයි. හැබැයි එකක්, මෙතනදී කියන්නේ ඔය දීර්ඝ කාලීන රෝග තත්වයන්ට දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අය විතරක් නෙවෙයි. ඒ කියන්නේ ප්‍රෙෂර් එකට හරි දියවැඩියාවට හරි වෙනත් ඒ වගේ රෝගී තත්වයකට හරි දිනපතා පුරුද්දක් විදියට බෙහෙත් ගන්න අය සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. දවස් දෙකකට කලින් හැදුණු උණට දවස් පහකට බෙහෙත් තියෙන, ඒත් වෙන කරන්න දෙයක් නැති නිසා තෙල් පෝලිමට ඇවිත් ඉන්න අයටත් මේක අදාළයි. කාරණාව තමයි, තෙල් පෝලිමකට හරි වෙනයම් පෝලිමකට හරි එනවා නම්, තමන්ගේ බෙහෙත් අමතක කරන්න එපා කියන එක. සමහර විට පෝලිමට යන්නේ අද හවස පහ වෙනකොට තෙල් එනවා කියන ආරංචියට වෙන්න පුලුවන්. හැබැයි එහෙම වුණාට කොයි තරම් වෙලා එතන ඉන්න වෙයිද දන්නෙ නැහැනේ. අන්න ඒ නිසා හොඳම දේ තමයි තමන්ට රෑට හරි බොන්න බෙහෙත් තියේ නම්, ඒ බෙහෙත් ටික එහෙමත් අරගෙන පෝලිමට යන එක.

අන්තිමට කියන්න ඕන දේ මේකයි. අපිට තව ටික කාලයක් හරි අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පෝලිමේ ඉන්න වෙනවා කියන එක අවිවාදිතයි. ඒකට හේතුව රටක් විදියට අපි මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය එක රැයින් අවසන් නොවීම. ඒ නිසාමයි අපි අපේ සෞඛ්‍යය ගැන පෝලිම් වල ඉන්නකොට වුණත් හිතන්න අවශ්‍ය වෙන්නේ. මොකද, අපේ ජීවිත හැමදේටමත් වඩා වැදගත් නිසා. හැබැයි මතක තියාගන්න. එහෙම පෝලිම් වල ඉන්නකොට ඇතිවෙන්න පුලුවන් සෞඛ්‍ය ගැටළු මගහරවා ගන්න පියවර ගත්තා කියලා, පෝලිම් වල ඉන්න සිද්ධ වීම සාමාන්‍ය දෙයක් බවට පත් නොවිය යුතුයි කියන එක. රටක පුරවැසියන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න පෝලිම් වල ඉන්න වෙනවා කියන්නෙම ගැටළුවක්. අන්න ඒ ගැටළුව අවසන් වෙන්න ඕන. ඒකට අපෙන් කෙරෙන්න ඕන දේවල් වගේම, රටේ ආණ්ඩුවෙන් වෙන්න ඕන දේවලුත් තියෙනවා. එහෙම වෙන්න ඕන දේවල් ආණ්ඩුවෙන් සිද්ධ නොවෙනවා නම්, අපි ඒකට බල කරන්නත් අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *