පුරසාරම් ගහන්නෙ නැතුව අපි ගැන මිනිස්සුන්ට හොඳ හැඟීමක් ඇතිවෙන දේවල් කියන්නේ මෙහෙමයි!

අපි ඕනම කෙනෙක් කැමතියිනේ කවුරු හරි මනුස්සයෙක් අපි ගැන හොඳ හැඟීමක් ඇති කරගන්නවට. එතකොට එහෙම අනික් අයගේ හිතේ අපි ගැන හොඳ හැඟීමක් ඇති කරවන්න, සමහරු තමන් ජීවිතේ ලබපු ජයග්‍රහණ ගැන කියනවා. තවත් සමහරු තමන්ගේ තියෙන හොඳයි කියලා හිතන ගතිගුණ ගැන කියනවා. තවත් සමහරු තමන්ට තියෙන දේවල් ගැන ඒ කියන්නේ වත්කම් ගැන කියනවා. තවත් සමහරු තමන්ට තියෙන මුදල් හදල්, වත්පොහොසත් කම් ගැන වගේම, තමන් මාසෙකට හම්බුකරන ප්‍රමාණය ගැනත් කියනවා. තවත් සමහරු තමන්ගේ අධ්‍යාපන මට්ටම ගැන කියනවා. තවත් අය තමන්ගේ රැකියාවේ වරුණ ගැන කියනවා.

ඔය අතරේ තමන්ගේ නෑදෑයන්ගේ, දෙමාපියොන්ගේ, දුවාදරුවන්ගේ, යාළුමිත්තරයන්ගේ මහන්තත්තේ ගැනත් කියලා, මිනිස්සුන්ගේ හිතේ තමන් ගැන ලොකු අදහසක් ඇති කරවන්න හදන අය ඉන්නවා. ඉතින් ඔය කොයික වුණත්, ඔය කොයි විදියට අපි ගැන කියන්න උත්සාහ කළත්, ගොඩක් වෙලාවට අනික් මිනිස්සු අපි ගැන හොඳ අදහසක් ඇති කරගන්න පුලුවන් වගේම, මිනිස්සු අපි පුරසාරම් කියවන කයිකාරයෙක් විදියට ලේබල් කරගන්නත් සෑහෙන්න ඉඩක් තියෙනවා. එහෙම පුරසාරම්, පම්පෝරිකාරයෝ ගැන කවුරුත් හොඳ අදහසකින් බලන්නෙ නැහැයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

හැබැයි අපිට ඇත්තටම මිනිස්සු අපි ගැන නරකක් හිතන්නේ නැති විදියට, අපි හෙනම පම්පෝරිකාරයි, කයිවාරුව විතරයි කියලා හිතන්නෙ නැති විදියට, අපි ගැන කියන්න ක්‍රමයක් නැද්ද? එහෙම අපි ගැන කියලා මිනිස්සුන්ගේ හිතේ හොඳ අදහසක් ඇති කරවන්න විදියක් නැද්ද? තියෙනවා. ආන්න ඒ ගැන තමයි මේ කියන්න යන්නේ!

 

  1. හරි වෙලාව තෝරාගමු

මෙතනදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ, තමන් ගැන කතා කළ යුතු සහ නොකළ යුතු වෙලාවල් හරියට තෝරාගන්න එක. උදාහරණයක් විදියට කිව්වොත්, අපි කට්ටියක් කතා කරමින් ඉන්නේ දේශපාලනය හරි ආර්ථිකය හරි වගේ පොදු මාතෘකාවක් සම්බන්ධයෙන් නම්, එතනදී අපි ගැන මොනවාහරි කතන්දරේකුත් ඒක ඇතුළට රිංගවන එක හරියන්නෙ නෑ. ඒක පුරසාරමක් විදියට තමයි අනික් අයට තේරෙන්නේ. ඒ වගේ තැනක නිහතමානීව කතා කරන එක හොඳ දෙයක්. හැබැයි අපි ජොබ් ඉන්ටර්වීව් එකකට ගිහින් නිහතමානී වෙන්න ගියොත්, ගොඩක් දුරට ජොබ් එක හම්බු නොවෙන තැනට තමයි වැඩ සිද්ධ වෙන්න පුලුවන්. ඉන්ටර්වීව් එකට ගියහම තමන් මෙතෙක් කරලා තියෙන, සාර්ථක කරගෙන තියෙන දේවල් ගැන කතා කලාට කමක් නෑ. අන්න ඒ විදියට, අපි ගැන කතා කරන්න හරි වෙලාව තෝරාගන්න එක ඉතාම වැදගත්.

 

  1. තමන් තනියෙන් ඉස්මතු නොවෙමු

සාමාන්‍යයෙන් තමන් ගැන දේවල් කියනකොට, ගොඩක් වෙලාවට මිනිස්සු අමතක කරන කාරණයක් තමයි, තමන්ට තමන් සාර්ථක කරගත්තු දේවල් සාර්ථක කරගන්න, තමන් මෙතෙක් ආපු තැනට එන්න මේ ලෝකේ සෑහෙන්න තවත් අය උදව් වෙලා තියෙනවා කියන එක. ඒ තමන්ගේ අම්මා, තාත්තා වෙන්න පුලුවන්. බිරිඳ හරි සැමියා හරි වෙන්න පුලුවන්.  ගුරුවරයෙක් වෙන්න පුලුවන්. ජොබ් එක සෙට් කරලා දීපු යාළුවා වෙන්න පුලුවන්. තමන්ව විශ්වාස කරලා ප්‍රොමෝෂන් එක දීපු පරණ බොස් වෙන්න පුලුවන්. මේ කවුරු වුණත්, අපි අපේ සාර්ථකත්වය ගැන කතා කරනවා නම්, අපි සඳහන් කළ යුතු අය. ඇත්තටම මෙහෙම තමන්ට දේවල් සාර්ථක කරගන්න එක උදව්වක් හරි දීපු අය ගැන සඳහන් කරන ගමන්, තමන්ගේ සාර්ථකත්වය ගැන කතා කරනකොට, මිනිස්සුන්ට ඒක පුරසාරමක් විදියට දැනෙන්නෙ නෑ.

ඒ වගේම, තමන් නායකත්වය දීපු කණ්ඩායමක් ලබාගත්තු ජයග්‍රහණයකදී, ඒකට තමන්ගේ ඉතාම වැඩි දායකත්වයක් තිබුණත්, අපි ඒක කණ්ඩායම් වැඩක් කියන එක සඳහන් කරන්න මතක තියාගන්න ඕන. අන්න එතකොට ඒක පුරසාරමකට වඩා, තමන්ගේ කොලිටි එකක් විදියට තමයි ඉස්මතු වෙන්නේ.

 

  1. සංසන්දනාත්මකව කතා නොකරමු

අපි ගැන මොනවා හෝ දෙයක් කොහේදී හරි කියනකොට, ඒක තමන් සම්බන්ධයෙන් විතරක් අදාළ කරගන්න පරිස්සම් වෙන එක හොඳ දෙයක්. ඒ කියන්නේ, තමන් දන්න අඳුනන වෙන කෙනෙක් හෝ නොදන්න ඒත් ප්‍රසිද්ධ කෙනෙක් හෝ තමන්ගේ ගැන කියන දේ එක්ක අදාළ කර නොගන්න එක තමයි මෙතනදී කියන්නේ. උදාහරණයක් විදියට කිව්වොත්, “පියුමි හංසමාලිට වඩා මට ෆෑන් බේස් එකක් තියෙනවා” කියන එක අවුල්. හැබැයි සරලවම, “මට හොඳ ෆෑන් බේස් එකක් තියෙන එක සතුටු වෙන්න ඕන දෙයක්” කියලා කියන එක සාර්ථකයි. විශේෂයෙන්ම තමන් ගැන දෙයක් කියනකොට, තව කෙනෙක්ව පහත් කරලා කතා නොකරන එකත් මෙතනටම අදාළයි. “නාමල් කැම්පස් ගියාට අද එයාට වඩා මම හම්බුකරනවා” කියන එක අවුල් කතාවක්. හැබැයි “මට කැම්පස් යන්න බැරි වුණා, ඒත් අද මම ඉන්න තැන ගැන මට සතුටක් තියෙනවා” කියන එක වඩා සාර්ථකයි!

 

  1. හරි හැඟීමෙන් කතා කරමු

ඇත්තටම අපි කතා කරනකොට, අපේ කතාවේ තියෙන හැඟීම අනික් අයට දැනෙනවා. අන්න ඒකෙන් තමයි ඇත්තටම අපි අපි ගැනම කතා කරන දෙයක් පුරසාරමක් වෙනවද, නැද්ද කියන එක තීරණය වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, “මම වැඩ කරන ලෙවල් එකට, මට ඊලඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම කොම්පැණියේ චෙයාර්මන් වෙන්න පුලුවන්” කියලා කියනකොට, ඒක තනිකර පුරසාරමක් විදියට තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. හැබැයි “මම මේ විදියට මහන්සියෙන් වැඩ කරන්න කැමතියි, ඊලඟ අවුරුද්දේ කම්පැණි එකේ චෙයාර්මන් තනතුරට මට පත් වෙන්න පුලුවන් වුණොත්, ඒක මගෙ හීනයක් හැබෑ වීමක් තමයි” කියලා කියනකොට, මිනිස්සුන්ට දැනෙන්නේ අපිට අපේ සිහින ඉටු කරගැනීම ගැන තියෙන ලැදියාව, ආශාව. අන්න ඒ ෆීලින් එක බොහොම ධනාත්මක එකක් විදියට තමයි මිනිස්සු භාරගන්නේ.

 

  1. කරන්න හිතාගෙන ඉන්න ඒවා නොකියමු

මෙන්න මේක අති වැදගත් කාරණයක්. ඔය ගොඩක් පුරසාරම්කාරයෝ කියන්නේ තමන්ට ඇත්තටම කරන්න පුලුවන්, ඇත්තටම කරලා තියෙන එව්වා ගැන නෙවෙයි. හැබැයි තමන් කරලා නැති එව්වා ගැන. සමහර වෙලාවට මනුස්සයෙක් එහෙම දෙයක් කියන්නේ, අනාගතේදී කරන්න හිතාගෙන ඉන්න හින්දා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට මනුස්සයෙක් කියන්න පුලුවන්, “මට ඉලක්කයට වෙඩි තියන එක ගේමක්ම නැහැ, ආයෙ මම සුපිරි ඉලක්කකරුවෙක්” කියලා. හැබැයි ඒ මනුස්සයා ඇත්තටම බීබී ගන් එකක්වත් අතින්වත් අල්ලලා නැති වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නේ, කවදාහරි ඉලක්කයට වෙඩි තියන ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න, ඉලක්කයට වෙඩි තැබීමේ දක්ෂයෙක් වෙන්න මනුස්සයාට තියෙන ආසාව නිසා වෙන්න පුලුවන්. හැබැයි ඒක හිස් පුරසාරමක් වෙනවා විතරක් නෙවෙයි, අපිව බොරුකාරයෙක් විදියට හංවඩු ගැහෙන්න ඉඩකුත් වෙනවා. අන්න ඒ නිසා, තමන් තාමත් සාර්ථක කර නොගත්තු දෙයක් ගැන කිසිම මොහොතක කතා කරන්න යන්න එපා. එච්චරයි. 

 

  1. නිහතමානී පුරසාරම්කාරයෙක් නොවෙමු

දැන් ඔය සමහරු ඉන්නවා, තමන් ගැන ලොකුකම කියන්නත් ඕන. හැබැයි මිනිස්සු ඒක පුරසාරමක් විදියට ගන්නවට කැමතිත් නෑ. අන්න එහෙම අය කරන දෙයක් තමයි, හරි නිහතමානී විදියට පුරසාරම් අතඅරින එක. එහෙමත් නැතිනම්, පැමිණිල්ලක්, හිත් වේදනාවක් ඉදිරිපත් කරන විදියට පුරසාරමත් කියලා දාන එක. ආන්න ඒක නම් අතිශයින්ම නරකයි. අඩු ගාණේ කෙලින්ම පුරසාරම් කියවන මනුස්සයෙක්ට මිනිස්සු ඊට වඩා කැමති වෙන්න පුලුවන්. උදාහරණ විදියට කිව්වොත්, “දැන් තියෙන ආර්ථික තත්වය ගත්තහම, අපිට නම් සල්ලි බාගෙ තියෙන නිසා ඔළුව උස්සගෙන ඉන්න පුලුවන්, ඒත් දුප්පත් මිනිස්සු කොහොම ජීවත් වෙනවා ඇත්ත?” කිව්වහම, මිනිස්සුන්ට තේරෙනවා එතන මේ ඇත්තටම දුප්පත් මිනිස්සු ගැන අනුකම්පා සහගතව කතා කිරීමක් නෙවෙයි කියලා. එතකොට “මට මාර අවුල වුණේ, පොලිසියෙන් ඇල්ලුවනේ මාව, අල්ලලා කිව්වා මේ පාරේ BMWයන්නෙත් නෑ, මහත්තයා මොකෝ ස්පීඩ් ආවෙ කියලා, මට ඔහොම එකක් වුණාමයි” වගේ දේවල් කියන අයත් ඉන්නවා. දැන් මනුස්සයාට කියාගන්න ඕන කරන්නේ BMW කාර් එකක් තියෙනවා කියලා. ඒකට තමයි අච්චර රචනාවක් පැමිණිල්ලක් විදියට කියන්නේ!

 

  1. අන්තිමට, ක්‍රියාවෙන් පෙන්නමු

ඇත්තටම මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි මේ. ගොඩක් වෙලාවට මිනිස්සුන්ට තමන් ගැන ලොකුකම කියන්න ඕන කරන්නේ, ඇත්තටම තමන් ඇතුළේම තියෙන හිස්කමක් නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, මාස්ටර් ඩිග්‍රියක් තියෙන මනුස්සයෙක් ඒක ගැන පම්පෝරි ගහන්නේ ඇත්තටම තමන්ට වුවමනා ඩොක්ටරේට් එකක් කළහම ලැබෙන තත්වය නිසා වෙන්න පුලුවන්. මනුස්සයෙක් තමන්ගේ ඇල්ටො කාර් එක ගැන පම්පෝරි ගහන්නේ, ඇත්තටම ඒ මනුස්සයාගේ සිහිනය අවුඩියක් මිලදී ගැනීම නිසා වෙන්න පුලුවන්. ඉතින් එහෙමනම්, මොකක්ද අපි ඇත්තටම කරන්න ඕන?

කරන්න ඕන මෙච්චරයි, අපේ හීන වලට යන්න ඕන. මහන්සි වෙලා වැඩ කරලා, ජීවිතේ අපිට අවශ්‍ය දේවල් ලබාගන්න, සාක්ෂාත් කරගන්න ඕන. හැබැයි ඒක ගැන ලෝකෙට අණබෙර නොගහා, මිනිස්සුන්ට ක්‍රියාවෙන්ම ඒක දැකගන්න ඉඩ අරින්න ඕන. අපේ සාර්ථකත්වය මිනිස්සු අපේ කටින් දැන නොගත්තට කමක් නෑ. හැබැයි කවදාහරි තමන්ගේ ඇස් දෙකෙන්ම දකියි. අන්න එතකොට මිනිස්සු ඒ ගැන ගරු කරාවි. මේක තමයි අපි ගැන පුරසාරම් නොකියා, ඒත් මිනිස්සුන්ගේ හිත් වල අපි ගැන හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ඇති කරන්න පුලුවන් සාර්ථකම ක්‍රමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *