අනාගත ලෝකයක පාවිච්චිය වෙනුවෙන් අද නිර්මාණය වෙලා තියෙන ගිනි අවි!

ගිනි අවි කියන්නේ මොනවද කියලා හැමෝම දන්නවනේ. ඔය තුවක්කු, පිස්තෝල අනං මනං හැම එකක්ම අයිති වෙන්නේ ගිනි අවි වලට තමයි. දැන් ගිනි අවියකින් කරන්නේ මොකද්ද? මිනිස්සු මරණ එකද? ඇත්තටම කිවුවොත් ගිනි අවියක ශිෂ්ට සමාජයේ තියෙන ප්‍රයෝජනය වෙන්නේ ආරක්ෂාව සැපයීම. ඒ කියන්නේ ගිනි අවියකට තියෙන විනාශයක් කිරීමේ හැකියාව, ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කිරීම. කොහොම වුනත් අද ලෝකේ ගොඩක් ආරක්ෂක අංශ පාවිච්චි කරන්නේ කාලෙකට කලින් නිර්මාණය වුණු ගිනි අවි. උදාහරණයක් විදියට ගත්තොත් ඇමරිකාවේ ආරක්ෂක අංශ ගොඩක් වෙලාවට පාවිච්චි කරන M4 කාර්බයින් රයිෆල් එක 1994 වගේ තමයි එක්සත් ජනපද හමුදාවට නිල වශයෙන් හඳුන්වලා දුන්නේ. ලංකාවේ බහුලව පාවිච්චි වෙන Type-56 නැතිනම් ලේසියට කියන T-56 කියන චීන නිර්මාණය ලෝකෙට හඳුන්වලා දුන්නේ 1956 විතර. එතකොට T-56 හදන්න පදනම් කරගත්තු රුසියානු මුල් නිර්මාණය වෙන ඇව්තොමාත් කලාෂ්නිකොෆ් 57 නැතිනම් හැමෝම දන්න විදියට AK-57 ඇසෝල්ට් රයිෆල් එක හඳුන්වලා දෙන්නේ 1946 ඉඳන්. අදත් ලෝකේ පාවිචිචි වෙන ජනප්‍රියම ආයුධයක් තමයි AK-47 කියන්නේ.

හැබැයි ලෝකේ අලුතෙන් ගිනි අවි නිර්මාණය කිරීම නැවතිලත් නැහැ. සාර්ථක වුනා හෝ නොවුනා හෝ අදටත් නවීන ගිනි අවි නිර්මාණය කරන්න සැලසුම් කෙරෙනවා. ඇත්තටම මේ වෙනකොටත් අනාගතේට ගැලපෙන විදියේ අති නවීන ගිනි අවි වර්ග නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ, ඔය හොලිවුඩ් ෆිල්ම් වලින් හරි වීඩියෝ ගේම්ස් වලින් හරි දකින්න නොලැබෙන විදියේ අනාගතේට හරියන අලුත්ම ගිනි අවි කීපයක් ගැන!

 

1. SilencerCo Maxim 9

SilencerCo කියන්නේ ඇත්තටම අර පිස්තෝල වල තුවක්කු වල සද්දේ නැතිව වෙඩි තියන්න පුළුවන් වෙන්න හයි කරන සයිලන්සර් හදන ලෝක ප්‍රසිද්ධ කොම්පැණියක්. ඉතින් මේ අය හිතුවා සයිලන්සර් හද හදා ඉන්න එකේ කෙලින්ම සයිලන්ස් පිස්තෝලයක්ම හදන්න බැරිද කියලා. එහෙම හදපු පිස්තෝලේ තමයි Maxim 9 කියන්නේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් සයිලන්සර් එකක් හයි කළහම පිස්තෝලේ දිග වැඩිවෙනවා සෑහෙන්න. හැබැයි මේ පිස්තෝලේ දිග ඊට සෑහෙන්න අඩුයි. ඒ නිසාම පහසුවෙන් පාවිච්චි කරන්න, පිටතට පේන්නේ නැතිවෙන්න එහා මෙහා අරගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් පිස්තෝලයක් අරගෙන, ඒකට සයිලන්සරයක් වෙනම ගත්තහම යන වියදමත් එක්ක බලන කොට මේ පිස්තෝලේ ඉතාම ලාබයි කියලා තමයි නිෂ්පාදනය කරපු අය කියන්නේ. අනික මේකේ සද්දේ ඉතාම අඩුයි. ඔව්, මේක ආයුධ පාවිච්චිය නීති ගත රටක සාමාන්‍ය වැසියන්ටත් ගන්න පුළුවන්. හැබැයි ඉතින් සයිලන්සරයක් තියෙන පිස්තෝලයක් සාමාන්‍ය මනුස්සයෙක්ට මොකටද කියන ප්‍රශ්නේ තමයි ඊලඟට එන්නේ!

 

2. Corner Shot

දැන් හිතන්න අපි හතුරෝ ටිකක් එක්ක තුවක්කු වලින් වෙඩිතියාගන්න ෆයිට් එකක් මැද්දේ ඉන්නවා කියලා. අපි බිත්තියකට මුවා වෙලා ඉන්නේ. හැබැයි එතනින් එහා පැත්තේ, අපිට අංශක අනූවක් තියෙන බිත්තියේ කෙළවරේ හතුරෝත් මුවා වෙලා ඉන්නවා. දැන් කොහොමද උන්ට වෙඩි තියන්නේ? සාමාන්‍ය තුවක්කුවකින් උන්ට වෙඩි තියන්න නම් බිත්ති මුවාවෙන් ඉස්සරහට එන්න වෙනවා. හැබැයි එතකොට අපේ ශරීරයත් හතුරන්ට හොඳ ටාගට් එකක් විදියට නිරාවරණය වෙනවා. මෙන්න මේක තමයි ඔය තුවක්කු පිස්තෝල සම්බන්ධයෙන් තියෙන එක ප්‍රශ්නයක්. පටු කෝණයකින්, මුල්ලක ඉඳලා වෙඩි තියන්න බෑ. ආන්න ඒ වැඩේට තමයි මේ Corner Shot කියන ගැජට් එක තියෙන්නේ. මේක ඇත්තටම පිස්තෝලයකට හයි කරන්න පුළුවන් උපකරණයක්. මේකට පුළුවන් අර කොණේ ඉඳලා කෙලින්ම අංශක අනූවක් නැවිලා වෙඩි තියන්න. අපිට වෙඩි තියන්නේ කොහාටද කියලා බලාගන්න කැමරාවකුයි, ඩිස්ප්ලේ එකකුයිත් තියෙනවා. මේක දැනටමත් ලෝකේ සාර්ථකව පාවිච්චි වෙන තුවක්කු ගැජට් එකක්!

 

3. Biofire Smart Gun

දැන් ආරක්ෂක නිලධාරීන් අතේ පිස්තෝල තියෙනවනේ. හිතමු මොකක් හරි අපරාධයක් වළක්වන්න ගියපු වෙලාවක ආරක්ෂක නිලධාරියාගේ පිස්තෝලය අපරාධකාරයෙක්ගේ අතට පත් වෙනවා කියලා.  එහෙම මොහොතකදී තමන්ගේ පිස්තෝලයෙන්ම වෙඩි කන්න ආරක්ෂක නිලධාරියාට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නැතත් අපරාධකාරයාට ඒ පිස්තෝලේ පාවිච්චි කරලා තව අපරාධ කරන්නත් පුළුවන්. හැබැයි ආරක්ෂක නිලධාරියාගේ අතේ තියෙනකොට විතරක් ක්‍රියාත්මක වෙන පිස්තෝලයක් තිබ්බොත් ඔය ප්‍රශ්නේ ඉවරයි නේද? ආන්න ඒ ජාතියේ භාණ්ඩයක් තමයි Biofire Smart Gun කියන්නේ. මේකේ අතට අහුවෙන ග්‍රිප් එකේ පැත්තක තියෙනවා පොඩි ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරයක්. ඔන්න ඕකට හරි මනුස්සයාගේ ඇඟිල්ල සෙට් වුනහම විතරයි පිස්තෝලෙන් වෙඩි තියන්න පුළුවන්. ඇඟිල්ල අත ඇරුනහම ආයෙමත් පිස්තෝලේ ඔටෝ ලොක් වෙනවා. ඔය සීන් එකට තප්පර කෑල්ලක් වගේ තමයි යන්නේ. අනික් එක මේ ෆින්ගර් ප්‍රින්ට් සෙන්සරේ වැඩ කරන්න තියෙන බැටරිය එක පාරක් චාර්ජ් කළහම අවුරුද්දක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේ පිස්තෝලේ කීප දෙනෙක්ගේ ෆින්ගර් ප්‍රින්ට් වලට වැඩ කරන්නත් සෙට් කරන්න පුළුවන්. හැබැයි ඇඩ්මින් ෆින්ගර් ප්‍රින්ට් එක තියෙන කෙනාට යූසර්ස්ලා ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්.

 

4. PHASR

ගිනි අවි කියන්නෙම මිනිස්සුන්ව නසන්න හදපු ආයුධයක් කියලා අපි කිව්වනේ. හැබැයි මිනිස්සුන්ව මැරෙන්නේ නැති, ශාරීරිකව පවතින හානියක් නොකරන ආයුධ තියෙනවා නම්, ඒක ඇත්තටම ආරක්ෂක අංශ වලට ලොකු පිටුවහලක්නේ. ආන්න ඒ නිසා තමයි ඔය පෙපර් ස්ප්‍රේ, ටේසර් වගේ මරණීය නොවෙන ආයුධ තියෙන්නේ. ආන්න ඒ ලෙවල් එකේ තුවක්කුවක් තමයි PHASR රයිෆල් කියන්නේ. විශේෂයෙන්ම ඔය කැරලි මර්දනයට එහෙමත් යොදාගන්න පුළුවන් මේ තුවක්කුව personnel halting and stimulation response rifle කියලා තමයි හඳුන්වන්නේ. මේකෙන් කරන්නේ තාවකාලිකව කෙනෙක්ව අන්ධ කරන ලේසර් එකක් විදින එක. සාමාන්‍යයෙන් ඒ ජාතියේ ආයුධ 1995 න් පස්සේ තහනම් වුනත්, මේකෙන් ඇතිවෙන්නේ ඉතාම තාවකාලික අන්ධ වීමක් නිසා මේ තුවක්කුව තහනම් නෑ. ඉතින් අනාගතේදී කැරලි මර්දන බලකාය කඳුලු ගෑස් වෙනුවට මේවා අරගෙන එන්න පුළුවන්.

 

5. Tracking Point

තුවක්කුවකින් වෙඩි තියන්න නම් වෙඩි තියන්නේ කොහොමද කියන එක දැනගත්තට මදි. හරියට ඉලක්කයට වෙඩි තියන්න හොඳ පුහුණුවක් සහ ප්‍රවීණත්වයක් ඕන වෙනවා. ඒත් සමහර වෙලාවට වරදින්න පුළුවන්. හැබැයි මේ රයිෆල් එකෙන් තියන වෙඩිල්ලක් මළාට වරදින්නෙ නෑ. ඇයි? අර ෆයිටර් ජෙට් වල වගේ මේ තුවක්කුවේ වෙඩිල්ලත් තුවක්කුවේ තියෙන ඔන්බෝර්ඩ් කම්පියුටර් එකෙන් තමයි ටාගට් එක අරගෙන මෙහෙයවන්නේ. එතකොට ඔය ස්නයිපර් කෙනෙක්ව ඕන කරන ඈත ටාගට් එකකට වුනත් ඕනම කෙනෙක්ට මේ රයිෆල් එක පාවිච්චි කරලා වෙඩි තියන්න පුළුවන්. වේගෙන් ගමන් කරන ටාගට් එකකට වුනත් ඒ විදියටම වෙඩි තියන්න පුළුවන්. වෙන එකක් තියා ඔය ඉලක්කේ ගන්න අමාරු කෝණයක ඉන්නකොට වුනත් රයිෆල් එක දිහා බලන්නේ නැතුව පහසුවෙන් ටාගට් එක ගන්න පුළුවන්. මොකද මේකේ ටාගට් එක පෙන්නන ඩිස්ප්ලේ එක ඕන නම් ෆෝන් එකට සෙට් කරගන්නත් පුළුවන් නිසා. මේ ටෙක්නොලොජි එක වෙනත් තුවක්කු වලටත් පාවිච්චි කරන්න පුළුවන් එක තවත් විශේෂත්වයක්.

 

6. Radetec RISC Smart Gun Shot counter

සාමාන්‍යයෙන් පිස්තෝලෙකුත් අරගෙන ගිනි අවි සටනකට මැදි වෙන්න වුනොත් ඇතිවෙන ප්‍රායෝගික ගැටළු වලින් ප්‍රධානම එකක් තමයි වෙඩි තියපු බුලට් ගාණ ගණන් කරගන්න එක. මොකද ජීවිතයත් මරණයත් තීරණය කරන වෙඩි හුවමාරුවකදී හදිසියේම ගාණ වැරදිලා තමන්ගේ පිස්තෝලේ උණ්ඩ නැතිවෙනවා කියන්නේ තීරණාත්මක දෙයක්. හැබැයි මේ හඳුන්වා දෙන RISC ෂොට් කවුන්ටර් එකෙන් ඔන්න ඔය තීරණාත්මක ගැටළුවට විසඳුමක් ලබාදෙනවා. මේක ඔය ග්ලොක් වර්ගේ පිස්තෝලෙක පිටිපස්ස පැත්තට හයි කරන්න පුළුවන් පොඩි ගැජට් එකක්. මේකෙන් කරන්නේ වෙඩි තියපු ෂොට් ගාණ හෝ පිස්තෝලේ ඉතුරු ෂොට් ගාණ ඩිජිටල් ඩිස්ප්ලේ එකක පෙන්නන එක. එතකොට ගණන් කර කර ඉන්න ඕන නෑ. ජීවිත අවදානමක් නොගෙන, බුලට් ඉවර වුණු ගමන් රීලෝඩ් කරගන්න පුළුවන්. මේකේ බැටරි ලයිෆ් එක වෙඩි 20,000ක් දක්වා කියලා තමයි නිෂ්පාදකයෝ කියන්නේ.

 

7. DX-12 Punisher shotgun

මෙන්න නියම අනාගත තුවක්කු! මේ පනිෂර් ෂොට් ගන් එක බැලූ බැල්මට පේනවා Sewed-off කියලා කියන විදියේ අර කොට ඩබල් බැරල් ෂොට් ගන් එකක අධි තාක්ෂණික සහෝදරයෙක් වගේ. එහෙම කියන එක වැරදි නෑ. හැබැයි මේක තාම වැඩ අවසාන කරපු තුවක්කුවක් විදියට මාකට් එකට හඳුන්වලා දීලා නෑ. මේ ඩබල් බැරල් ෂොට් ගන් එක සාමාන්‍ය ඩබල් බැරල් ෂොට් ගන් එකකට වඩා ආරක්ෂිතයි කියන එක ඇරෙන්න, මේකේ තියෙන නවීන අංගෝපාංගයන් ගැන නම් තාමත් නිෂ්පාදකයෝ මොකවත් කියලා නෑ. හැබැයි ඒ කොහොම වුනත්, මේක දැක්කහම නම් ගන්න හිතෙන්නේ නැද්ද? ඒලියන්ස්ලාත් එක්ක වගේ සටනකට යන්න ප්‍රධාන අවියත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් අති ප්‍රබල සයිඩ් ආම් එකක් විදියට මේක මරු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *