නෝන්ඩි නොවී කොල්ලෙකුට ඉඟි බිඟි පාන හැටි

මඟතොටේදි, වැඩපලේදි, ක්ලාස් එකේදි හම්බෙන ලස්සන කොලු පැන්චෙකුට හිත ගිහිල්ලද? හැබැයි ඉතින් ලැජ්ජ නොවී ඒ කොලූට වැඩේ නෝට් වෙන්න අරින්නත් ඕන. නැත්තම් කොහොමද ඉතින් එයා දන්නෙ ඔයා කැමති බව? අන්න ඒ වැඩේ ශේප් එකේ ගොඩ දාගන්න හැටි ගැන තමයි මේ කියන්න යන්නෙ. හුඟක් ගැහැණු ළමයි අනාගන්න වැඩක්නෙ හිත ගියපු කොල්ලෙකුට නොදැනෙන්න ඉඟි බිඟි පාන එක. අන්තිමේ කොල්ලට විතරක් නෙමෙයි වටේ පිටේ ඔක්කොටම නෝන්ඩියි. ඔන්න මේක කියවල වැඩේට අත ගැහුවොත්නම් නෝන්ඩි නොවී වැඩේ ගොඩ දාගන්න පුළුවන් ලේසියෙන්ම. 

 

 

1. ලැජ්ජාශීලී හිනාව

 

හිනාව කියන්නෙ ඉතින් අපි කාටත් ආභරණයක්. ඕනම දුර දිග යන සම්බන්ධතාවයක් පටන් ගන්නෙ මේ සරල හිනාවකින්නෙ. ඉතින් මේ වැඩෙත් පටන් ගන්න ඕන පොඩි හිනාවකින් තමයි. නිතර දෙවේලෙ ඔය කොලුවව දකිනකොට එයත් එක්ක හොඳට හිනාවෙන්න. හැබැයි ඉතින් මේ දත් තිස් දෙකම පාල හරි උජාරුවෙන් වෙන හිනාවක් නම් නෙමෙයි. පොඩි ලැජ්ජාවකුත් එක්ක එක පාරක් බලල හිනාවෙලා, පොඩ්ඩක් ඇඹරිලා, බිම බලලා පොඩි නාට්‍ය දර්ශනයක් රඟපාන්න ඕන. කොහොමත් ඉතින් විශේෂ කෙනෙක් නිසා හිතේ තියෙන තිගැස්මත් එක්ක ඉබේම ඇඟ ඇතුලෙන්ම ඔය කෝල ගතිය එනවා. බය නැතුව ඒ ගතිය එලියට පේන්න ඉඩ දෙන්න.

 

 

2. ඇස් බැන්දුම් ටිකක්

 

නෑ නෑ… මේ ඇස්බැන්දුම් කිව්වේ මැජික් නෙමෙයි. ඇස් වලින් අල්ලලා බැඳ ගන්න එකට. ඒ කිව්වේ ඇස් වලින් පොඩ්ඩක් ඉඟි බිඟි පාල අදාළ කෙනාගෙ අවධානය තමන් වෙතට යොමු කරවාගන්න එකට. අහල පහළ බලන් ඉන්න අයට නෝන්ඩි නොවෙන්න ඇස් දෙකෙන් කතා කරන සාස්තරේ ඉතින් ගැහැණු ළමයින්ටනම් අලුත් දෙයක් නෙමෙයි. අන්න ඒ සාස්තරෙන් ප්‍රයෝජනයක් ගන්න වෙලාව තමයි මේක. අනිත් අයට නෝට් නොවෙන්න එයාව ඇස් දෙකෙන් අල්ලගන්න පුළුවන් හැම වෙලාවකම. හෙන ගහන්න වගේ එක දිගට බලන් ඉන්නනම් එපා හැබැයි. එහෙම අල්ලගෙන චුට්ටක් කරකවල අතාරින්න වගේ ආපහු අහක බලන්න. ඔන්න එතකොට එයාට තේරෙනව ඔයා මොකක් හරි පණිවිඩයක් දෙන්න තමයි මේ හදන්නෙ කියල.

 

 

3. කොණ්ඩ විජ්ජාව

 

ගැහැණු ළමයින්ගේ කොණ්ඩේ කියන්නෙ කොල්ලො ගොඩක් දුර්වල වෙන තැනක්. එයාලට දිග කොණ්ඩ නැති නිසාමද මන්ද කොල්ලො හරිම ආසයි ගැහැණු ළමයින්ගෙ කොණ්ඩ වලට. ඉතින් මේ කොණ්ඩේ එහෙට මෙහෙට කරල හරිම ලේසියෙන් කොල්ලෙකුගේ අවධානය දිනාගන්න පුළුවන්. දිග කොණ්ඩයක්ම ඕනි කියලම එකක් නැහැ. තමන්ට තියෙන මොන දිග ප්‍රමාණයේ කොණ්ඩයක් හරි කමක් නැහැ කොණ්ඩේ පස්සට කරන එක, ඉස්සරහට ගන්න එක, ඇඟිල්ලෙන් අඹරන එක වගේ කොණ්ඩේ සම්බන්ධ ගැහැණු මායම් කොයි තරම් නම් තියෙනවද. අන්න ඒවගෙන් ටිකක් පාවිච්චි කරලා වැඩේ ගොඩදාගන්න පුළුවන් ලේසියෙන්ම. 

 

 

4. ඔහුව අගය කරන්න

 

කවුරුත් ආසයිනේ තමන්ව අගය කරනවට. කොල්ලො කොහොමත් ආසයි. ඔන්න දැන් ඉතින් කලින් කියපු කෝමල හිනාව, කොණ්ඩ විජ්ජාව එක්ක ඇස් වලිනුත් ටිකක් ඉඟි බිඟි කරලා කොල්ලව ෆිට් කරගත්ත කියමුකෝ. දැන් එයත් ටිකක් ටිකක් දන්නවා ඔයා එයා ගැන විශේෂයෙන් හිතන බව. ඊළඟ වැඩේ තමයි එයාව මුරුංගා අත්තේ තියන එක. එයාගෙ ලස්සන, එයාගෙ ගුණයහපත්කම්, හැකියාවන් එහෙම ඉඳලා හිටලා අගය කරන්න. එයා ඔයාට ටිකක් විශේෂයි කියන එක එයාගෙ ඔලුවට ඉබේම යනවා එතකොට. ඒ වගේම තමන්ව අගය කරන කෙල්ලෙක් කොච්චර හොඳද කියලත් එයාට හිතෙනවා. 

 

 

5. විහිළු කතා

 

ඔය ගැහැණු සෙට් එකේ එක එක විහිළු කතා වලට එයාව සම්බන්ධ කරගන්න. ඒක තමයි කතාවට අල්ලගන්න හොඳම විදිහ. නිකන්ම ගිහින් කෙලින්ම කතා කළෝතින් හතර වටේම අයට නෝට් වෙනවනේ. හැබැයි මේ විහිළුවෙන් විහිළුවෙන් කතාවට ඇදගත්තම කාටවත්ම නෝන්ඩි නොවී වැඩෙත් කරගන්න පුළුවන්. කෙල්ලෝ සෙට් එකක් මැද්දට වෙලා විහිළු හරි කමක් නැහැ කතා කරන්න කොයි කොල්ලද ඉතින් අකමැති. ඒ අතරේ ඔයාම එයාව කතාවට ඇදල ගන්නකොට එයාටම තේරෙනව මෙයා මන් ගැන උනන්දුයි නේද කියලා.

 

 

6. ගැහැණු ගති පෙන්නන්න

 

කොච්චර ලස්සන, කැපිල පේන ගැහැණු ළමයෙක් උනත් වැඩක් නැහැ මේ ගැහැණු ගති නැත්තම්. ඒ කියන්නේ දැකපු ගමන් කොලු පාර්ට් එකෙන් නම් කතා කරන්නෙ, හැසිරෙන්නෙ. එහෙම කොලු පාර්ට් එකෙන් ඉන්න, බය නැති කෙල්ලොන්ව කොල්ලන්ගේ සෙට් එකට එකතු කරගන්න, එයාල එක්ක ෆිට් වෙන්න කොල්ලෝ දෙපාරක් හිතන්නෙ නැති උනාට තමන්ගෙ පෙම්වතිය විදිහට තෝරාගන්න කෙල්ලගෙනම් මේ ගැහැණු ගති ඕනම කොල්ලෙක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනව. ඒ නිසා ලස්සනට ඇඳලා විතරක්ම මදි. ගැහැණු ළමයෙකුට ස්වභාවයෙන්ම උරුම සුකුමාල විදිහට හැසිරෙන්නත් ඕන. එහෙම නැතුව කොල්ලෙකුගෙ අවධානය ගන්නව කියන්නෙනම් ලේසි වැඩක් නෙමෙයි. 

 

 

7. එයාගෙන් උදව් ඉල්ලන්න

 

ඕනම කොල්ලෙක් ආසයි මේ කෙල්ලොන්ට උදව් කරන වැඩේට. එක පාරයි අහන්න ඕනෙ. පැනගෙන එන්නෙ. ඒ ඉතින් තමන් තමයි පොර කියලා පෙන්නන්න ආස නිසානෙ. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන මේ වැඩෙත් ගොඩදාගන්න පුළුවන් ලේසියෙන්ම. කතාබහ කරල ටිකක් ෆිට් උනාට පස්සෙ ඔයට ඕන පොඩි පොඩි උදව් එයාගෙන් ඉල්ලන්න. කම්පියුටර් එකේ ප්‍රශ්නයක් හදල දෙන්න, නෝට්ස් ටිකක් ෆොටෝ කෝපි කරගන්න, ෆොටෝ එකක් එඩිට් කරගන්න වගේ ලොකුමත් නැති ඒත් කොල්ලන්ටම විශේෂීකරණය වෙච්ච ඔය ඕනතරම් වැඩ තියෙනවනේ. අන්න එහෙම වැඩක් ඉස්සරහට දාගෙන එයා ඔයාට විශේෂ බව, එදිනෙදා වැඩ වලදී හුඟක් වෙලාවට ඔයාට එයාගෙ උදව් ඕන බව එයාට දැනෙන්න ඉඩ හරින්න. උදව්වත් ඉල්ලගෙන එයාගෙ අවධානෙත් දිනාගෙන වැඩ දෙක තුනක්ම එකපාර ගොඩදාගන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *